1150 x 80 px

 

ජාතික වෙඩි තැබීමේ සංගමයේ වංචාවක් වුණාද? හිටපු ලේකම් මුල්වරට මාධ්‍යයට කතා කරයි

ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් සභාපති ශිරන්ත පීරිස් මහතා උපසභාපතිව සිටි සමයේ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අපි තොරතුරු අනාවරණ කළෙමු.

ජාතික වෙඩි තැබීමේ සංගමය හරහා පතරොම් හා අවි ආනයනය කර මෙරටදී ක්‍රීඩකයන්ට විකිණීමේදී එම මූල්‍ය අක්‍රමිකතා සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන තිබුණේ ජාතික වෙඩි තැබීමේ සංගමයේ හිටපු ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම මහතාය. මූල්‍ය වංචා අනාවරණ කර ගැනීම නිසාම ඔහුට තමන්ගේ අන්තර් ජාතික විනිසුරුවරයෙක් හා තරඟ තීරකවරයෙක් ලෙස ලබා ගෙන තිබූ බලපත්‍ර අත්හිටුවීමය. එහෙත් මේ වන විට විමර්ශන මඟින් වරදකරුවන් අනාවරණ වෙමින් තිබීම හෙට දවසේ වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නව ගමනාරම්භයක් සනිටුහන් වීමක් විය හැකිය. මෙම සියලු කාරණා හමුවේ මේ වන විට ජාතික වෙඩි තැබීමේ සංගමයේ පවතින තත්ත්වය පිළිබඳ අප සමඟ කතා කිරීමට විශ්‍රාමික ලුතිනන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම මහතා එක් විය.

අවි සහ පතරොම් සමඟ නිරන්තරයෙන් ගැවසුණ ඔබට ඒ අවි පතරොම් නිසාම විශාල ප්‍රශ්නයකට මුහණ දීමට සිදු වුණා. එය පෞද්ගලිකව ඔබට සිදුවූ අසාධාරණයක් වගේම ක්‍රීඩාවට සිදුවූ අපකීර්තියක් ලෙසත් ඔබ පෙන්වා දෙනවා. මේ සියලු තත්ත්වයන් හමුවේ මුලින්ම අපි කතා කළොත් ජාතික වෙඩි තැබීමේ සංගමයේ ආරම්භය හා එහි ස්වභාවය?

shirantha pierisඅපේ සංගමය මුලින්ම තිබුණේ ජාතික රයිෆල් සංගමයත් එක්ක. අපි ඔක්කොම් ඒ සංගමයේ සාමාජිකයෝ. නමුත් අන්තර් ජාතික නීති රීති අනුව ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර වෙඩි තැබීමේ සම්මේලනයේ තියෙන නීති රීති රෙගුලාසි වලට අනුව ජාතික රයිෆල් සංගමයේ කර ගෙන ගිය ක්‍රීඩාවන් පටහැනි බව ඔවුන් දන්වා තිබුණා. ඒ නිසා එම අන්තර්ජාතික සංගම් අපට දැනුම් දුන්නා මේ දෙක වෙන් කරන්න කියල. ඒ අනුව 2006 අපි වෙනම සම්මේලනයක් හැටියට පිහිටුවා ගත්තා. ඒ අවස්ථාවේ පළමු රැස්වීමේදී මම තමයි පළමු ලේකම් වුණේ. එවිට දැන් වත්මන් සභාපති ශිරන්ත පීරිස් උප සභාපතිවරයෙක්. එතැන් සිට සභාපති වන තෙක් උපසභාපතිවරයෙක් ලෙස ඔහු කටයුතු කරලා තිබෙනවා.

අවි, පතරොම් මිලදී ගැනීම සිදුවෙන්නේ කොහොමද?

