1150 x 80 px

 

ආපස්සට හැරිලා බලන්න මොකද වුණේ  කියලා මතක් වෙයි - රොහාන් ප්‍රනාන්දුට මැක්ස්වෙල් ද සිල්වාගෙන් පිළිතුරු
ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳ මේ දිනවල කතා බහට ලක්වෙමින් තිබේ. අවසන් වරට 2009 වසරේ එහි නිලවරණය පැවැත්වීමෙන් පසු නැවත නිලවරණයක් පිළිබඳ සාකච්ජාව ගොඩනැගී තිබීම ඊට හේතුවයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලතම ස්ථානයක් වන ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කිරීමට ජාතික ක්‍රීඩා සංගම් සියල්ලම පාහේ උත්සුක වෙයි. එමෙන්ම එහි මුල් පුටු ජය ගැනීමද ජාතික සංගම් වල අරමුණක් බවද සඳහන් කළ යුතුය. 2013 වසරේදීද නිලවරණය පැවැත්වීමට සුදානම් වුවද ඊට ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව ,ක්‍රීඩා ව්‍යවස්ථාව හරස් වී තිබේ. මෙරට ක්‍රීඩා ව්‍යවස්ථාව හා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නීති රෙගුලාසි අතර පවත්නා ඝට්ටනයන් අද දක්වාම නිරවුල් කර ගැනීමටද හැකි වී නැත. කෙසේ වෙතත් පවත්නා ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගෙන මෙම වසර අවසන් වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට කටයුතු යොදන බව එහි වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා ඇත.
 
ඒ අනුව එළඹෙන නොවැම්බර් 09 වෙනි දින ඔලිම්පික් නිවහනේ මහා සභා රැස්වීමක් කැඳවා ඇත්තේ මේ මොහොතේ නිරාකරණය කර ගත යුතු කාරණා පිළිබඳව සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීමටය. මේ අතර ඊට එරෙහිව ක්‍රීඩා සංගම් 11ක නිලධාරීන්ගේ අත්සනින් යුතුව ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත්තේ  2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් විගණනය කර නොමැති වීම, 2013 වසරෙන් පසු මහා සභා රැස්වීමක්/විධායක කමිටු රැස්වීමක් හෝ නිලධාරී මණ්ඩල රැස්වීමක්  නොපැවැත්වීම ආදී කාරණා පිළිබඳව  ප්‍රශ්න කරමිනි. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ නව ව්‍යවස්ථාවේ සැලැස්ම ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. 
 
ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්‍ය වාර්තා පිළිබඳ ප්‍රශ්න කර තිබුණේ මුල්‍ය කමිටුවේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාය. ඊට පිළිතුරු දෙමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා  මහතා සඳහන් කළේ  විගණන කටයුතු වල ප්‍රශ්නයක් නොමැති අතර මෑත වසර වල විගණන කෙරමින් පවතින් බවත්  ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්‍ය අර්බුදයක් නොමැති බවත්ය.
 
මේ පිළිබඳව රොහාන් ප්‍රනාන්දු මහතාද පිළිතුරු දුන් අතර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමින් කිසිදු සංස්කරණයකින්  තොරව එය අප වෙබ් අඩවියේ පළකෙරිණි.  රොහාන් ප්‍රනාන්දු මහතාගේ එම කරුණු දැක්වීම ජාතික ඔලිම්පික් කමිටුවේ කිර්ති නාමයට හානි දායක ලෙස බලපා  ඇති බවට එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අවධාරණය කරන අතර ඒ පිළිබඳව ඔහු අප වෙත කරුණු  දැක්වීමක් කරන ලදී. 
 
මුල්‍ය වාර්තා ගැන මුල්‍ය කමිටුවේ සභාපති වගකිව යුතුයි.
 
ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්‍ය වාර්තා පිළිබඳ ප්‍රශ්න කිරීමට රොහාන් ප්‍රනාන්දු මහතාට සාධාරණ අයිතියක් නැත්තේ ඔහු එහු මුල්‍ය කමිටුවේ සභාපතිවරයා වන හෙයින් බව මහා ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි. 2014 වසරේ ජුනි මස සිට ඔහු  මුල්‍ය කමිටුවේ  සභාපතිවරයා ලෙස කටයුතු කරන හෙයින් 2014, 2015,2016 යන වසර වලට අදාළව මුල්‍ය වාර්තා පිළිබඳව දැන ගත යුතු බවයි සිල්වා මහතා පෙන්වා දෙන්නේ. මුල්‍ය කටයුතු පිළිබඳව මහ ලේකම්වරයා වග උත්තරකරුවෙක් නොවන අතර එහි වගකීම මුල්‍ය කමිටුවේ සභාපතිවරයා හා භාණ්ඩාගාරිකවරයා දැරිය යුතු අතර එම වගකීම පසෙක තබමින් කිසිත් නොදන්නා ලෙස ප්‍රශ්න කිරීම සිය වගකීම් පහර හැරීමක් බව මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රථමයෙන් කියා සිටියි.

