1150 x 80 px

ලෝකෙන්ම කොඩිය දැම්මත් තොරතුරු කොමිසමට වැඩකරන්න මුදල් නෑ!

ලංකාවේ තොරතුරු නීතිය ලෝකයේ තුන්වැනි තැනට ස්ථානගත වීම සහ තොරතුරු කොමිෂන් සභාවට අයවැය ලබානොදීම පිළිබඳ, තොරතුරු පනත සමාජගත කිරීමේ සුවිශේෂී මෙහෙවරට උර දී සිටින නීතීඥ/මාධ්‍යවේදී රදිකා ගුණරත්න සමග ලංකා නිව්ස් වෙබ් පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව.

 

ලංකාවෙ තොරතුරු පනත ලෝකයෙන්ම 3 වැනි තැනට ඇවිත් නේද?

ඔව්. ලෝකයේ තොරතුරු නීතිවල ප්‍රබලකම අනුව ඒවා විශිෂ්ටත්වය අතින් ශ්‍රේණිගත කරන්නෙ කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මධ්‍යස්ථානය විසින්. නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ තොරතුරු නීති සම්මත කරගෙන තිබෙන රටවල් 111 අතරින් දැන් අපි තුන්වැනි තැන ඉන්නවා. රටක් විදිහට ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්.

කොහොමද 9 වැනි තැන ඉඳන් 3 වැනි තැනට පැන්නෙ?

පැන්නා කියන වචනෙ මෙතෙන්ට හරියටම හරි. හැබැයි මේ පැනීම සිද්ධ වුණේ අහම්බෙන් එහෙම නෙවෙයි. මේක මැරතන් එකක්. ඔබට මතක ඇති පහුගිය පෙබරවාරි 03 වැනිදා අංක 2004/66 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සහ තොරතුරු කොමිසම විසින් සාදන ලැබූ රීති ගැසට් කළා. මේ ගැසට් පත්‍රයෙන් පසුව තමයි අපි තුන්වැනි තැනට ආවෙ.

මැරතන් එකක් කියල කිව්වෙ ඇයි?

මේක ඇත්තටම මැරතන් එකක් තමයි. දැන් බලන්න, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයන් පස්දෙනා පත් කරගන්න සෑහෙන කාලයක් ගියා. පූර්ණ සාමාජිකත්වය සම්පූර්ණ වුණේ, ඒ කියන්නෙ කොමසාරිස්වරුන් පස්දෙනාම සම්පූර්ණ වෙලා මේක තනි ව්‍යූහයක් විදිහට වැඩපටන් ගත්තෙ දෙසැම්බර් මාසෙ අන්තිම සතියෙ. ඒත් සති කිහිපයක් ඇතුළත ඔවුන් ඉතාම අනර්ඝ රීති මාලාවක් සම්පාදනය කරනවා. ඒ රීති මාලාව මගින් පනතේ පවා නොතිබුණු පරිමාණයකට මහජන අර්ථ සිද්ධිය සහ විශේෂයෙන්ම ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරීමේ මූලධර්මය තොරතුරු නීතිය තුළට අන්තර්ග්‍රහණය කරනවා. අපිට හිතාගන්න පුලුවන් කොමිෂන් සභාවේ මේ සඳහා නීතිමය දැනුම තිබෙන පාර්ශවය මේ සඳහා කොයිතරම් බුද්ධියක් සහ ශ්‍රමයක් කැප කරන්න ඇතිද කියලා. කැනඩාවෙ ටෝබි මෙන්ඬේල් මුල ඉඳන්ම කිව්වා ලංකාව සම්මත කර ගත්තෙ නිකම්ම නිකම් තොරතුරු නීතියක් නෙවෙයි, හොඳ නීතියක් කියලා. දැන් මේ නියෝග සහ රීතිවලින් ඒකෙ ගුණාත්මක බව පෙර නොවූ විරූ ලෙස තවත් වැඩි වෙලා. ලෝකයේ හැම තොරතුරු කොමිසමක්ම තමන්ට පැවරෙන බලතල අනුව තමන්ගෙ ක්‍රියාත්මකභාවයට අදාළ රීති රෙගුලාසි හදාගන්නවා. එතකොට ඒ රටවල තොරතුරු නීතිය තවත් ශක්තිමත් වෙලා, අර කිව්ව ශ්‍රේණිගත කිරීම තුළ ලකුනු කිහිපයක් ඉහළ දමාගන්නවා. ඒත් ලංකාවෙ සිද්ධ වුණේ ලකුණු කිහිපයක් වැඩි කර ගැනීම නෙවෙයි, ලකුණු 10 ක් ම වැඩිකර ගැනීම. මේක හරිම දුර්ලභ සහ අති විශේෂ අවස්ථාවක්. තොරතුරු නීති ශ්‍රේණිගත කරන කැනඩාවෙ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මධ්‍යස්ථානයෙ ප්‍රධානී ටෝබි මෙන්ඩෙල් මේ ගැනත් කතා කළා. ඔහු කියනවා ලකුණු 121 ක් අරන් 9 වැනි තැන හිටිය ලංකාව, මේ නියෝග සහ රීතිවලින් පස්සෙ ලකුණු 10ක්ම අරන් ඒ කියන්නෙ ලකුණු 131 ක් අරන් ලෝකෙන්ම තුන්වැනි තැනට පත්වීම හරිම විශේෂ දෙයක් කියලා.