පතරොම් මිලදී ගනිද්දී ටෙන්ඩර් පටිපාටිය අනුව සැපයුම්කරුවන් තුන්දෙනෙක්ගෙන් ඉන්වොයිස් ගෙන්න ගන්න ඕනේ. ඒ ඉන්වොයිස් තුන තාක්ෂණික කමිටුවට දෙන්න අවශ්‍යයි. තාක්ෂණික කමිටුවෙන් තමයි නිර්දේශ කරන්නේ අපි ගන්න ඕන සුදුස්සා කවුද කියල. හැබැයි සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල සිදුවෙනවා, ලෝකේ තියෙන තාක්ෂණයෙන් අනර්ඝ තත්ත්වයේ තියෙන ක්‍රීඩා උපකරණ ලබා ගැනීම. ඒ අවස්ථාවල අපට පුළුවන් කෙලින්ම නිෂ්පාදකයාගෙන් ලබා ගන්න. නිෂ්පාදකයාගෙන් එද්දී අවම මිල සඳහන් වෙනවා. ඒ විදිහට තමයි මිලදී ගැනීමේ පටිපාටිය වෙන්නේ.

මුදල් ලබා දීමේදී මෙහෙමයි වෙන්නේ මුලින්ම අපිට එතරම් මුදලක් තිබුණේ නැහැ. සංගමය අලුතින් පිහිටුවා ගත් නිසා. ඒ නිසා අපි හුගක් වෙලාවට අවශ්‍යතාව තියෙන අයගෙන් මුදල් ලබා ගන්නවා අත්තිකාරම් වශයෙන්. එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මෙතන ක්‍රීඩාවට මහා ලොකු ලාභයක් නැහැ. රුපියලක් දෙකක් ,පහක් තියෙයි. ඒ මුදල් ජාතික සංගමයට දිය යුතුයි. පෞද්ගලිකව කාටවත් ඒ මුදල් භාවිතා කරන්නවත් ළඟ තබා ගන්නවත් බැහැ. නමුත් මෙතැන ප්‍රශ්නය වුණේ උප සභාපති විදිහට ඉදිමින් ශිරන්ත පීරිස් කළ වැඩේ. එයාට භාර දීල තිබුණේ ෂොට් ගන් ඉසව්. ප්‍රශ්නේ ආවෙත් එතැන.

ඔබ ලේකම් ලෙස ඉන්නවා. ශිරන්ත පීරිස් හැරුණු විට තවත් සභාපතිවරු තිදෙනෙක් ඉන්නවා. කොහොමද ශිරන්ත පීරිස් කාටත් හොරා මේ වැඩේ කරන්නේ?

අපි සාමාන්‍යයෙන් වගකීම් නිශ්චිතව පවරනවා. මම ලේකම් වුණා කියලා හැම වෙලාවේම මම අනිත් අයගේ වැඩවලට ඇඟිලි ගහන එක යුතු නැහැ. මොකද හැමෝටම පවරපු වැඩ කොටසක් තියෙනවනේ. අවශ්‍ය වෙන්නේ නිසි වෙලාවට ඒ වැඩ ටික විනිවිදභාවයකින් කිරීම. ශිරන්ත පීරිස්ගේ ප්‍රශ්නෙදි එයා අපි හැමෝම නොමඟ යවනවා. විනිවිදභාවයකින් වැඩ කරන බව බොරුවට පෙන්වල තියෙනවා. නමුත් අන්තිමට ගණුදෙනු වල කිසිම වාර්තාවක් නොදී මඟ හැරියා. මම නිතරම ඔහුට දැනුම් දීලා තියෙනවා. ඒ වාර්තා ඉක්මණින් ලබා දෙන්න කියලා නමුත් ඒ කිසි දෙයක් ඔහු කළේ නැහැ.

කොහොමද ඔබ ප්‍රශ්නය අල්ලගන්නේ?

