1150 x 80 px

ලාංකික දේශපාලන භූමියේ ඕපාදූප


ශ්‍රී ලංකන් ගුවන් සමාගම් රැස්වීම.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම් සිදුව ඇති දුෂණ සහ වංචා පරීක්ෂා කිරීම සදහා යහපාලන රජය විසින් නීතිඥ ඡේ.සී වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව වහාම ක්‍රියාත්මක කිරීමට රජය පසුගිය (20) තීරණය කළා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය සිදු කර ඇති අකටයුතුකම් පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති වංචා සහ දුෂණ, අවිධිමත් පත් කිරිම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පෙන්වා දෙන ලදී. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව අධ්‍යක්ෂ මණ්ඩලයේම සාමාජිකයින් සිව්දෙනෙකු කරුණු ඉදිරිපත් කළා. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට විරුද්ධව අමාත්‍යවරුන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය බවත්, අධ්‍යක්ෂ මණ්ඩලය භේදභින්න වී ඇති බවත්, ජනාධිපතිවරයා සදහන් කර සිටියා. එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අඩුපාඩු ඇති බවයි. නමුත් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ අලාභය අවම කර ගැනීමට හැකි වූ බවත්, පරිපාලනමය ගැටළු විසදා ගැනීම ඔවුන් සතු වගකීමක් බවත් පෙන්වා දුන්නේය.

විෂය භාර අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ අනුදැනුමකින් තොරව පත්වීම් 1300 ක් පසුගිය කාලයේ දී ලබා දී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කළ ප්‍රකාශය පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය. එම අවස්ථාවේ දී කබීර් හෂිම් අමාත්‍යවරයා පැවැසුවේ තමාගේ අනුදැනුමකින් තොරව පත්වීම් ලබා දී ඇති බවයි. ප්‍රධාන විධායක නිලධාරිවරයා පුවත්පත් වලට ද ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබුනි. මෙහිදී ප්‍රධාන විධායක නිලධාරිවරයා අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ලබා දී ඇති බව ද හෙළි විය. ඔහු ප්‍රකාශ කර සිටියේ සේවක සේවිකාවන් 1400 ක් ඉවත් වූ බවත්, ඒ වෙනුවට නවක සේවක සේවිකාවන් 1250 ක් බඳවා ගත් බවයි. එම අවස්ථාවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සේවකයින් බඳවා ගැනීම පිළිබදව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් ප්‍රධාන විධායක නිලධාරිවරයා කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව තහවුරු කරන ලදී.

කෙසේ වෙතත් මෙහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුලු ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ අනුදැනුමකින් තොරව අත්තනෝමතික ලෙස ඇතැම් ක්‍රියාදාමයන් සිදු කර ඇති බව හෙළි විය. ජනාධිපතිවරයා අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණාත්මක තීන්දුවක් ගන්නා බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ වැටුප සම්බන්ධයෙන් ද මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා විමසා සිටියා. එම වැටුප රුපියල් ලක්ෂ 05 කට ආසන්න බවත්, මිලියන 10 ක බෝනස් මුදලක් ඇති බවත් මෙහිදී හෙළි විය.

කැබිනට් රැස්වීම.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණෙන අමාත්‍යවරුන් ජංගම දුරකථන ක්‍රියාවිරහිත කර තබන ලෙස ජනාධිපතිවරයා නියෝග කළා. ඊට හේතු වන්නේ ඇතැම් අමාත්‍යවරුන් දුරකථන ඇමතුම් ලබාගැනීම හා Facebook ඇතුලු සමාජ ජාලා වෙබ් අඩවිවල සැරිසැරිම ඊට හේතුවයි.

පාර්ලිමේන්තුව කල් තැබීම.
පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුව රැස් වූ පසු ඩෙංගු කළමණාකාරණය පිළිබද ප්‍රශ්ණයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ඉදිරිපත් කර තිබුනි. එයට පිළිතුරු ලබා දිය යුතුව තිබුනේ අග්‍රාමාත්‍යවරයාටයි. එහිදී පාර්ලිමේන්තුව තුල ඇති වූ නොසන්සුන්කාරි වාතාවරණයක් හේතුවෙන් ප්‍රශ්ණයට පිළිතුරු ලබාදීමට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දුරකථන ඇමතුමක් ලැබුනි. එම අවස්ථාව වන විට සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග මහරගම පැවැති කොළඹ දිසත්‍රික් පරිසර සමුළුවට සහභාගි වීම සදහා යමින් සිටියහ. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් පාර්ලිමේන්තු පැමිණ පිළිතුරු ලබාදීම ආරම්භ කරන විට පාර්ලිමේන්තුව කල්තබා විනාඩි 35 ක් ගත ව තිබුනි. සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදීමට ආරම්භ කරන විට නොසන්සුන්කාරි වාතාවරණයක් ඇති කරමින් ප්‍රශ්න ඇසූ මන්ත්‍රිවරුන් මුනිවත රැකීම විශේෂ සිදුවීමක් විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට සරසවි සිසුන් ඇතුලු වීම
පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අවසන් කර නිවසට පැමිණියේ දිවා ආහාරය ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති ඇතුලත් වාර්තාව බාරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණීමේ අරමුණින්. එවිට අමාත්‍යවරයාට ලැබුණ දුරකථන ඇමතුමකින් කියවුනේ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට සරසවි සිසුන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී දේපලවලට අලාභහානි සිදු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා නිවසේ රැදී සිටිමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ පිළිබඳව දැනුම් දෙමින් අදාල ක්‍රියාමාර්ග ගැනීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබීය. එහිදී රාජ්‍ය දේපල ආරක්ෂා කර ගැනීම සහ සෞඛ්‍ය සේවකයින්ට හානියක් සිදු නොවන අයුරින් ඉවතට ගැනීම පිළීබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. ආරක්ෂක අංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියෙන් සරසවි සිසුන් ඉවත් කරන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබද අවධානය යොමු කරමින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. පසුගිය බ්‍රහස්පතින්දා (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී ද මේ පිළිබද අවධානය යොමු කළ අතර, එහිදී සියළුම ආයතන ප්‍රධානීන් සරසවි සිසුන්ගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් අදහස් පළ කරන ලදී.

Top