දැන් අපි ඉන්දියාවටත් ඉස්සරහින් නේද?

ඔව්. කලින් ඉන්දියාව 4 වැනි තැන. අපි 9 වැනි තැන. දැන් තත්වය, ඉන්දියාව තවම 4වැනි තැන. අපි 3 වැනි තැන. ඒ කියන්නෙ දකුණු ආසියාවෙ අංක එකේ අපි ඉන්නවා. දැන් මුලු ලෝකයම බලන් ඉන්නෙ මේ තරම් හොඳ නීතිමය රාමුවක් තියෙන ලංකාවෙ, තොරතුරු නීතිය ක්‍රියාත්මක භාවයට පත්වෙන්නෙ කොහොමද කියලයි.

තොරතුරු පනත ක්‍රියාත්මක වෙලා දැනට සතියක්. තත්වය කොහොමද?

කණගාටුදායකයි. නමුත් මේ වෙලාවෙ අනවශ්‍ය විදිහට ආණ්ඩුව විවේචනය කරන්නත් අපි ඉක්මන් වෙන්නෙ නෑ.

ඒ කියන්නේ?

මෙහෙමයි. පනතේ 2 වැනි වගන්තියට අනුව පනතේ විධිවිධාන සක්‍රිය ලෙස බලාත්මක කිරීම සහතික කරන්න ඕනෙ අදාළ විෂයභාර ඇමතිවරයා. ඒ කියන්නෙ ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ අමාත්‍යාංශය. පනත කථානායකවරයාගෙ අත්සන යොදලා පෙබරවාරි 04 වැනිදාට මාස 06 ක් සම්පූර්ණ වුණා. එතකොට මේ පනතේ 1(2) උපවගන්තියේම කියනවා, එදා ඉඳන්ම පනතෙ සමහර වගන්ති ක්‍රියාත්මකයි කියලා. ඒ වගන්තිවලට කොමිෂන් සභාව පිහිටුවීම, තොරතුරු නිලධාරීන් පත්කිරීම යනාදිය ඇතුළත්. දැන් පනත ක්‍රියාත්මක වෙලා සතියක් ගිහින්. ඇත්තම කතාව තමයි, අමාත්‍යාංශ දුසිමක විතර තවම තොරතුරු නිලධාරීන් පත් කරල නෑ. ආණ්ඩුවේ නිල මාධ්‍ය විදිහට සැලකෙන මිනිස්සු ගිහින් රස්තියාදු වෙලා එනවා. රිසිට් එකක් දෙන්න කෙනෙක් නෑ. වාචික ඉල්ලීම් ලිඛිතව ලියාගන්න, ගැසට් කෙරුව ෆෝම් එක පුරවන්න කෙනෙක් නෑ. මේ සතිඅන්ත පුවත්පත්වල අපි දැක්කා, පැහැදිලිවම පොදු අධිකාරියක් බවට පත්වෙන ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීම් භාරදෙන්න ගිය ක්‍රියාකාරීන් කණ්ඩායමක් පොලිසිය විසින් වෙනත් ගොඩනැගිල්ලකට කැඳවාගෙන ගිහින් අවිධිමත් ලෙස ඔවුන්ගේ තොරතුරු ඉල්ලීම් භාරගත්තා කියලා. ඉතින් පනතෙන් කියන්නෙ මේක නෙවෙයි. පනතෙන් අපේක්ෂා කරන තොරතුරු සංස්කෘතිය මේක නෙවෙයි.