මම ලේකම්ව සිටියදී පැවති රැස්වීමකදී යම් කතා බහක් ඇති වුණා ගිණුම් සම්බන්ධව. ඒ ගිණුම් නිවැරදිව සටහන් වෙලා නැහැ කියන කාරණය ගැන. මේ කතා බහ ඇතිවෙන්නේ 2015 ජූනි විතර අපේ සම්මේම්ලනයේ නව සාමාජිකයන් පත් වීමෙන් අනතුරුව. මා ලේකම්ව සිටි කල සිදුවූ සිද්ධියක් බැවින් මා මේ පිළිබඳව සොයා බැලුවා. ඇත්ත වශයෙන්ම එහි මට වඩා වගකිමක් තියෙන්නේ භාණ්ඩාගාරිකතුමාට. ඒ වෙද්දී භාණ්ඩාගාරික තනතුරටත් වෙනත් කෙනෙක් පත්වෙලා සිටි නිසා මටම තමයි බලන්න වුණේ.

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පත් කරලා හිටිය දේවපතිරාජ කියන මහත්මය ගිණුම් පරික්ෂාවට. මම ඔහු මුණගැහිලා ඇහුවා මේ ගැන. ඔහු කියපු දේ තමයි සමහර ගිණුම් අපැහැදිලි බවත්,එම තොරතුරු දන්නවද කියලා මගෙන් ඇහුවා. එම ලිපි පරික්ෂා කරලා මම කිව්වේ මම ඒ ගැන දන්නේ නැහැ, එහෙම ගණුදෙනුවක් ගැන දැනුවත් නැති බව. පස්සේ මම සොයා බැලීමක් කළා. එවිට තමයි දැනගන්න ලැබුණේ ව්‍යාජ ලේඛන සකස් කරලා අවි සහ පතරොම් ගෙනල්ලා තියෙනව කියල. මම එතනින් නතර වුණේ නැහැ. මම සොයා බැලුවා ගෙනල්ල තියෙන අවි ,පතරොම්, Targets හැම දෙයක් ගැනම. එතැනදී මට තව තව දේවල් දැනගන්න ලැබුණා. මම එතැනදී කළේ මුලින්ම ඇමතිතුමාට දන්වන්නේ නැතිව හිටපු ලේකම් ලුතිනන් කමාන්ඩර් නවීන් පත්මරත්නට දන්වලා යැව්වා. නමුත් සංගමයේ අලුතින් පත්වුණ අය කියා සිටියේ මා පරාජය වීම නිසා ඊර්ශ්‍යාවෙන් චෝදනා කරනවා කියල. ඒ තත්ත්වය මත මේ ගැන නිසි අවධානය යොමු වුණේ නැහැ. අවධානය යොමු නොවුන නිසා ඒ ගැන මම ඇමතිතුමාට දැනුම් දුන්නා. නමුත් ඒකට ප්‍රතිචාරයක් ලැබුනෙත් නැහැ. ඊට පස්සේ මම FCID එකට දැනුම් දුන්නා. එතනින් මේක කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය වෙත එවලා තිබුණා. පස්සේ වංචා විමර්ශන කොට්ඨාසයෙන් කතා කරලා කිව්වා පැමිණිල්ලක් ලැබිලා තියෙනවා, ඒ ගැන විමශන කරන්න පැමිණෙන්න කියල.

