1150 x 80 px

තොරතුරු පනත තොරතුරු සංස්කෘතියේ ආරම්භයයි - රදිකා ගුණරත්න
තොරතුරු පනත මාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන සකස් වූවක් නොවේ. එදිනෙදා සිද්ධි වාර්තාකරණයට මේ පතත පාවිච්චි කිරීම අපහසු ය. නමුත් ගවේෂණාත්මක වාර්තාකරණයට හොඳම මෙවලම වන්නේ මේ තොරතුරු පනත ය. ජනතාවගේ තොරතුරු අයිතිය සුරක්ෂිත කිරීමට මේ පනත ඉවහල් වන බව කිව යුතුම ය. මෙම කාලීන සටහන සඳහා එක්වන්නේ මානව හිමිකම් සහ තොරතුරු අයිතිය පිළිබඳ නීතීඥ/මාධ්‍යවේදිනී රදිකා ගුණරත්න වේ.  
තව මාස හයකින්...
 
තොරතුරු පනතේ සහතිකය සටහන් කරනු ලැබුවේ 2016 අගෝස්තු 04 වැනිදා ය. එයට මාස 06 ක් සම්පූර්ණ වුණේ මේ මස හතරවැනිදාට ය. එනම් නිදහස් දිනයේ සිට පනත ක්‍රියාත්මක ය. මෙම පනත සම්පූර්ණයෙන් සක්‍රිය කිරීමට අදාළ පසුබිම රට තුළ සකස් කිරීමට තව මාස හයක් දක්වා කල් ගන්නට පුළුවන. ඒ අනුව තොරතුරු පනත සම්පූර්ණයෙන් සක්‍රිය වී ක්‍රියාත්මක වන ආකාරය බලාගැනීමට තව මාස හයක් ගතවනු ඇත. වෙනත් ආකාරයකට කියන්නේ නම් මේ පනතේ ක්‍රියාත්මක භාවයේ නියම ස්වරූපය පිළිබඳ තක්සේරු කිරීමට හැකි වන්නේ තවත් මාස හයකිනි. 
 
පොදු යහපතට අදාළ කිසිවක් හංගන්න බෑ.
 
තොරතුරු පනතෙන් අරමුණු කරන්නේ ලංකාවේ තොරතුරු සංස්කෘතියක් ඇති කිරීමට ය. පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටන් විවිධ නීතිවල විවිධ මට්ටම්වලින් යන්තමින් සඳහන් ය. එහෙත් මේ නව පනත ඒ සෑම දෙයක්ම අභිබවා පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තනි නීතියක් වශයෙන් ඉදිරියට ගෙන තිබේ. පුරවැසියාගේ පොදු යහපතට, මහජන අර්ථ සිද්ධියට  අදාළ කිසිදු තොරතුරක් සැඟවිය නොහැකි බව තොරතුරු පනතේ අදහස ය. මේ පනත පුරාම වසා පැතිර යන ප්‍රමුඛ මූලධර්මය වන්නේ පොදු යහපත නැතිනම් මහජන අර්ථසිද්ධිය නමැති මූලධර්මයයි. 
 
මේ පනත හරහා තොරතුරු අනාවරණය කර ගත හැක්කේ රජය සහ/හෝ රජයට සම්බන්ධ ආයතනවලින් පමණක් නොවේ. පුද්ගලික සමාගමක් වුවද රජය සමග සම්බන්ධ වී පොදු යහපතට අදාළ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසියාට පුළුවන. පුරවැසියා අවශ්‍ය තොරතුරු ඉල්ලා ගන්නේ “පොදු අධිකාරිය” නමැති ආයතනයෙනි. පොදු යහපත වෙනුවෙන් එසේ ඉල්ලන තොරතුරු ලබාදීමට පොදු අධිකාරිය නීතියෙන් බැඳී සිටියි. එසේම එම තොරතුරු නොසැපයුවහොත් ඔවුන්ට නීතියෙන් නියම කළ දඬුවම් හිමි වේ. තොරතුරු කොමිෂන් සභාව නමැති ව්‍යූහය විසින් පුරවැසියාගේ තොරතුරු අයිතිය රැකදීමට අවසානයේ පොදු අධිකාරිය ප්‍රශ්න කරනු ඇත. එම කොමිෂන් සභා තීරණයෙනුත් පුරවැසියා තෘප්තියට පත්නොවේ නම් තොරතුරු කොමිසමට එරෙහිව අභියාචනාධිකරණයට යාමට පුළුවන. 
 
