Untitled 1

බ්‍රිතාන්‍යන් ලංකාවට එන විට අපේ රටේ සමකාමීන්ට එරෙහි නීති තිබුනෙ නෑ

නව ව්‍යවස්ථාව හරහා සමලිංගිකත්වය නීති ගත කළ යුතු බවට විදෙස් කටයුතු අමාත්‍යංශය කරනු ලැබූ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් බොහෝ දෙනා මේ පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි හා වෙනත් මාධ්‍යය හරහා වැඩි වශයෙන් අදහස් දක්වන්නට විය. මේ තත්වය පිළිබඳව තරමක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හා ලේඛකයෙකු මෙන්ම නීතීඥවරයෙකු ද වන විසාකේස චන්ද්‍රසේකරම් මහතා ‘ලංකා නිවුස් වෙබ්' අඩවිය සමඟ සම්බන්ධ වූ අතර පහත පළ වන්නේ ඒ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවයි.

සමලිංගිකත්වයට කෙනෙක් නැඹුරු වෙන්න හේතු වෙන්නෙ මොන වගේ කාරණාද?

ලංකාවේ සමකාමී හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව (LGBT) භාවිතා කරන්‌නෙ සමකාමී, සම රිසි හෝ සම සරාගී කියන යෙදුම්. මේ යෙදුම් වලින් හුදු ලිංගික සබඳතා වලින් ඔබ්බට යන මානව සබඳතාවයන් සහ උප සංස්කෘතියක් ගැන කියා පානවා. ඉතින් ඔබත් මේ යෙදුම් භාවිතා කරන්න පළමුව. ඉතා කෙටියෙන් කියනවනම් සමකාමීත්වය ජානමය හා ශාරීරික හෝමෝන වලට සම්බන්ධ ඉතා ස්වාභාවික මානුෂීය නැඹුරුවක්. මේප්‍රශ්ණය වැඩිදුර අධ්‍යාපනයක් ලබා ඇති මනෝ වෛද්‍යවරයෙකු ගෙන් අසන එක තමා වැදගත් වන්නෙ. මම සයපෙති කුසුම චිත්‍රපටයනිර්මාණය කළ නිසා ම මගෙන් හැමෝම මේ ප්‍රශ්ණය අහනවා.

මෑතකදී ලංකාවේ ඇතිවුන කතා බහ නිසා මේ පිළිබඳ ලිපි කිහිපයක් ම පළ වුනා. වඩාත්ම නිවැරදි මතයක් ගෙන ආවේ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ ලිපියෙන්.
(පහත ලින්කුවෙන් වෛද්‍යය රුවන් එම් ජයතුංගගේ ලිපිය කියවිය හැක.)

https://www.colombotelegraph.com/index.php/ruwan-jayatunge-january-27-2017/


මානවයාගේ ඉතිහාසය අනුව බලද්දි සමලිංගිකත්වය පිළිබඳව මුලින්ම වාර්තා වෙන්නෙ කොහොමද?

සමකාමීත්වයට, යුදෙව් ක්‍රිස්තියානි ආගම් වල ආගමනයට පෙර හැම ශිෂ්ඨාචාරයකම වගේ ඉඩක් තිබුන බවට සාධක තියෙනවා. ඉන්දියාවේ කජරාවෝ දෙවොලේ සමකාමී කාන්තාවන්ගේ සම්බන්ධතා ඉතා විස්තරාත්මකව ප්‍රථිමා මගින් ඉදිරිපත් කරළ තියෙනව. ග්‍රීසියේ හා රෝමයේ නම් හැම කෞතුකාගාරයකම, ඉතිහාස පොතකම මේ ගැන සඳහනක් තියෙනව. උතුරු අමෙරිකානු ආදිවාසීන් සමකාමීන් දෙස බලා ඇත්තේ ආත්ම ද්විත්වයක් ඇති පුද්ගලයන් ලෙස. ඕස්ට්‍රේලියානු ආදිවාසීන් සමකාමීත්වය දෙස බලන්නේ සාමන්‍ය දෙයක් ලෙස. මෙයට අමතරව සංක්‍රාන්ති ලිංගිකයන් සමාජයේම යම් තැනක් හිමි පිරිසක් ලෙස පැසිෆික් දූපත් වල (පෆාෆිනි පුද්ගලයන්) ත්, ඉන්දියාවේත් (හිජ්රා) සහ ථෙරවාද බෞධ තායිලන්තයේ (කටෝයි) සළකනව.