සමහරවිට ආණ්ඩුවට මේ මාස හය මේ සියලු යාන්ත්‍රණය සකස් කරන්න ප්‍රමාණවත් නැතිවුණා වෙන්න පුලුවන්. එහෙම නම් පනතේම විධිවිධාන අනුව ඔවුන්ට තව මාස හයක් තියෙනවා. ඒ මාස හයෙන් පස්සෙ ඔවුන්ටත් කියන්න දෙයක් නෑ. අපිටත් ඔවුන්ගෙන් අහන්න දෙයක් නෑ. අපි දැක්කා, පහුගිය දවස්වල තොරතුරු නිලධාරීන් දහස් ගණනක් ආණ්ඩුව විසින් පුහුණු කරල තියෙනව කියලා. අපි අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් ට්විටර් හරහා ඉල්ලීමක් කළා, එහෙම නම් මේ කියන තොරතුරු නිලධාරීන් ස්ථානගත වෙලා ඉන්නෙ කොහෙද කියල වහාම විස්තර ප්‍රකාශයට පත් කරන්න කියලා. මොකද පුරවැසියො රස්තියාදු වෙනවා. අපිට මිනිස්සු ආපස්සට කතා කරල කියනවා, ගිහින් බැලුවා ඒ අය මේක ගැන දන්නෙවත් නෑ- ලියුමක් එවන්න කිව්වා- අපි හැරිලා ආවා කියලා. කොහොම වුණත් අපේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදිහට අපිට දැනගන්නට ලැබුණා මේ 17 වැනිදා ඒ පිළිබඳ විස්තර ආණ්ඩුව ලබාදෙන්න ලැහැස්තියි කියලා.

ඇත්තටම ලිපියක් මගින් තොරතුරු ඉල්ලන්න බැරිද?

පැහැදිලිවම පුලුවන්. ඊමේල් පණිවුඩයක් මගින් වුණත් පුලුවන්. වාචික ඉල්ලීමක් කළත් ප්‍රමාණවත්. මේ බව සඳහන් වෙන්නෙ පෙබරවාරි03 වැනිදා ගැසට් පත්‍රයෙ නියෝගවල. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ, අමතක කරන්න එපා අපි ජීවත්වෙන්නෙ තමන්ගෙ නඩුකොපියවත් ගන්න බැරි රටක බව. මහජන ආයතනයකින් ලියාපදිංචි තැපෑලෙන් තොරතුරු ඉල්ලුවම ඒ යැව්ව ලියුමට මොකද වුණේ කියල, පයින් ගිහින් බලන්න සිද්ධවෙලා තියෙන රටක බව. ඉතින් මේ වගේ රටක ඊමේල් එකක් දාල තොරතුරු ලැබෙයි කියල බලන් ඉන්න තරම් තත්වයක් දැනට අපිට නෑ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ මුල් අවධියෙදි පුලුවන් තරම් භෞතික වශයෙන්ම පොදු අධිකාරියට ගිහින් තොරතුරු ඉල්ලීම ලියලම දෙන්න කියලයි.