මම විමර්ශනයට කරුණු ඉදිරිපත් කළා. මම ඒ ගැන අපේ රැස්වීමකදී කියා සිටියා. මේ විමර්ශන අතරතුරත් මම SOUTHERN SPORTS SHOOTING සංගමය වෙනුවෙන් සෑම සභා වරයකටම පැමිණියා. වංචා විමර්ශන ඒකකයෙන් කළ ප්‍රශ්න කිරීම ගැන මම සංගමය දැනුවත් කලත් ඔවුන් ඒ ගැන තැකීමක් කළේ නැහැ. නමුත් ඔවුන් මට බොරු චෝදනා තුනක් එල්ල කළා. චෝදනා පත්‍රයක් වත් භාර නොදී දින හතරක් ඇතුළත පරීක්ෂණයක් පවත්වනවා ඊට පැමිණෙන්නන කියලා. මේක පරීක්ෂණයක් හැටියට මම පිළිගන්නේ නැහැ. මොකද වුණේ කියා හරියට මමවත් අනෙක් අයවත් නොදන්නා නිසා මෙය පරීක්ෂණයක් නොවෙයි විමර්ශනයක් බව දන්වා සිටියා. මට එරෙහි චෝදනා වලට මම කරුණු පැහැදිලි කළා. නමුත් විමර්ශන කණ්ඩායම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. දිගින් දිගටම අන්තිමට වුණේ ඔවුන් මාව වැරදිකාරයෙක් බවට ප්‍රකාශ කළ එක. පසුව මාව රැස්වීමවලට ගෙන්වන එකත් නතර කළා. ඔය අතරතුර මට අපේ සංගමයේ සභාපතිගෙන් ලියුමක් ලැබෙනවා කරන ලද පරීක්ෂණයක් ප්‍රතිපලයක් වශයෙන් මාව තහනම් කරනවා කියල. ඒ තීරණය මත මගේ අන්තර් ජාතික විනිසුරු හා තරඟ තීරක බලපත් තබා ගැනීමට සුදුසු නැති හෙයින් ඒවා නැවත කැඳවන්න කියල දැනුම් දෙනවා. ඒ ගැන ජාත්‍යන්තර වෙඩි තැබීමේ සංගමයටත් දන්වා තිබුණා. ඔවුන් මගේ බලපත්‍ර කැඳවීමක් කළා. මම ඒවා සංගමයට යැව්වා. අන්තිමට හොරකම් පෙන්වල දෙන්න ගිය එකෙන් තමයි මට මගේ බලපත්‍ර අහිමි වුණේ.ඔවුන් හිතුවා මාව ඉවත් කළාම ඔවුන්ගේ හොරකම් මට හොයාගන්න බැරි වෙයි කියලා. සාමාජිකයන්ට පවා ඔවුන් කියලා තිබුණේ මාව බාධාවක් විදිහට. සමහරු දැනගෙන තවත් සමහරු නොදැන සභාපතිට උදව් කළා.

shirantha pieris 2නමුත් විමර්ශනයක් සිදුවුණා?

පරීක්ෂණ කමිටුවත් ස්වාධීන නැහැ. ඔවුන්ගේම අය. නමුත් පැමිණිලි විමර්ශනයේදී අවශ්‍ය ලිපි ලබා දුන්නා. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පසුගිය දෙසැම්බර් 26 වැනිදා කළ විමර්ශනයේදී මම මට එරෙහිව තිබූ ලිපි පෙන්නුවා. එතැනදී සභාපති ශිරන්ත පිරිස් මහත්මයාගෙන් ඇහුවා ඔබ කොහොමද ඒකමතිකව තීරණය කරන්නේ මාව තහනම් කරන්න සහ ඒවා ගැන වාර්තාවල සඳහන් වෙලත් නැහැ කියල. ඔහු එතැනදී පිළිගත්තා ඒක වැරදීමක් වෙලා තියෙන්නේ කියලා. තහනම නිත්‍යානුකුලව සිදු කළේ නැහැ කියලා පිළිගත්තා. ඊට පස්සේ අමාත්‍යංශයේ විමර්ශන නිලධාරියා වූ වික්‍රමසිංහ මහත්මයා කිව්වා නිත්‍යානුකුලව තහනම කරල නැති නිසා මේ තහනම ඉවත් කරන්න කියල. බලපත්‍ර දෙන්න කියල. ඒ වෙලාවේ ශිරන්ත පිරිස් කිව්වා සියල්ල විනිවිදභාවයකින් කරන්නේ සංගමයට දැනුම් දීලා තීරණයක් ගන්නවා කියලා.