ලංකාවේ තොරතුරු නීතිය ආවෙ උඩ ඉඳන් යටට..
 
ලංකාවේ තොරතුරු නීතිය ස්ථාපනය වන්නේ මාධ්‍ය ප්‍රජාව සහ නීති ප්‍රජාවගේ අරගලයක් වශයෙනි. එහෙත් ඉන්දියාවේ තොරතුරු නීතිය බිහිවූයේ මීට වඩා වෙනස් පසුබිමකිනි. එනම් රාජස්ථාන් ප්‍රාන්තයේ දුප්පත් ගැහැනු උදවියගේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ය. තමන් ඡන්දය දෙන ජනතා නියෝජිතයන් ගමට නොඑන්නේ මන්ද සහ ගමට වැඩ නොකරන්නේ මන්ද යන පදනමෙන් මේ අරගලය ආරම්භ වූ අතර, පසුව එය තොරතුරු අයතිය ලෙස ජනගත විය. එරට නීති සකස් වන්නේ මේ අරගලයෙන් පසුව ය. නමුත් ලංකාවේ සිදුවූයේ මෙයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියකි. එනම් මෙය පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට ආරම්භ වූ ක්‍රියාවලියකි. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මේ මොහොතේ පවා යම්කිසි අයෙක් මහමගට ගොස් තොරතුරු පනත ගැන යම් අයෙකුගෙන් ඇසුවහොත්, ඒ පුද්ගලයා ඒ ගැන දන්නවා යැයි සිතිය නොහැක. මෙය ඇත්තෙන්ම විශාල ප්‍රශ්නයකි. මේ පනත සක්‍රිය කිරීමට ආණ්ඩුවේ දායකත්වය ගැන ද යම් විවේචනයක් තිබේ. මේ පනත ගැන ජනතාවගේ දැනුවත් භාවය සම්බන්ධව මේ මොහොතේ සතුටු විය නොහැකි ය. එමනිසා ඉහළ සිට බිම් මට්ටම දක්වා පවතින මෙම දැනුවත්භාවය පියවාගැනීමේ අභියෝගයට අද අපි මුහුණ දී සිටින්නෙමු. කෙසේ නමුත් එදිනෙදා ජීවිතයේ මහජනයාට හමුවන පොදු යහපත පිළිබඳ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටින්නට ජනතාව පුරුදු කළ විට මේ හිඩැස පියවී යනු ඇත. කෙසේ නමුත් ජනතාව දැනට නම් එසේ පොදු යහපත සඳහා බලපාන දේවල් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටින්නට පුරුදු වී නැත. එම තොරතුරු ලබාදීමට අපේ රටේ ආයතන ද පුරුදු වී නැත. මේ යටතේ විනිර්මුක්තිය, වගවීමක් නොමැති කම වැනි සංකල්ප අපේ සමාජයේ මුල්බැසගෙන ඇත. මේ නිසා අප සිටින්නේ බිංදුවෙන් පටන් ගත යුතු තැනක බව අප අමතක නොකළ යුතුය. මෙය තොරතුරු පනත ජනගත කිරීමේදී ඇතිවී තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නයකි. 
 
තමන්ගේ නඩුකොපියවත් ගන්න බැරි රටක්
 
තොරතුරු පනතට අනුව ලංකාවේ සියලුම අධිකරණ, උසාවි, සමථ මණ්ඩල පවා පොදු අධිකාරී බවට පත්වනු ඇත. මේ අනුව ඕනෑම පුරවැසියෙකුට මෙකී ආයතනවලට ගොස් තොරතුරු ඉල්ලා සිටීමට පුළුවන. දැනට ලංකාවේ පවතින්නේ නඩුවේ පාර්ශවකරුවෙකුටවත් තමන්ගේම නඩුවේ නඩු කොපියක් නීතීඥවරයෙකුගේ ලිපියක් හෝ අත්සනක් නැතිව ලබාගත හැකි තත්වයක් නොවේ. නමුත් මේ පනතත් සමග මේ සියල්ල වෙනස් වනු ඇත. 
 