ඒ කියන්නෙ අකුරු ලියන්න බැරි කෙනෙකුට තොරතුරු ඉල්ලන්න බැරි වෙනවනෙ?

නැහැනෙ. ඒ වගේ කෙනෙකුට වුණත් තොරතුරු ඉල්ලන්න පුලුවන් විදිහට පනතෙ මහජන අර්ථ සිද්ධිමය සිද්ධාන්තය ප්‍රබලයි. ඒ වගේ අය කරන්න ඕනෙ තොරතුරු නිලධාරියා මුණගැහිලා තමන්ට ගන්න උවමනා තොරතුර මොකක්ද කියලා වාචිකව කියන එක. එතකොට පනතේ ප්‍රකාශිතවම සඳහන් වෙනවා, තොරතුරු නිලධාරියා එකී පුරවැසියා වෙනුවෙන් තොරතුරු ඉල්ලීම ලියාගත යුතුයි කියලා. මේ පනතේ හැම දෙයක්ම ලිඛිතයි. තොරතුරු ඉල්ලීමේ ඉඳන් කොමිෂන් සභාවට කරන ඇපෑල දක්වා හැමදෙයක්ම. කලින් වගේ මිනිස්සුන්ව වචනවලින් සනසලා -රවටලා- හරවලා එවන්න දැන් බෑ.

තොරතුරු ගන්න ඕනෙ කොහෙන්ද?

පැහැදිලිවම පොදු අධිකාරියෙන්. ඒ කියන්නෙ තමන්ගෙ පොදු කටයුත්ත සිද්ධ කෙරුව ආයතනය. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. අපි අදාළ පොදු අධිකාරියට යන්න කියල පුරවැසින්ට කිව්වාම ඒ මිනිස්සු අනෙක් පැත්තට අපෙන් අහනවා ඒක කොහෙද තියෙන්නෙ කියලා. ඇත්තටම මේ නීතිය එද්දිම ආණ්ඩුව ඇතුලු කොටස්කරුවන් වෙනම කැම්පේන් එකක් කළ යුතුව තිබුණා, මේ පොදු අධිකාරිය කියන යෙදුම සමාජගත කරන්න. ගම් නියම්ගම් ගානෙ ගිහින් මේ දේ මුලින් කියා දිය යුතුව තිබුණා. දැන් මිනිස්සු ව්‍යාකූල වෙලා. මේක කොයි ලෝකෙ තියෙන එකක්ද කියල හිතනවා. මේ යෙදුම පවා ගම්වැසියාට බර වැඩියි. ඒත් ඉතින් ඒක පනතෙ ප්‍රශ්නයක් නෙවෙයි.

තොරතුරු ඉල්ලද්දි සල්ලි ගන්නවද?

කිසිම තොරතුරු ඉල්ලීමකට මුදල් අයකරන්න බෑ. ඒක නීතිවිරෝධීයි. නමුත් තොරතුරු ලබාදීමේදී සුලු ගාස්තුවක් අය කෙරෙනවා. ඊමේල්වලින්ම තොරතුරු ලබාදෙනව නම් එතැනදි ගාස්තු අය කන්නෙ නෑ. නමුත් භෞතික වශයෙන් ලබාගන්නවා නම් මුල් පිටු හතරක් නොමිලේ දෙනවා. රීතිවල සඳහන්වෙන ගාස්තු උපලේඛනය අදාළ වෙන්නෙ එතැන් සිටයි. කොහොම වුණත් යම්කිසි පොදු අධිකාරියක කලින් නියම කෙරුව ගාස්තු උපලේඛනයක් තියෙනව නම් ඒක තමයි අදාළ වෙන්නෙ.

