1150 x 80 px

දැන්වත් බලය බෙදීමකට යා යුතුයි - ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ

ඔබ 71 අරගලයේ පෙරමුණේ සිටි කෙනෙක්. මේ වෙද්දී 71 අරගලය සිදුවෙලා වසර 46ක් ගෙවිලා ගිහින්.කොහොම වුනත් 71/88-89 සහ LTTE මේ කියන සියලු අරගල මේ බිමේ පරාජය වෙනවා. ජනතා අරගල වලට මොකද වුණේ?

 

 

මේ අරගල පරාජයට පත්වීම ගැන නොයෙක් විග්‍රහයන් තියෙනවා.මම දකින ප්‍රධාන දෙයක් තමයි මේ කිසිම අරගලයක් බහුජන ක්‍රියාකාරිත්වය මත පදනම් වුණේ නැහැ කියන එක.71 අරගලදී අපට වැරදුන තැනත් එතන.මොකද අපි ආයුධ සන්නද්ධ වෙනවා,පොලිසිවලට ගහනවා.නමුත් එතැනදී බහුජනතාවගේ පැත්තෙන් මොනවත් වුණේ නැහැ.ඔවුන් මේ අරගලයට සහය දෙන්න හරි මේ අරගලය සාධාරණ එකක් කියලා හරි කිව්වේ නැහැනේ.මෙතන ප්‍රශ්නය වෙන්නේ ආයුධ සන්නද්ධ අරගලය සහ බහුජන ක්‍රියාකාරිත්වය අතර සම්බන්ධය වරද්දවා ගැනීම.මොකද අපි තමයි ජනතාව වෙනුවට ආදේශ වෙන්නේ.ජනතාව වෙනුවෙන් අපි තමයි තීරණ ගන්නේ.ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නම් ජනතාව තමයි තීරණය කළයුත්තේ කළයුත්ත ගැන.පක්ෂයක් නායකත්වය දෙන්න ඕනේ.නමුත් පක්ෂය නායකත්වය දෙනවා වෙනුවට ආදේශ වෙනවා.88-89 තත්ත්වයත් ඒ විදිහට වෙන්න ඇති කියලා හිතනවා.මොකද මම 88-89 සිද්ධි වලට සම්බන්ධයක් නැහැ. මම 84 පෙබරවාරිවල පක්ෂයෙන් ඉවත් වෙනවා.

දෙමළ සටන්කාමීන්ගේ ව්‍යාපාරය තුළත් හුදෙකලවාදී අරගලයක් කළේ.වෙනත් ව්‍යාපාර සමූල ඝාතනය කරනවා.අඩුම තරමේ සිංහල ප්‍රගතිශීලි කොටස් වල සහය ගන්නවත් කටයුතු කරන්නේ නැහැ.වෙනම රාජ්‍යයක් යන සංකල්පය මත පමණක්ම හිඳිමින් ඊට එරෙහි සියලු කොටස් විනාශ කිරීමේ තත්ත්වයක තමයි හිටියේ.මම කියන්නේ ඒක වැරදියි.වෙන්න තිබුණේ දකුණේ ප්‍රගතිශීලි කොටස් වල ආධාරයත් ඇතිව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාධාරණ අරගලයක් කිරීම.

ඔබ ජවිපෙ තුළ සිටි කාලය තුළ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් තිබුණේ මොනවගේ සංවාදයක්ද ?

77න් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ දෙමළ ජනතාවගේ දේශපාලන කටයුතු භාරව හිටියේ මම දේශපාලන මණ්ඩල සභිකයෙක් හැටියට.මම ගියපු හැම තැනම කිව්වේ දෙමළ ජනතාවගේ අරගලයට දැන් ජාතිකවාදී මුහුණු වරක් ඇවිත් තියෙන්නේ.නමුත් එතන ක්‍රියාකාරන නොයෙක් වාමාංශික සංවිධානත් තියෙනවා.මේ වාමාංශික ව්‍යාපාරත් එක්ක අපි යම් කිසි ගණුදෙනුවකට එන්න ඕනේ කියලා.නමුත් ඒකට ජනතා විමුක්ති පෙරමුණ කැමති වුණේ නැහැ.දෙමළ අයගේ පැත්තෙන් ඔවුන්ටත් අවස්ථාවක් තිබුණා දකුණේ තිබුන ප්‍රගතිශීලි ව්‍යාපාරත් එක්ක යම් කිසි සංවාදයකට එන්න.මේ දෙගොල්ලොම කළේ හුදෙකලාවාදී,ගෝත්‍රවාදී අරගලයක්.

අරගල පරාජය වෙන්න බලපෑ තවත් කාරණයක් තමයි සන්නද්ධ අරගය පමණක්ම ගැන විශ්වාසය තැබීම.මම කියන්නේ විශ්වාසය තබන්න ඕනේ ජනතාව මත.අරගල පැනනැගෙන්න ඕනේ ජනතාව තුළින්මයි.

