Untitled 1

පුංචි ජන්දෙට මොකද වුණේ ? - මහින්ද දේශප්‍රිය කතා කරයි!

නිසි කලට මැතිවරණ පැවැත්වීම ජනතා අයිතියකි.ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එය මුලික ලක්ෂණයකි. දේශපාලන හෝ වෙනත් තාක්ෂණික හේතු මුල් කරගනිමින් වසර ගණන් මැතිවරණ කල් දැමීම රටක ප්‍රජාතන්ත්‍රවාදය හාස්‍යයට ලක් කිරීමකි. මේ වන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පළාත් පාලන ආයතන ජන්ද විමසීම වසර දෙකකට අධික කාලයක සිට ප්‍රමාද වෙමින් තිබේ. කමිටු වාර්තා,පනත් සංශෝධන ආදී කාරණා සම්බන්ධයෙන් පවත්නා දෝෂ හේතුවෙන් මැතිවරණය කල්දැමීමට සිදුව ඇති බව දේශපාලන අධිකාරිය රටට පවසන කතාවයි. දිගින් දිගටම සිදුවූ මැතිවරණය කල්දැමීම හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් සිදුකළ යුතු සංවර්ධන කටයුතු ඇණ හිට ඇති බවට ජනතාවගෙන් මැසිවිලි නැගෙන්නටද  විය. මේ අතර මැතිවරණය කල්දැමීම දේශපාලන තීන්දුවක් බවට ඇතැමුන් චෝදනා කළේය.

කෙසේවෙතත් මැතිවරණය පැවැත්වෙන්නේ සංශෝධිත කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයටය. ඒ අනුව සීමා නිර්ණය අත්‍යවශ්‍ය අවශ්‍යතාවකි.මේ වනවිට අශෝක පීරිස් කමිටු වාර්තාව පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට ලබා දී ඇතත් එහි පවත්නා තාක්ෂණික දෝෂ හේතුවෙන් සීමා නිර්ණය ගැසට් කිරීම තවත් මසකට කල් දැමීමට සිදුවූ බව   විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම මාසය තුළ සීමා නිර්ණය ගැසට් වනු ඇති.

මේ සියලු තත්වයන් හමුවේ දේශපාලනමය හා තාක්ෂණික කාරණාවන්ට මැදිවූ මෙම පළාත් පාලන ආයතන ජන්ද විමසීම ප්‍රමාද වීමට බලපෑ සැබෑ කාරණා පිලිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ජා කළෙමු.

ජන්ද විමසීම ප්‍රමාද වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණේ පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ආඥාපනත අනුව ජන්ද ක්‍රමය වෙනස් කිරීමට අදාළ   පනත සංශෝධනය වීමය.සමස්ත ජන්ද ක්‍රමයම වෙනස් වියයුතු බවට සමාජය තුළ තිබු සංවාදය අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පසුබිම නිර්මාණය විය. ඒ අනුව 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීම් සංශෝධන පනත සම්මත විය.

2012 වසර අවසාන භාගයේදී සම්මත වූ මෙම පනතට අනුව මැතිවරණය පැවැත්වීමට පෙර සීමා නිර්ණය කළයුතුව තිබුණි. මේ අතර විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් පනත බලාත්මක කරන තෙක් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බවටද පනතේම වගන්තියක් විය. තවද 2011 පැවැත්වීමට නොහැකි වූ පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු යන පළාත් පාලන ආයතන දෙකේ ජන්දය පැවැත්විය යුත්තේ අනුපාත ක්‍රමයට බව පනත මඟින් ප්‍රකාශ කර තිබුණි.ඒ අනුව මඩකලපුව ජන්ද විමසීම යෙදී තිබුණේ 2013 වසරේ මාර්තු මාසයේදීය. තත්ත්වය එසේ තිබියදී සංශෝධිත පනත 2013 වසරේ ජනවාරී 01 වැනිදා සිට බාලත්මක කෙරිණි. මේ හේතුවෙන් කොට්ඨාස පිලිබඳ තීරණය නොකර මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නැත.

