1150 x 80 px

 

බිංදුවට වැටුණු මහජන බැංකුවේ වෘත්තීය සමිති !
මහජන බැංකුවේ වෘත්තීය සමිති ගැටුම හා එහි ප්‍රතිපලයක් ලෙස සේවක වරප්‍රසාද  අහිමි වීම දක්වා ගිය ගමන  පිළිබඳව අපි මීට ඉහත අවස්ථා දෙකකදී කරුණු අනාවරණ කළෙමු. නැවත වටයකින් ඒ පිළිබඳව කතා කරන්නට සිදුව ඇත්තේ අදටත් පිටිය නිදහස් වී නොමැති හෙයිනි. දැන් නිලධාරීන් හා සේවකයන් වෙත බලහත්කාරය පෑම දක්වාම මේ වෘත්තීය සමිති අවනඩුව දිගුවක් වී තිබේ. 
 
බැංකු සේවකයන්ගේ ප්‍රධානම වෘත්තීය සමිතිය වන ලංකා බැංකු සේවක සංගමයේ පසුගිය ජුලි 14වැනිදා පැවති නිලවරණයෙන් බලය වෙනස් වන්නේ මෙකී ගැටුමට මුලපුරමිනි. මහජන බැංකුවේ ශාඛා සංගමයක්  ලංකා බැංකු සේවක සංගමයේ මුල් පුටුවලට පත්ව සිටියි. ප්‍රගති පෙරමුණ ලෙස එකට එක්ව කටයුතු කළ ඔවුන් මෙවර නිලවරණයේදී දෙපසකට වන්නේ නව සේවක පෙරමුණ ගොඩනගාගනිමිනි. එතෙක් ලංකා බැංකු සේවක සංගමයේ බලයේ සිටි මහජන බැංකුවේ ප්‍රගති කණ්ඩායම පරාජය කර සේවක පෙරමුණ නිලවරණය ජයග්‍රහණය කරන්නේ බැංකු සේවකයන්ට නව බලාපොරොත්තු රැසක් ලබා දෙමිනි. එහෙත් දැන් එය සෙසු බැංකු සේවකයන් කෙසේවෙතත් සිය ආයතනය වන මහජන බැංකුවේ සේවකයන් හමුවේම ලත් තැන ලොප් වී තිබේ.  තවදුරටත් සේවක අයිතිවාසිකම්, වරප්‍රසාද දිනාගැනීම වෙනුවෙට එතෙක් දිනා සිටි වරප්‍රසාද අහිමි කර ගැනීමට ඔවුන් දැනටමත් සමත්ව හිඳියි. මහජන බැංකුවේ පාලනාධිකාරිය විසින් චක්‍ර ලේඛ දෙකක් මඟින් සේවක වරප්‍රසාද අත්හිටුවන්නේ වෘත්තීය සමිතියට පිං සිදු වන්නටය.  
 
ආරම්භයේ පටන්ම මහජන බැංකු පාලනාධිකාරිය හා ගැටෙමින් බැංකුවේ කිර්ති නාමයට හානි වන අයුරින් කටයුතු කිරීම එවැනි රතු ඉරක් වදින්නට හේතු වී තිබේ. පාලනාධිකාරිය සමඟ සාකච්ජාවක් හෝ ලබා ගැනීමට ඔවුන් අපොහොසත්ව සිටින අතර ඊට විකල්පයක් ලෙස ශාඛා වෙත ගොස් සිය බලය යෙදවීම ආරම්භ කර තිබේ. අම්පාර මහජන බැංකුවේ දී ඔවුන් අඩව්වක් අල්ලා තිබුණේ එහි ප්‍රතිපලයක් ලෙසය. කෙසේ නමුත් දැන් මහජන බැංකුව තුළ වෘත්තීය සමිති තඹයකටවත් මායිම් නොවන තැනකට පත් වන්නේ නව කණ්ඩායම බලයට පත්ව මාස 6ක් හෝ යන්නට පෙරාතුවය. දිනා ගැනීමට ඇති දේ කෙසේ වෙතත් දිනා ගත් දේ රැක ගැනීමට නොහැකි වූ පරිසරයක හෙට දවසේදී  මහජන බැංකු සේවකයන්ගේ වෘත්තිමය අයිතිවාසිකම් කෙබඳු තලයකට ඇද වැටේවිද? එය සෙසු බැංකු සේවකයාටත් බලපෑමක් වේද? මේ පිළිබඳව  අවධානය යොමු කරමින්  මහජන බැංකුවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය පිළිබඳව එහි ප්‍රධානීන් ඇතුළු බැංකු නිලධාරීන් අපවෙත අදහස් පළ කළේය. 
 
සහකාර සාමාන්‍යාධිකාරී ලංකා බැංකු සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ඒ.කේ. බණ්ඩාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ  මහජන බැංකුවේ වංචා, දුෂණ ගැන පවසමින් සේවකයන් නොමඟ යවා ලංකා බැංකු සේවක සංගමයට පත් වූ මහජන බැංකුවේම කණ්ඩායම දැන් කටයුතු කරමින් සිටින්නේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට බවයි. මේ හේතුවෙන් පසුගිය වසර දොළහක පමණ  කාලයක සිට වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයේ මැදිහත්වීමෙන් දිනා ගත් වරප්‍රසාද අහිමි කර ගෙන ඇති බවයි  බණ්ඩාර මහතා සඳහන් කරන්නේ. වෘත්තීය සමිතියක් සේවකයා වෙනුවෙන් වගකිවයුතු වන අතර ඔවුන්ගේ කාර්යය පාලනාධිකාරි සමඟ සුහදව සිය කාර්යභාරය ඉටුකිරීම මිස පාලනාධිකාරියට අනවශ්‍ය බලපෑම් නොකිරීම බව හෙතෙම අවධාරණය කරයි.
 