මම නිවරදිකරුවෙක් බව පෙනෙන්න තිබූ නිසා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යාංශ නිලධාරීන් හැදුවේ විමර්ශනය නතර කරන්න. නමුත් මම ඉල්ලීමක් කළා එහෙම නතර කරන්න එපා කියලා. මට එල්ල වෙලා තිබුණ චෝදනා එකින් එක ගෙනහැර දක්වමින් ඒ අයගෙම ලියුම් මඟින් මම වැරදිකාරයෙක් නොවන බවට කරුණු පැහැදිලි කරලා දුන්නා. මට අවශ්‍ය වුණා මගේ නිර්දෝෂිභාවය පෙන්වන්න.

මූල්‍ය වංචාවලට ඔබේ සම්බන්ධයක් නැත්නම් ඇයි ඔබට හදිසියේම චෝදනා එල්ල වෙන්නේ?

ඔවුන් උත්සහ කළේ මාව වැරදිකරුවෙක් කරලා ඔවුන්ගේ වැඩ ටික කරගෙන යන්න. සාමාජිකත්වයට පවා මා ගැන වැරදි ප්‍රතිරූපයක් හැදුවේ. නමුත් මේ ක්‍රීඩාව රැකගන්න නම් අපිට මේ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙනවා.

හැබැයි මට චෝදනා කළේ, අප ජාතික සංගමය සතුව අධිබලැති අවි තියෙන බවට , මා ආරක්ෂක අමාත්‍යාංශයට පැවසූ බවයි. නමුත් ඒ ලියුමේ මම එහෙම අධිබලැති අවි අප සතුයි කියල ලියලා නැහැ. මම ලියලා තියෙන්නේ අප සංගමයෙන් අධිබලැති අවි සහිත ඉසව්වලට සහභාගී වන්න අවස්ථාවක් තියෙනව කියල. මම සඳහන් කළේ අවශ්‍ය විටෙක අධි බලති අවි භාවිතා කිරීමේ හැකියාවක් ඇති බව . හැබැයි මට චෝදනා කලේ මා ළඟ අධි බලැති අවි තිබෙන බව පවසමින්. මේ තත්ත්වයන් මත නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලිව්වා සංගමය කරන වංචනික ක්‍රියා ගැන. ඒ ගැන ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රීඩා අමාත්‍යාංශයට දන්වලා තිබුණා මේ ගැන පරීක්ෂණයක් පවත්වලා කඩිනමින් වාර්තාවක් එවන්න කියලා. ආරක්ෂක අමාත්‍යාංශය ඒ ලිපිය එව්වේ ගිය අගෝස්තු 22 ක. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණය පවත්වන්න ලිපිය ලිව්වේ දෙසැම්බර් මාසේ 22. හරියටම මස හාතරක කාලයක් ගත වුණා අමාත්‍යංශයට පරීක්ෂණ ආරම්භ කරන්න. රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් වෙලා තියෙන අවි පතරොම් ගණුදෙනු ගැන සොයන්න අමාත්‍යාංශය ඉදිරිපත් වෙන්නේ පැමිණිල්ලෙන් මාස හතරකට පස්සේ. මම මේ කරුණු පිලිබඳ කිහිප වතාවක් අධ්‍යක්ෂ ජනරාල්වරයාට, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාට, ඇමතිතුමාට මේ හැමෝටම කිව්වා. ලිඛිතව දැන්නුවා. අවුරුදු දෙකහමාරක කාලයක මගේ එක ලිපියක් සම්බන්ධයෙන් වත් පරීක්ෂණයක් පැවත්වීමට කටයුතු කළේ නැහැ.

shirantha pieris 3ක්‍රීඩා අමාත්‍යාංශය ඇයි ඔබව මඟ හැරියේ?