 

කෙළවරක් නැති තාක්ෂණික දෝෂ

ඒ අනුව සීමා නිර්ණය සඳහා ජයලත් රවී දිසානායක කමිටුව පත්කළ අතර එහි වැඩ කටයුතු 2014 අගභාගය වන විට අවසන්ව තිබුණි. ඒ පිළිබඳ ලද පැමිණිලි සම්බන්ධයෙන් කමිටුව  සොයාබැලීමක් කර නොමැති අතර 2015 අගෝස්තු මාසය වනවිට මුල් වාර්තාවම වත්මන් ජනාධිපතිවරයාට භාරදී තිබුණි. ජනාධිපතිවරයා අගෝස්තු 21 වැනි දින ගැසට් නිවේදනය පළ කළේය. එහෙත් මැතිවරණය පැවත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නොහැකි විය. ඒ, තවදුරටත් එහි  පැවති තාක්ෂණික දෝෂය. ඇතැම් ඒවා සුළු තාක්ෂණික දෝෂ වූ අතර සමහර කාරණා බරපතල බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

යළි සංශෝධිත පනතක්

පැවති තත්ත්වයන් මැද මැතිවරණ කොමිසම ජන්ද විමසීම සඳහා ජන්ද පොළවල් ගැන සොයාබලා මායිම් පිළිබඳ සෙවීමට තීරණය කරන අතරතුර නැවත වරක් පනත හරස් වී තිබුණි.මේ පනතේ 3 (ඈ ) වගන්තියේ සඳහන් කර ඇති පරිදි  සීමා නිර්ණය කමිටුවේ යම් පැමිණිලි සහ අඩුපාඩු ඇත්නම් ඒ පිලිබඳ කමිටුවක් පත්කර විමර්ශනයෙන් අනතුරුව සංශෝධන කිරීමට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට හැකියාව පවතියි.අශෝක පීරිස් කමිටුව පත්කරන්නේ ඒ අනුවය. මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අශෝක පීරිස් කමිටුව සියලුම පක්ෂ වල දේශපාලන නියෝජිතයන් සමඟ සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී දේශපාලන පක්ෂ කියා තිබුණේ මායිම් පිලිබඳ කිසිත් නොදන්නා අතර එය අධ්‍යයනය කර පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බවය. මේ හේතුවෙන් 2016 වසරේ අප්‍රේල් මාසය වනතෙක් පැමිණිලි භාරගැනීමට  අශෝක පීරිස් කමිටුවට සිදුවිය.කෙසේ වෙතත් මේ ප්‍රමාද වීම්,අඩුපාඩු ගැන මැතිවරණ කොමිසමට වගකීමක් නොමැත. මේ අතර තුර කාන්තා නියෝජනය ගැන සඳහන් කරමින් 2016 අංක 01 දරන පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ සංශෝධන පනත ඉදිරිපත් විය. එමඟින් ප්‍රකාශයට පත්කර තිබුණේ මුළු සභික සංඛ්‍යාවෙන් හතරෙන් එකක් කාන්තා නියෝජනයක් තිබිය යුතු අතර ඒ සඳහා අමතර ලැයිස්තුවක් දිය යුතු බවයි.මෙම සභික සංඛ්‍යාවත් ආමාත්‍යවරයා විසින් ගැසට් කළ යුතුය. පාර්ලිමේන්තුවේ බලය හරහා නීති සැකසීමේ බලය අමාත්‍යවරයාට හිමි වන අතර මෙවන් කරණාවන්හිදී  මැතිවරණ කොමිසමට හෝ මැතිවරණ කොමසාරිස් වරයාට වගකීමක් නැත. සියලු කාරණා සම්පුර්ණවිමෙන් අනතුරුව පනත ප්‍රකාරව  සංශෝධිත නව පනත මගින් ප්‍රථම වරට ජන්ද විමසීමක් කරනවිට පවත්නා බාධා ඉවත්කර ගැනීම  මැතිවරණ කොමසාරිස්වරයාට ගැසට් නිවේදනයක් මඟින් එය කළ හැකි හෙයින් ඒ සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් මත ක්‍රියා කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ
නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top