මහජන බැංකුවේ මේ වන විට ක්‍රියාත්මක ඩිජිටල්කරණ ව්‍යාපෘතිය පිළිබඳවද බැංකු සේවකයා තුළ වැරදි චිත්‍රයක් ඇඳීමට සේවක පෙරමුණ කටයුතු කර තිබේ. සෙස්සන් චෝදනා කරන්නේ එලෙසය. එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු වලදී මුල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවයි ඔවුන් දිගින් දිගටම සේවකයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. නිලවරණය සමයේ මේ පිළිබඳව දැඩි කතා බහක් තිබූ අතර සේවක පෙරමුණේ සිය මතය තහවුරු කර ගැනීම සඳහා මාධ්‍යයද භාවිතා කළ බවටයි ප්‍රගති කණ්ඩායම පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මේ වන විට එම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් දිවයින පුර ක්‍රියාත්මක බව බැංකු සේවකයන්ම සඳහන් කරයි. 
 
ප්‍රගති පෙරමුණේ වත්මන් ලේකම්වරයා වන හා නියෝජ්‍ය කළමණාකරුවකු ලෙස සේවය කරන එල්.කේ.ඩබ්. සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලනික වෘත්තීය සමිති වල වුවමනාවන්ට අනුව සේවක පෙරමුණ කටයුතු කිරීමට යෑමෙන් බැංකුව තුළ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය  පිරිහීමට ලක්වූ බවයි.
 
මහජන බැංකුවේ සේවකයන් පෙන්වා දෙන පරිදි සේවක පෙරමුණ කටයුතු කර ඇත්තේ සාමාජිකත්වය ප්‍රාණ ඇපයට තබා ගනිමිනි. පසුගිය කාලය පුරාම ලංකා බැංකු සේවක සංගමය බැංකු පාලනාධිකාරිය සමඟ එක්ව සුහදව කටයුතු කිරීමෙන් ප්‍රතිලාභ රැසක්  සමස්ත සේවකයාට හිමිව තිබේ. වසර තුනක් අවසානයේ අලුත් වන සාමුහික  ගිවිසුමෙන් ඓතිහාසික ලෙස වැටුප් වැඩිකරගැනීමට හැකි වූයේත් පෙර වෘත්තීය සමිති නියෝජිතයන් පාලනාධිකාරිය සමඟ තිබූ සුහදත්වය හේතුවෙනැයි මහජන බැංකුවේ කළමණාකරුවකු වන අජිත් රත්නායක මහතා සඳහන් කරයි. එළඹෙන ජනවාරියේ සිට සාමුහික ගිවිසුම යාවත්කාලීන වීමට නියමිත අතර පවත්නා තත්ත්වය අනුව සේවකයාගේ ප්‍රතිලාභ කප්පාදුවීමක් හැර යහපත් ප්‍රතිපලයක් බලාපොරොත්තු විය නොහැකි  බවයි රත්නායක මහතා පෙන්වා දෙන්නේ. 
 
පාලනාධිකාරියට බලපෑම් කරමින්, චෝදනා කරමින් උද්ඝෝෂණ ඇතුළු විරෝධතා මඟින් දැන් සේවක අයිතිවාසිකම් දිනාගැනීමට සිදුව ඇත්තේ ආරම්භයේදීම වෘත්තීය සමිති නියෝජිතයන් නිවැරදි ක්‍රියාකලාපයක නොසිටි බැවිනැයි කළමණාකරු අමාන් මහතා කියා සිටියි. නිලවරණයට පෙර සේවක පෙරමුණ පොරොන්දු රැසක් ලබා දුන්නද අද ඒවා ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා ඇති බවයි අමාන් මහතා පවසන්නේ. වෙනත් ක්ෂේත්‍රයන් මෙන් නොව බැංකු ක්ෂේත්‍රය තුළ වරප්‍රසාද දිනා ගැනීමට නම් ඉහළ කළමණාකාරිත්වය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
 
මහජන බැංකුව තුළ දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති අර්බුදය ක්‍රමානුකූලව සෙසු රාජ්‍ය හා පෞද්ගලික බැංකු කරාද ව්‍යාප්තවන බව සහකාර සාමාන්‍යධිකාරී ඒ.කේ.බණ්ඩාර මහතා පවසයි. සැලසුම්සහගත ලෙස මහජන බැංකුවට කරන මෙම බරපතල තර්ජනය කළමනාකරණය නොවුන හොත් සමස්ත බැංකු පද්ධතියටම එය බලපෑම් කරන බවයි බණ්ඩාර මහතා කියා සිටින්නේ. වෙනදා ශාඛාවක ඇති වූ ප්‍රශ්නයක් එම ශාඛාව තුළම විසදීමේ හැකියාවක් තිබූ නමුත් වත්මන් ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරීන් නිසා එම තත්ත්වය අඳුරු තැනකට ඇදවැටෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top