කොමිෂන් සභාවට අය වැය වෙන් කිරීම ගැන බරපතළ අර්බුදයක් තියෙනවා. මොකක්ද මේ කතාව?

මුලින්ම අපි මෙතැනදි ලංකාවෙ තොරතුරු කොමිෂන් සභාවේ තියෙන විශේෂත්වය තේරුම් ගනිමු. පැහැදිලිවම කියන්න ඕනෙ මේක තවත් එක කොමිෂන් සභාවක් එහෙම නෙවෙයි. මේක තමයි ඉතා පුලුල් අභියාචන බලතල සහිත ව පිහිටවූ, තොරතුරු නීතියේ සුවිශේෂී ව්‍යූහය.

ඔබ එහෙම කියන්නෙ ඇයි?

ලංකාව ස්වාධීන කොමිෂන් සභාවලට ඉස්සර ඉඳන් හරි ප්‍රසිද්ධයිනෙ. සිය ගාණක් තියෙන්න ඇති මීට කලින්. නමුත් ඒවයින් අති බහුතරය ඇඞ්හොක් ක්‍රමයට ඒ කියන්නෙ යම්කිසි සුවිශේෂී කාර්යයක් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහාම පිහිටවූ ඒවා. ඒ වැඬේ කළාම, ඒ කියන්නෙ වාර්තාව හැදුවාම කොමිෂන් සභාවත් අහෝසියි. කොමසාරිස්වරුනුත් අහෝසියි. අන්තිමට වාර්තාවක් විතරක් ඉතිරි වෙනවා. ඒ වාර්තාව ගැනත් කාලයක් යද්දි හැමෝටම අමතක වෙනවා. සමහර වාර්තාවලින් වැඩක් වුණාද කියලත් හොයාගන්න බැරි වෙනවා. එහෙම නොවී පාර්ලිමේන්තු පනත් මගින් පිහිටවපු කොමිෂන් සභා ගත්තොත් උදාහරණයක් විදිහට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වගේ එකක් ගත්තොත් ඒකෙදි වුණේ පුරවැසියන්ට සෘජුවම මේ කොමිෂන්සභාව වෙත පැමිණිලි කරන්න නීතිමය ව්‍යූහය සකස් වීම හරහා මහා අවුලක් සිද්ධ වුණා. හැමෝම ෆයිල් අරන් කමිෂන් එකට යන්න පටන් ගත්තා. මේ තත්වය ඔබ දන්නවා. නමුත් ලංකාවේ තොරතුරු කොමිසම ගත්තොත් ඒකෙ නීතිමය සැකැස්ම හරිම විධිමත්. පුරවැසියන්ට සෘජුවම, ඒ කියන්නෙ මුල් අවස්ථාවෙදිම කොමිෂන් සභාවට ආයාචනය කරන්න බෑ කොයිම වෙලාවකදිවත්. මුලින්ම ඔවුන් තොරතුරු නිලධාරියා ළඟට යන්න ඕනෙ. ඊට පස්සෙ නම් කළ නිලධාරියා ළඟට යන්න ඕනෙ. ඒ නම් කළ නිලධාරියාගෙනුත් සාධාරණයක් ඉටුනොවුණොත්, ඒ කියන්නෙ අගතියක් වුණොත් තමයි කොමිෂන් සභාවට යන්නෙ.