මෙම නව තොරතුරු නීතියට අනුව සියලුම ‘පොදු අධිකාරි’ හෙවත් ජනතාවට තොරතුරු ලබාදීමට බැඳී සිටින ආයතනවල තොරතුරු නිලධාරියෙකු බැගින් සිටිය යුතුය. එසේ දැනට පත් කර නැතිනම් පනතේ විධිවිධාන අනුව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා තොරතුරු නිලධාරියා වශයෙන් ක්‍රියා කළ යුතුය. පුරවැසියන් පොදු යහපත වෙනුවෙන් ඉල්ලා සිටින සියලු තොරතුරු ලබාදීමට ඔහු නීතියෙන් බැඳී සිටියි. මේ පනතේ ඇති ප්‍රමුඛ මූලධර්ම අනුව බලන විට ජනතාව තොරතුරු ඉල්ලා වදවිය යුතු නැත. 
 
තොරතුරු ඉල්ලගෙන වැරදි තැනකට ගියොත් ?
 
මේ දක්වා රටේ පැවති තත්වය අනුව ගමේ පාර සාදා නැත්තේ ඇයිදැයි ප්‍රාදේශීය සභාවට ගොස් ඇසුවහොත් එහිදී බැණුම් අසා හිස් අතින් එන්නට සිදුවුණා වන්නට පුළුවන. නමුත් තමන්ට අදාළ නැති දෙයක් ඇසුවා කියා දොස් අසන්නට සිදුවුණා වන්නට පුළුවන. එහෙත් පසුගිය සිකුරාදා නිකුත් කළ රීති සහ නියෝග අනුව මේ පනතේ නීතිය තවත් ශක්තිමත් වෙයි. ඒ අනුව හදිසියේ හෝ පුරවැසියා ගොස් තිබෙන්නේ එයට වගකිව යුතු පොදු අධිකාරිය වෙත නොවේ නම් එය භාරගත් පොදු අධිකාරිය විසින් වැඩකරන දින 07 ක් ඇතුළත එය අදාළ පොදු අධිකාරිය වෙත යොමුකරනු ඇත. මේ අන්දමින් මේ පනතින් මහජන අර්ථසිද්ධිය හෙවත් පොදු යහපත යන සංකල්පය ඉතා දැඩි ලෙස ඉස්මතු කර තිබේ.    
 
පුරවැසියන්ට පමණයි. 
 
මේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටීමට නම් මුලින්ම එම තැනැත්තා පුරවැසියෙක් විය යුතුය. පුරවැසියෙකු විය හැකි ආකාර 03 කි. එනම් උපතින් කෙනෙක් පුරවැසියෙක් විය හැකිය. නැතිනම් ලියාපදිචියෙන් කෙනෙක් පුරවැසියෙක් විය හැකිය. එසේම යම් ආයතනයක සංයුතියෙන් හතරෙන් තුනක් පුරවැසියන් නම් එම ආයතනය ද පුරවැසියෙකි. එවිට එම ආයතනයට ද පුරවැසියෙක් වශයෙන් පොදු අධිකාරිය වෙත ගොස් තොරතුරු ඉල්ලා සිටින්නට පුළුවන. මෙහිදී තමන්ගේ තොරතුරු ඉල්ලීම ලිඛිතව මෙන්ම වාචිකව ද ඉදිරිපත් කරන්නට පුළුවන. ගැසට් කරන ලද අදාළ පොර්මය පුරවා දෙන්නට ද පුළුවන. කෙසේ නමුත් පිළිගත හැකි ආකෘතියකින් අදාළ තොරතුරු ඉල්ලීම භාරගැනීම තොරතුරු නිලධරයාගේ වගකීමකි. මෙම තොරතුරු අයදුම්පතේ පිටපතක් තොරතුරු ඉල්ලා සිටින්නා විසින් ළඟ තබාගත යුතුය. එසේම ඉල්ලීම භාරගත් බවට රිසිට්පතක් ලබාදීම ද අනිවාර්යයෙන්ම තොරතුරු නිලධරයා විසින් කළ යුතුය. මෙසේ පටන් ගෙන මෙතැන් පටන් පනත යටතේ සියල්ලම සිදුවනු ඇත්තේ නීතියෙන් නියම කරන ලද කාර්යපටිපාටියට අනුව ලිඛිතව පමණි. 
 