කෙනෙක් සමලිංගිකත්වය වගේම විෂම ලිංගිකයන් කෙරේත් ඇති කරගන්නා ලිංගික හැඟීම, එහෙමත් නැතිනම් පුද්ගලයෙක් බයිසෙක්ෂුවල්වීම ජීව විද්‍යාත්මක කාරණාවක් ද නැතිනම් සමාජීය කාරණාවක්ද?

ඔය අහන්නෙ ද්වී ලිංගික වීම ෆැෂන් එකක් ද කියලද? එහෙම නැතිනම් කෙනෙක් හිටපු ගමන් උ‌දේ නැගිටල අද මම යන්නනේ ගෑනියෙක් එක්ක නෙවෙයි, පිරිමියෙක් එක්ක කියල තීරණය කරනව ද කියලද? නෑ. ලිංගික නැඹුරුව කියන්නෙ ෆැෂන් එකක් වත්, තෝරා ගැනීමක් කරන්න තරම් විකල්ප කිහිපයක් තියෙන හැසිරීමක්වත් නෙවෙයි. ඉතා ස්වාභාවික වුත් පුදුගලයෙකුගේ ස්වපාලනයෙන් තොර වූත් උපතින්ම ලබන්නාවූත් තත්වයක්. ඉතා සුළු අවස්ථාවන්හිදී මේ නැඹුරුවේ වෙනස්කම් වෙන්න පුළුවන් හෝමෝන හෝ සමාජයෙන් ලැබෙන පිළිගැනීම හෝ කෙනෙකුගෙන් ලැබෙන ආදරය වැනි කාරණා මත. මම ආයෙත් කියන්නෙ මේකට පිළිතුරු දෙන්න පුළුවන් වන්නේ උගත් මනෝ වෛද්‍ය වරයෙකුටයි.

මේ වන විට සමලිංගිකත්වය නීති ගත කරලා තියෙන රටවල් එය නීතිගත කිරීමට කටයුතු කරලා තියෙන්නෙ ඇයි?