ඒ වගේම මේ කොමිෂන් සභාව පුරවැසියා වෙනුවෙන් අර කිව්ව පොදු අධිකාරිය ප්‍රශ්න කරනවා. ඉතාම විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. හැම පාර්ශවයක්ම ගෙන්නනවා. එතැනදි ගැසට් පත්‍රයේ රීතිවල පැහැදිලිවම කියනවා, ඒ පරීක්ෂණය පවත්වන වෙලාවට පොදු අධිකාරියෙ නියෝජිතයන් පැමිණිය යුතුයි. නැතිනම් නියෝජිතයෙක් හෝ එවිය යුතුයි. ඒත් බැරිනම් වීඩියෝ කොන්ෆරන්සින් පහසුකම තියෙනවා නම් ඒ ඔස්සේ සම්බන්ධ විය යුතුයි. එහෙමත් බැරිනම් කරන්න දෙයක් නෑ ඉතින් අපි ඔබේ නඩුව අහනවා කියලා. මේකෙ අදහස සහ අරමුණ තමයි, පොදු අධිකාරිය හෝ තෙවැනි පාර්ශවය තමන් කැමති දවසක-කවදාහෝ කොමිෂන් එක ඉදිරියට එනකල් ඔවුන් බලන් ඉන්න ලෑස්ති නෑ. මොකද පුරවැසියාගේ තොරතුරු අයිතිය ට එතකොට මොකද වෙන්නෙ? ස්වභාවික යුක්ති මූලධර්මවල පැහැදිලිවම සඳහන් කරනවා, ප්‍රමාද වී ඉටුවන යුක්තිය, යුක්තියක් නොවේ කියලා. ඒවගේම යුක්තිය ඉටුවනවා පමණක් නොව එසේ ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය කියලා. මේ මූලධර්මයන් සියල්ලම ප්‍රගාමී ලෙස හෙළිදරව්කිරීමේ මූලධර්මයත් සමග කොමිෂන් සභාව විසින් සෑදූ රීතිවලට හොඳින් ග්‍රහණය කරගෙන තිබෙනවා. අවසාන විග්‍රහයෙදි කොමිෂන් සභාව තමයි පුරවැසියා වෙනුවෙන් පොදු අධිකාරිය ප්‍රශ්න කරන්නෙ. පොදු අධිකාරියට තමයි එතැනදි ඔප්පු කිරීමේ භාරය පැවරෙන්නෙ. ඒ කියන්නෙ ඔවුන්ට ඔප්පු කරන්නට සිද්ධ වෙනවා, තමන් දෙන්න ප්‍රතික්ෂේප කෙරුව තොරතුර පුරවැසියාට දුන්නා නම්, ඒකෙන් සිද්ධ වෙන්න තිබුණු හානිය, පුරවැසියාගේ තොරතුරු ඉල්ලීමෙන් අපේක්ෂා කෙරුව මහජන සුබසිද්ධියට වඩා බලවත් කියලා. යම් හෙයකින් පොදු අධිකාරිය වරදක් කරල බව ඔප්පු වුනොත් නීතිපති දෙපාර්තමේන්තුව, ඒකියන්නෙ පොලිසිය හරහා පැමිණිලි කරන්න යන්නෙ නෑ කෙලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා අරකිව්ව නිලධාරීන්ට විරුද්ධව. තීන්දුව දෙන්නෙ ලඝු නඩු විභාගයකින්. එතැනදිත් කාලය ඉතිරි වෙනවා. චෝදනා ඔප්පුවුණොත් රුපියල් පණස් දහසක් සහ/හෝ අවුරුදු දෙකක සිර දඬුවම්. ඉතින් මේ නීතිය හරි ප්‍රබලයි. මේක සැහැල්ලුවට ගන්න එපා. නිකම් ආවාටගියාට රාජ්‍ය ආරක්ෂාව වගේ ව්‍යාතිරේක දාලා ජනතාවගෙන් තොරතුරු හංගන්න ඉස්සරහට ගොඩක් අමාරු වෙනවා. ඒ වගේම නිශ්චිත කාලරාමුවක් ඇතුළෙ කොමිෂන් සභාව හැමතිස්සෙම වැඩකරනවා. උසාවි වල නඩුකල් යනව වගේ මේ කොමිසමේ වැඩ කල්යන්නෙ නෑ.

ඉතින් මේ තරම් දැවැන්ත කාර්යභාරයක් කරන්න විශාල මානව සම්පතක් අවශ්‍ය වෙනව නේද?