 
මිලියන 40ට මොනවත් වෙලා නැහැ. ඒක  මහජන බැංකුවේ තියෙනවා 
 
2102, 2013 වසර වල විගණනයන් සිදු කර ඇති අතර ඒ පිළිබඳ කිසිවෙකු හෝ ප්‍රශ්න කරන්නේ නම් විගණකාධිපති දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් බව මහ ලේකම්වරයා සඳහන් කරයි. 2014, 2015 හා 2016 වසර වල ගිණුම් විගණනය කිරීමට ඇති අතර දැනටමත් 2014 හා 2015 වසර වල විගණන කටයුතු සිදු වන බව හෙතෙම පවසයි. මේ අතර 2016 වසරේ දී ජාතික ඔලිම්පික් කමිටුව විනිවිදභාවයකින් තොරව මුදල් පරිහරණය කර ඇති බවට රොහාන් ප්‍රනාන්දු මහතා චෝදනා කර තිබේ. ඊට පිළිතුරු දෙමින් මැක්ස්වෙල් ද සිල්වා මහතා අවධාරණය කරන්නේ මුදල් පරිහරණය කර ඇත්තේ නියමිත පටිපාටියට අනුව යමින් බවයි. එමෙන්ම සියලු මුල්‍ය කටයුතු පිළිබඳව රොහාන් ප්‍රනාන්දු මහතාවද දැනුවත් කර ඇති බව ඔහු ප්‍රකාශ කරයි. ඔලිම්පික් කමිටුව සතු රුපියල් මිලියන 40කට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවද රොහාන් ප්‍රනාන්දු මහතා  ප්‍රශ්න කරන අතර මහ ලේකම්වරයා සඳහන් කරන්නේ එම මුදල් මහජන බැංකුවේ අදාළ ගිණුමේ අදටත් පවතින බවයි. 

 
බලාගෙන හිටියට වැඩ වෙන්නේ නැහැ. වැඩ කරන්න දැනගන්න ඕනේ 
 
"ජාතික ඔලිම්පික් කමිටුවේ සිදු වන සෑම දෙයක් පිළබඳවම සභාපතිවරයාගේ සිට සියලුම දෙනා දන්නවා. කිසිකෙනෙකුට දන්නේ නැහැ කියල කියන්න බැහැ. වැඩක් කිරීමේ අරමුණින් නම් මේ තැන්වලට එන්නේ ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. එක එක්කෙනා මත වගකීම් පවරලා වැඩක් නැහැ. තමන්ට අයත් රාජකාරී  කොහොමහරි කරගන්න නායකත්වයකට පුළුවන් වෙන්න ඕනේ. අපිට දැන් අවශ්‍ය මේ විගණන කටයුතු ඉක්මණින් අවසන් කරලා නිලවරණය පවත්වන්න."

 
ආපස්සට හැරිලා බලන්න මොකද වුණේ  කියලා මතක් වෙයි 
 
ජාතික ඔලිම්පික් කමිටුව තුළ මෙලෙස අර්බුද නිර්මාණය වන විට අන්තරජාතික ඔලිම්පික් කමිටුවද ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථා ප්‍රශ්න ආදිය නිරාකරණය කර නොගැනීම පිළිබඳවය. ක්‍රීඩා පනත වෙනස් කිරීමට අදාළවද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව උපදෙස් දී තිබූ අතර එය අදටත් සම්පුර්ණ කර ගැනීමට හැකි වී නැත. ඒ අනුව 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ  සිදු වූ දේවල් මොනවාද යන්න පිළිබඳව අද දවසේදී රොහාන් ප්‍රනාන්දු  මහතා ප්‍රශ්න කරන අතර එසේ ප්‍රශ්න කිරීමට ඔහුට අයිතියක් නොමැති බව මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. මන්ද එම කාලය තුළ රොහාන් ප්‍රනාන්දු මහතා ද ඔලිම්පික් කමිටුවේ සිටි හෙයිනි. 

 
ව්‍යවස්ථාවක් නැති මට්ටමක තිබුණේ
 
පැවති ව්‍යවස්ථාව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව භාර නොගත් හෙයින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැවති  බව මැක්ස්වෙල් ද සිල්වා මහත් පෙන්වා දෙයි. ඒ අනුව ව්‍යවස්ථාවක් සකස් කළ අ තර එය ද අනාවරණ නොකළ බවට රොහාන් ප්‍රනාන්දු මහතා  එල්ල කරන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කරයි. විද්‍යුත් තැපෑල හරහා ඔවුන්ට එය යොමු කළ  බවයි හෙතෙම අවධාරණය කරන්නේ. රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු කිහිපදෙනෙකුගේ හැසිරීම ජාතික සංගම් නොමඟ යෑමට හේතු වන බවද මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි. එළඹෙන නොවැම්බර් 09 වෙනි දින පැවැත්වෙන මහ සභා රැස්වීමේදී දැනට ඔලිම්පික් කමිටුවේ පවතින බොහොමයක් ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම සඳහන් කරයි. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top