තොරතුර දෙන්න බෑ කිව්වොත් ?
 
මෙහිදී ඉල්ලා සිටින තොරතුර ලබාදිය හැකිද නැත්ද යන්න ගැන මුල් දින 14 ඇතුළත ලිඛිතව දැනුම් දෙනු ඇත. එය ලබාදිය හැකි තොරතුරක් නම් ඊළඟ දින 14 ඇතුළත එය ලබාදිය යුතුය. යම් තැනැත්තෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් වන විට මේ සීමාව පැය 48 ක් පමණි. කෙසේ නමුත් නව නීතිය අනුව, පුරවැසියා පොදු යහපත වෙනුවෙන් තොරතුරු ඉල්ලා සිටින විට තිබෙන කිසිදු තොරතුරක් නොදී සිටීමේ හැකියාවක් නැත. තවද තිබෙන තොරතුරු විකෘති කිරීම, අඩුවෙන් ලබාදීම හෝ වෙනස් කර ලබාදීම ද සපුරා තහනම් ය. තවද එදිනම දිය හැකි තොරතුරක් නම් අසාධාරණ ලෙස දින ගැනීම ද වරදකි. තොරතුරු ලබාදිය නොහැකි නම් මුල් දින 14 ඇතුළත ඒ බව දැනුම් දිය යුත්තේ ලිඛිතව, එම හේතු ද සමග ය. එසේම එහිදී ඒ අනුව මීළඟට අභියාචනය කළ යුත්තේ කාටද යන්න ද ලිඛිතව දැනුම් දිය යුතුය. ඉන්පසු පුරවැසියා යා යුත්තේ අභියානය වෙතට ය. 
 
මුල්ම අභියාචනය නම්කළ නිලධරයාට. 
 
මේ පනත අනුව සෑම පොදු අධිකාරියකම නිලධාරීන් වර්ග දෙකක් සිටිති. එනම් තොරතුරු නිලධරයා සහ නම් කරන ලද නිලධරයා වශයෙනි. තොරතුරු නිලධරයාගෙන් අභියාචනය ප්‍රතික්ෂේප වූ විට මුලින්ම යා යුත්තේ නම් කරන ලද නිලධරයා වෙතට ය. අභියාචනය ඉදිරිපත් කළ යුත්තේ ඔහුට  ය. මෙවිට තොරතුරු නිලධරයා විසින් එකී තොරතුර ලබානොදුන්නේ මන්ද යන්න විභාග කර බලනු ඇත. නම් කළ නිලධරයාටත් එම තොරතුරු ලබාදිය නොහැකි නම් ඒ ඇයිදැයි ලිඛිතව දැක්විය යුතුය. මෙයින් පසු පුරවැසියාට සෘජුවම කොමිෂන් සභාව වෙත යාමට පුළුවන. 
 
කොමිෂන් සභාවේ කාර්යභාරය
 
කොමිෂන් සභාව විසින් මෙවිට අදාළ පොදු අධිකාරියේ නිලධාරීන් තොරතුරු කොමිසම වෙත කැඳවනු ඇත. කවර හේතු දැක්වුවද මේ නිලධාරීන් නැතිව වුවත් අදාළ විභාගය සිදුකෙරෙන බව රෙගුලාසිවල පැහැදිලිව දක්වා තිබේ. අදාළ තොරතුරු ලබානොදීමට පුරවැසියාට කලින්ම දන්වා තිබෙන ලිඛිත හේතු, මෙහිදී කොමිෂන් සභාව ඉදිරියේ පොදු අධිකාරියේ නිලධාරීන් විසින් සාධාරණීකරණය කළ යුතුය. අවසාන  තීරණය ගන්නේ කොමිෂන් සභාවයි. 
 