අදටත් අපිට දකින්න ලැබෙන්නේ ජනතාව තීන්දු තීරණ ගන්නවා වෙනුවට අපිට තමා කරන්න පුළුවන් කියලා ආදේශක වීම්.ඒ කියන්නේ සමාජ වෙනසක් සඳහා තාමත් ජනතාවට අවශ්‍යතාවක් නැහැ කියලද?

ඇත්තටම මම දකින්නේ නැහැ වෙනසක් ඇතිවෙලා තියෙනවා කියලා.මේක ලංකාවේ පමණක් නොවෙයි ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාරයේත් දකින්න තියෙන දෙයක්.ඔවුන් බොහොම කට්ටිවාදී ලෙස නිකායවාදී ලෙස හිතනවා සමාජ වෙනස් කිරීම ඔවුන්ගේ කොන්ත්‍රාත්තුවක් කියලා.ප්‍රගතිශීලි අදහස් තිබුණට එකට එක්ව බලවේගයක් ලෙස ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන කිසිම කෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ.

ඒ නිසා වැදගත්ම දේ තමයි බහුජන විශ්වාසය.ඒ වගේම හැමෝටම එකතු වෙන්න පුළුවන් තැන්වලදී එකට එකතු වෙලා කටයුතු කිරීම.

තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපි සමාජවාදය කියලා විශ්වාස කළේ කුමක්ද කියන කරණය.සමාජවාදී පෙරළියක් තුළින් මූලිකව අදහස් කරන දේ තමයි ජනතාවට සාධාරණ ආකාරයෙන් සම්පත් බෙදී යාම.දෙවෙනි දේ තමයි ජනතාවගේ නිදහස.ඒ කියන්නේ වැඩකරන ජනතාව විසින්ම තීරණය කරන සමාජයක්.

ධනේෂ්වර සමාජය තුළ එවැනි පරිසරයක් ගොඩනගාගැනීම පහසු නැහැ.මර්දන බලවේග ශක්තිමත්?

ඒ ගැන මෙහෙම කතාකළොත්,මාක්ස්ට ඉස්සෙල්ලා තිබුණා මනෝ රාජික සමාජවාදය කියලා.නමුත් එය කරගන්න බැරිවුණා.එදා හිටපු පාලක පන්තියේ ප්‍රශ්න උඩ කඩාගෙන වැටුණා.දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන දේ තමයි සමාජවාදී ව්‍යාපාරවල ඇතිවූ පිරිහීම ගැන බලලා මේ ගැන අධ්‍යයනය කරලා පැරණි සමාජවාදී ව්‍යාපාරවල සිටි ඇතැම් කොටස් දැන් කල්පනාකරනවා සමාජවාදය කියන එක දැන් මින්ස්සුන්ට වදයක් වෙලා තියෙන්නේ,මොකද මේකේ වචන සෙට් එකක තියෙනවනේ.නමුත් දැන් ප්‍රායෝගික වශයෙන් පෙන්වන ඕනේ මිනිසුන්ට සමාජවාදය කියන්නේ මොකක්ද කියලා.

උදාහරණයක් විදිහට ගත්තොත් ඉතාලියේ,ස්පාඥයේ මට මතක විදිහට පෘතුගාලයේ,නිව්යෝර්ක්වල පොඩි පොඩි කණ්ඩායම් හැදිලා මේ අය ධනේශ්වර පාලනයක් තුළම යම් යම් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපොළවල් හදනවා.මම මේවා අනුමත කරනවා කියන තැනින් නෙවෙයි කතාකරන්නේ.නමුත් නොයෙක් ප්‍රයන්තයන් ලොව පුරා දැකගන්න පුළුවන්.ඉතාලිය සහ ස්පාඥය ගත්තොත් ආණ්ඩු සමඟ එකඟතාවක් ඇතිකරගෙන තියෙනවා බංකොලොත් වෙන ආයතන විකුණා දැමීමේදී එය මිලදී ගන්න මූලික අවස්ථාව එම ආයතනයේ සේවකයන්ට ලබාදීමට.ස්පාඥයේ ප්‍රදේශයක් තියෙනවා ඒ වගේ.එතන අනිත් තැන්වලට වඩා සේවකයන්ට ලැබෙන දීමනා පවා වැඩියි.මම දකිනවා මේකේ සීමාවක්.මොකද එහෙම වැඩකරගෙන යද්දී එක්තරා කාලයකදී පවතින ක්‍රමයට ඕක තර්ජනයක් වෙන්න ඕනෙනේ.එතකොට මේක හැප්පෙනවා.එහෙම හැප්පෙද්දී වෙන්න ඕන දෙයක් තමයි මේ අත්දැකීම් ලබාගත්ත අය මේ ක්‍රමය ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්න ඕනෙනේ.එහෙම වුණේ නැහැනේ.සෝවියට් දේශය බිඳ වැටීමෙන් එය පේනවනේ.එහෙම ආරක්ෂා කරන්න මිනිස්සු මැදිහත් නොවුණේ ප්‍රශ්නයක් තියෙන නිසානේ.ඉතින් කොහොමද අපි ඒ තත්ත්වය ඇති කරන්නේ.