අනිවාර්යයෙන්ම. කොමිෂන් සභාවට දැවැන්ත සහ පුහුණු මානව සම්පතක් අවශ්‍යයි. ඒ සඳහා අයවැය අවශ්‍යයි. නමුත් ඔබ දන්නවද, 2017 අයවැයෙන් තොරතුරු කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා එක සතයක්වත් වෙන් කරල නෑ. මේ ගැන විමසීම් කළාම කියන්නෙ, අයවැය හදද්දි කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් පත් කරල තිබුණෙ නෑ ඒ නිසා මෙහෙම වුණා කියලා. මේක යකාගෙ කතාවක්නෙ! සියලු සාමාජිකයන් පත් නොකිරීම කොමිෂන් සභාවෙ වැරැද්දක් නෙවෙයි. තොරතුරු අයිතිය ඉල්ලන පුරවැසියන්ගෙ වැරැද්දකුත් නෙවෙයි. තව මාසයක් දෙකක් යද්දි කොමිෂන් එකට අභියාචනා වැසිවසිද්දී ඒකට හරි විදිහට ක්‍රියාත්මක වෙන්න බැරි වුණොත් තත්වය මොකක්ද?

එතකොට කොමිෂන් සභාව දැනට ක්‍රියාත්මක වෙන්න අරමුදල් ලබාගන්නෙ කොහෙන්ද?

පනතෙන්ම නියම කරන විදිහට තොරතුරු කොමිෂන් සභාවට තමන්ගේම අරමුදලක් තියෙන්න ඕනෙ. පාර්ලිමේන්තුවෙන් වෙන්කරන සියලු මුදල් ලබාදිය යුත්තේ ඒ අරමුදලටයි. මේ තත්වය ස්වාධීන බවට අත්‍යාවශ්‍යයි. දැනට කොමිෂන් සභාවෙ වැඩවලට මිලියන 3 ක් වගේ මුදල් ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ටිකෙන් ටික ලැබෙන බව තමයි දැනගන්නට ලැබෙන්නෙ. මේක මෙහෙම සිද්ධ වෙන්නෙ තොරතුරු පනත ක්‍රියාවට නැංවීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් කරල තියෙන තත්වයක් මතයි. තොරතුරු පනතේ ක්‍රියාත්මකභාවය ඇතුළෙ තොරතුරු කොමිසමට ලබාදිය යුතු සුවිශේෂී තත්වය එහෙම අවතක්සේරු වුණේ කොහොමද? අපි කියන්නෙ, අනිවාර්යෙයන්ම සහ වහාම, අතුරු අයවැයක් හෝ සම්මත කරගෙන කොමිෂන් සභාවට අවශ්‍ය ප්‍රතිපාදන කල් නොයවා ලබාදිය යුතුයි. එහෙම නැතිනම් මේක මහා ඓතිහාසික ඛේදවාචකයක් බවට පත්වේවි.


අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ?

විශේෂයෙන්ම කොමිෂන් සභාව ගත්තොත්, කෙටියෙන් කියනවා නම් අවශ්‍ය අයවැය සහ ස්වාධීනත්වය ලබාදෙනවා නම් මේ කොමිෂන් සභාවට රටක් හදන්නට පුලුවන්. හරියට හොංකොං නගරයේ දූෂනයට එරෙහි ස්වාධීන කොමිෂන් සභාව එදා කළා වගේ මේකෙන් රට හදන්න පුලුවන්. පොදුවේ කියනවා නම් මේ නීතිය ගැන මිනිස්සු අතර ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් සමස්තය ගත්තොත්, මේ පනත සමාජගත කරන්නට වගකිවයුතු පාර්ශවයන් ''තවම ඇහැරුණු බවක් නම් නැහැ!."

 

සංවාද සටහන: අසිත කුරුප්පුආරච්චි

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top