‘නීති ගත කිරීම’ කියන යෙදුම පිළිබඳව මට ගැටළුවක් තියෙනව. ඒ යෙදුමෙන් හරියට ‘අනිවාර්‌ය කිරීම’ එහෙමත් නැතිනම් පිළිගැනීමට ‘බල කිරීම’ වගේ අර්ථයක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. මම හිතන්නෙ නිවැරදි යෙදුම ‘decriminalisation’ කියන වචනයට සමාන අර්ථයක් දෙන ‘සාපරධී දණ්ඩණයෙන් ඉවත් කිරීම’ යි. ශත වර්ෂයකටත් පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට දණ්ඩ නීති සංග්‍රහ හඳුන්වා දෙන විට එකතු කරල තිබුන නීතියක් තමයි 365ඒ වගන්තියට අනුව ‘බරපතල අශෝබන’ ක්‍රියා පොදු ස්ථානයක පමණක් නොවෙයි, පුද්ගලික ස්ථාන වල - ඒ කියන්නෙ නිදන කාමරයක සිදු කිරීමත් වසර 10 ක් දක්වා සිරි දඬුවම් ලැබිය හැකි වරදක් වීම. ඊට අමතරව එතරම් ම පැරණි ‘පාදඩ ආඥා පනත’ මගින් අදටත් වරප්‍රසාද නැති ලාංකිකයන්ට එරෙහිව පොලිස් හිංසනය ක්‍රියාත්මක කිරීම කෙරෙනවා. එනම් වීථි කාන්තාවන්, යාචකයන් හා සමකාමී - සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් පමණක් නොව වෙරලේ පෙම් කරන අහිංසක තරුණ තරුණියන්ව අත් අඩංගුවට ගැනීමටත් මේ නීතිය යොදා ගන්නවා. ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ඉල්ලා සිටින්නේ මේ නීති දෙක ඉවත් කරන්න කියල මිසක් කිසිවක් ‘නීති ගත කරන්න’ කියල නෙවෙයි. මේ වන විට බටහිර යුරෝපයේ හැම රටක්මත්, උතුරු අමෙරිකාව හා නවසීලන්තය වගේ රටවලුත් සමකාමී විවාහ හෝ සිවිල් එක්වීම් පිළි අර‌ගෙන තියෙනවා. දකුණු අප්‍රිකාව, තායිවානය සහ නේපාලය යන බටහිර නොවන රටවල් සමකාමීන්ට සමාන ලෙස සැලකීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සකස් කරල තියෙනව. එහෙම කරන්නෙ සමකාමීන් යනු අනෙක් පුරවැසියන් භුක්ති විඳින වරප්‍රසාද ලැබිය යුතු සමානත්මතාවයෙන් සැළකුම් ලැබිය යුතු මනුෂ්‍යයන් කොටසක් හැටියට පිළි ගැනීමට ඒ රටවල් ශිෂ්ට සම්පන්න වීමයි. අනෙක් කාරණයනම් සමකාමීන්ට එරෙහි හිංසනය හා පහත් කොට සැළකීම් ඉවත් කිරීමෙන් ඒ රටවල් වලට ලැබෙන සාමාජීය හා ආර්ථික ප්‍රතාලභයි. ඒ කියන්නෙ අසමාන ලෙස සැළකුම් ලබන සමකාමීන් රටේ ආර්ථිකයට බරක් වෙන්න පුළුවන්. නිදර්ශනයක් ලෙස ඔවුන්ට නිදහසේ රැකියාවක් කරන්න නැති නිසා මානසික රෝගීන් වී සෞඛ්‍ය සේවයට බරක් වෙන්න පුළුවන්. නිදහසේ ඉගෙනීමක් කරන්න බැරි නිසා නිසි ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. ඇතැම් රටවල සමාජ විද්‍යාඥයන් මේ ‘බර’ ගනන් හදා බලා තියෙනව. මේ ගනන් හැදීම් වලට අනුව අපේ අසල් වැසි ඉන්දියා‌වේ සමකාමී හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට එරෙහි වෙනස් කොට සැළකීම් (discriminaiton) නිසා එරට ආර්ථිකයට වසරකට ‌ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක පාඩුවක් සිදු වෙනවා.
(මේ සම්බන්ධයෙන් වැඩිදුර කියවීමට පහත ලිංකුවෙන් සම්බන්ධ වෙන්න)
https://www.weforum.org/agenda/2016/01/the-real-cost-of-lgbt-discrimination/


විශේෂයෙන්ම අපේ රටේ මිනිසුන්ගෙන් එක්තරා පිරිසක් කියන දෙයක් තමයි ‘සමලිංගිකත්වය කියන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමේ. නමුත්ඒක අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නෙ නෑ“ කියලා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