කරුණු 21 ක් යටතේ තොරතුරු ඉල්ලන්න බැරි කතාව අමු බොරුවක්
 
පනත යටතේ කරුණු 21 ක් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිය නොහැකි බවට විශාල මිත්‍යාවක් මේ වන විට රට පුරා පැතිරෙමින් යයි. මේ ලැයිස්තුවට රාජ්‍ය ආරක්ෂාව, පාර්ලිමේන්තු වරප්‍රසාද, තුන්වැනි පාර්ශවයක් සමග ඇතිකරගත් ගිවිසුම්, භාර කොන්දේසි යනාදිය තිබේ. මේ ලැයිස්තුවේ තිබෙන්නේ මේ දක්වා පැවති පසුබිම යටතේ සැඟවීමට හුරු වී සිටි තොරතුරු ය. එනම් තොරතුරු පනත සම්මත වීමට පෙර නොයෙක් හේතු දක්වා මේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණි. නමුත් මින් ඉදිරියට ආයතන සංග්‍රහය, නිල රහස් පනත යනාදිය බලාත්මක නැති බවත්, ඒවා ඒ ආකාරයෙන්ම පැවතියත්, මේ සම්බන්ධව ගැටලුවක් ඇතිවුවහොත් බලාත්මක වන්නේ පනත බවත් පැහැදිලිවම දක්වා තිබේ. මෙහිදී සිදුවන්නේ මෙයයි. මේ කරුණු යටතේ යම් අවස්ථාවක තොරතුරු ඉල්ලා සිටි විට එම තොරතුරු ලබාදිය නොහැකි බව පොදු අධිකාරියට කියා සිටින්නට පුළුවන. නමුත් ඔවුන් එය කියා සිටිනවා පමණක් නොව නව නීතිය යටතේ පුරවැසියාට ලිඛිත හේතු දැක්වීමක් ලෙස ලියා දිය යුතුය. මෙවිට පුරවැසියා කොමිෂන් සභාව වෙත අභියාචනය කරන්නේ එම ලිඛිත කරුණු කියාපෑම ද අතදරාගෙන ය. කොමිෂන් සභාව ඉදිරියේ පැවැත්වෙන විභාගයේදී පොදු අධිකාරිය, ඔප්පු කර සිටිය යුත්තේ එම ලිඛිත කරුණු ය. මෙය බරපතළ භාරයකි. මෙහිදී පුරවැසියා වෙනුවෙන් කොමිෂන් සභාව විසින් පොදු අධිකාරිය ප්‍රශ්න කිරීමට ලක් කරයි. . මෙහිදී මේ තහනම් යැයි කියන කරුණු 21 න් එකක් ගැන තොරතුරු හෙළි කිරිමෙන් සිදුවන පොදු යහපතද වඩා විශාල, නැතිනම් පොදු අධිකාරිය විසින් තොරතුර නොදී සිටීමට කියන හේතුව ද වඩා බරින් වැඩි යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ පොදු අධිකාරියයි. එම කරුණු සඟවාගෙන සිටිනවාට වඩා ඒවා හෙළිකිරීමෙන් සිදුවන මහජන යහපත විශාල නම්, එම කරුණු හෙළිදරව් කරන ලෙසට අදාළ පොදු අධිකාරියට නියෝග කිරීමේ බලය කොමිෂන් සභාවට තිබේ. මෙම නියෝග කඩකිරීම සිරදඬුවම් පවා ලැබීමට හේතුවකි. ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිෂන් සභාව, තොරතුරු පනත යටතේ පිහිටවූ වැදගත්ම ව්‍යූහය බවට පත්වන්නේ මේ හේතු ද නිසා ය. 
 
බදාදා ලංකාදීප පුවත්පත ඇසුරෙන්    

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top