එතන තිබුණ ප්‍රශ්නය තමයි ඇමතිතුමා හා දැන් ඉන්න සංගමයේ ලේකම් අතර බොහොම හිතවත්කමක් තියෙනවා. ඇමතිතුමා පත්වෙන වෙලාවේ මම තමයි දැන් ඉන්න ලේකම්ට කිව්වේ අහවලා තමයි ක්‍රීඩා ඇමති විදිහට පත්වෙන්නේ කියලා. ඒ වෙලාවේ ඔහු කියපු දේ තමයි ඔහුව මම හොඳට දන්න කෙනෙක්, අපිට හොඳ ගමනක් යන්න පුලවන් වෙයි කියලා. නමුත් ඔවුන් ඇමතිතුමාගෙන් වැරදි වසන් කළා. ප්‍රශ්න වෙයි කියලා මම මොනතරම් කිව්වත් ඒවා පිළිගත්තේ නැහැ.

නිත්‍යානුකූල නොවන විදිහට ඔබව තහනමට ලක් කළ මොහොතේ ඔබ නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වුණේ නැද්ද?

මගේ තහනම් කිරීමට අදාළව මම සිවිල් නඩුවක් දැම්මා. ඔය අතරේ අමාත්‍යාංශයෙන් නව ලේකම්ට හා සභාපතිට ලියුමක් ලැබෙනවා මටත් පිටපත් සහිතව නිත්‍යානුකුල පරීක්ෂණයක් පවත්වා ලුතිනන් කර්නල් ඩුෂාන් විජේවික්‍රම තහනමට ලක් කිරීම නිත්‍යානුකුල නොවන බව සනාථ වූ අතර එය සභාපති හා ලේකම් එය පිළිගන්නා ලදී කියලා . එම පිටපත මගේ නීතිඥ මහත්මයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. අපේ ජාතික සංගමයේ ලේකම්වරයාත් ඇවිත් හිටියා ඔහුගේ නීතිඥයා සමඟ උසාවියට. විනිසුරුතුමාතුමා මේ ලිපිය පෙන්වලා ඔහුගෙන් ඇහුවා මේක පිළිගන්නවද කියලා. ඒ අවස්ථාවේ ලේකම් ඒක පිළිගත්තා.

අවි සහ පතරොම් ගණුදෙනුවෙන් මේ වෙද්දී ජාතික වෙඩි තැබීමේ සංගමයට මිලියන 10ක පමණ මුදලක් අහිමි වී ඇති බවට කරුණු දක්වන්නේ ඔබ. මේ වෙද්දී විමර්ශන ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

විමර්ශන ගැන කතා කරද්දී නම් මගේ තහනම ඉවත් කරන එක ගැන තාම කිසිදෙයක් දන්වලා නැහැ. මට අවශ්‍ය වෙන්නේ බලපත්‍රය ලබා ගන්න එක. මොකද බලපත්‍රය දැනටමත් කල් ඉකුත් වෙලා තියෙන්නේ. මේ වසරේ අලුත් කළේ නැත්නම් බලපත්‍රය සම්පුර්ණයෙන්ම අවලංගු වෙනවා. එහෙම වුනොත් පිටරටකට ගිහින් නැවත ඒ විභාග සඳහා විශාල වියදමක් කරන්න වෙනවා. පොදුවේ ගත්තහම මගේ නිර්දෝෂීභාවය දැනටමත් සනාථ වෙලා තියෙන්නේ. මම තමයි මූල්‍ය වංචා හෙළිදරව් කර ගත්තේ. ඒකෙන් ක්‍රීඩාවටයි හොඳක් වෙන්නේ. අපි ක්‍රීඩාවට ආදරය කරන අය. ඒ වගේම හමුදා නිලධාරියෙක් ලෙස හෝ මට එවැනි චෝදනා කිසිවක් නැහැ. මම බොහොම පිරිසිදු කෙනෙක්.

ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - අජිත් සෙනෙවිරත්න

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top