සංස්කෘතිය කියන්නෙ නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට එන විට අපේ රටේ සමකාමීන්ට එරෙහි නීති තිබුනෙ නෑ. අපේ මිනිසුන් ලිංගිකත්වය හා චර්යාවන් ගැන විවෘත අදහස් තිබුන පිරිසක්. උඩරට සිංහල නීතිය බහු පුරුෂ හා බුහු භාර්යා විවාහ පිළි ගත්ත වගේම අන්‍යෝන්‍ය කැමැත්තෙන් දික් කසාදයකටත් ඉඩ දීල තිබුන. අනාචාරය කියන වෛවාහක වරද අපේ නීති පොත් වල තිබුනෙ නෑ. අඩ නිරුවත ප්‍රශ්ණයක් වෙලා තිබුනෙ නෑ. කාන්තාවන් බොහොමයක් උඩුකය නිරුවත් ව ඉඳල තියෙනව. ක්‍රිස්තායානි වටිනාකම් වලින් අභාෂය ලත් වික්ටෝරියානු යුගයේ පාරිපාලකයන් අපේ මේ විවෘත වූත් නිදහස් වූත් පිළිවෙත් සීමා කරමින් පැන වූ නීති අපේ රටේ ඇතැම් වැසියන් අද ‘අපේ සංස්කෘතිය’ හැටියට අර්ථ දක්වා ගන්නවා. අපේ සංස්කෘතියට එරෙහි සහ අපේ රටට නොගැලපෙන දේවල් තියෙනව. ඒව තමයි - තනි පුද්ගලයෙකුට බලය කේන්ද්‍රණය කරන විධායක ජනාධිපති ක්‍රමය, නාස්තිකාර මනාප ඡන්ද ක්‍රමය, නූගත් ඇමැත්තන්ගේ අතකොළුවක් වන රාජ්‍ය සේවය, රැකියා ස්ථානයේ හෝ අධ්‍යාපන ආයතන වලදී සිදුවන කාන්තාවන්ට එරෙහි හිංසනය, වයසක දෙමාපියන් ව දරුවන් විසින් මහ මඟ දමා යෑම, හන්දියක් ගානේ තැබෑරුම් විවෘත කිරීමට රාජ්‍ය නියෝජිතයින්ට බලපත්‍ර ලබා දීම, කෝටි ගනන් වියදම් කරමින් රාජ්‍ය නියෝජිතයන්ට සැප වාහන ගෙන්වීම, ගිනි ගහන උෂ්ණත්වයක් ඇති විට කාන්තාවන් සාරි පටලවා ගෙන සෙනඟ පිරි බස් රථ වල දුක් විඳීමට බල කරන ඇඳීම් ක්‍රම (dress codes) නියම කිරීම - මේ විදිහට දිග ලැයිස්තුවක් මට කියන්න පුළුවන්.

සමලිංගිකත්වය නීතිගත කිරීම මෙරට ක්‍රියාත්මක කළ යුත්තේ ඇයි?

නීති ගත කරන්න දෙයක් නෑ මම කලින් කිව්ව වගේ. අවශ්‍ය කරන්නෙ ‘සාපරධී දණ්ඩණයෙන් ඉවත් කිරීම’ යි. ඒ සඳහා 2. දණ්ඩ නීතිසංග්‍රහයේ 365 (අ) වගන්තිය සංශෝධනය කොට ‘පුද්ගලික ස්ථානය’ කදී සිදුවන ක්‍රියා වරදේ සීමාවෙන් ඉවත් කළ යුතුයි. ඒ කියන්නේ අපේ නිදන කාමර තුල සිදු වෙන දේවල් හොයන්න රජයට අවශ්‍ය විය යුතු නෑ එතකොට. දෙවනුව පාදඩ ආඥා පනත සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. මීට අමතරවසමකාමී - සංක්‍රාන්ති ලිංගික (LGBT) පුජාව මුහුන පාන ප්‍රචණ්ඩත්වය සහ පහත් කොට සැළකීම් වැළැක්වීම සහතික කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට ලිංගික දිශාන්ති (sexual orientation and gender) එකතු කළ යුතුයි. ඒ සේරටමත් වඩා වැදගත් වන්නෙ ඔබ - මම - අප සියළු දෙනාම මනුෂ්‍යයන්ට (සමකාමී - සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවද ඇතුළුව) මානුෂීය ගරුත්වය ලබා දී සැළකීමයි. ඔබ ඔබේ මිතුරන්ට, දරුවන්ට, අසල් වැසියන්ට කියා දිය යුතුයි එසේ වරප්‍රසාද නොලත් මනුෂ්‍යයන්ට මානුෂීය ලෙසත්, ගරුත්වයක් ඇතුවත් සැළකීමේ වැදගත් කම. කෙනෙකුට නිගරු කරන විට ඊට එරෙහිව හඬක් නැගිය යුතුයි.

සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top