ජවිපෙ සහ පෙරටුගාමීන්ගේ වර්තමාන දේශපාලන භාවිතාව තුළ වම විශ්වාස කරන්නන්ට බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවද?

එතන ප්‍රශ්නයක් තියෙනවා.මම දකින්නේ මූලික වශයෙන්ම කට්ටිවාදී,නිකායවාදී සහ පුද්ගලික නායකත්වයන් ආරක්ෂා කර ගැනීම සඳහා යන ක්‍රමවේදයක්.මමත් හිතුවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙන් වෙනකොට මේ අය වඩා හොඳ ප්‍රතිපත්ති මාලාවක් වෙනුවෙන් සටන් කරලා වෙන් වුණා කියලා.නමුත් මේ අයත් එක්ක සාකච්ජා කරද්දී තේරුණා දෙයක් තමයි "නෑ මේ අයත් එතනම තමයි ඉන්නේ" කියන එක. එතකොට ප්‍රශ්නයක් ඇයි මේ අය වෙන්වුණේ කියන එක.ඒ කණ්ඩායමත් එක්ක සෑහෙන ප්‍රමාණයක් වෙන් වෙලා ආවා.දැන් ඒ අය බහුතරයක් නැහැ.එහෙම වෙන්න හේතුව සලකා බලන්න ඕනේ.ඒ අය ඒක සලකා බලන්නෙත් නැහැ.අපි එදා ජවිපෙදී කළේ ප්‍රතිපත්තිමාලාවක් වටා ජනතාව සංවිධානය කරන එක.නමුත් අද එහෙම වෙන පාටක් නැහැ.විරෝධතා,විවේචන දැක්වීම හොඳ දෙයක්.නමුත් එතනින් එහාට ගිහින් මොනවද කරන්නේ කියලා හිතන්න වෙනවා.

වම උත්කර්ෂයට නගන දෙයක් තමයි ජාතික ප්‍රශ්නය.අපිට තාම විසදුමකට එන්න බැරිවෙලා තියෙනවා.ප්‍රගතිශීලි යැයි පවසන කොටස්වල පවා මේ ප්‍රශ්නයේදී දකින්න තියෙන්නේ යම් සෙලවීමක්. ජාතික සංහිඳියාව ගැන කතා කළාට එම සාකච්ජාව අවංක එකක්ද කියන ප්‍රශ්නය තියෙනවා?

රටේ මේ වෙද්දී ප්‍රධාන ප්‍රශ්න දෙකක් පවතිනවා.එකක් තමයි ආර්ථික සංවර්ධනය පිලිබඳ ප්‍රශ්නය.අනික තමයි ජාතික සංහිඳියාව පිලිබඳ ප්‍රශ්නය.ආර්ථික සංවර්ධනයේදී පවතින තත්ත්වය අනුව තියෙන්නේ ධනේශ්වර ක්‍රමයක්. වෙනත් දෙයක් මේ තත්ත්වය තුළ බලාපොරොත්තුවෙන්න බැහැ.ධනේශ්වරය ආර්ථික ක්‍රමය තුළ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් වෙන්නේ නැහැ.එන්න එන්න ඇති නැති පරතරය වැඩි වෙනවා.ජාතික සංහිඳියාව කියන කාරණයේදී ආර්ථික සංවර්ධනයක් ඇති කර ගන්න නම් ජාතික සංහිඳියාවක් අවශ්‍යයි.අනිත් පැත්තට ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යන්න ජාතීන්ගේ බෙදීමත් අවශ්‍යයි.මේ ප්‍රතිවිරුද්ධතාව තුළ තමයි මේ අය හිරවෙන්නේ.නමුත් වමේ අය විදිහට, ප්‍රගතිශීලින් විදිහට වගකීමක් තියෙනවා මේ ජාතික ප්‍රශ්නය පිලිබඳ සාකච්ජාව ඉස්සරහට ගන්න.මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් වෙන්නේ හැමෝම වගේ බලවේගයක් ලෙස එකතු වුනොත් විතරයි.රජය මේ ගැන උනන්න්දු වෙනවා නම් රජයේ මාධ්‍ය මේ ගැන උනන්දු කළ හැකියි.නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ.දැන් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා.ඒක වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් ඒ ගැන පැහැදිලිභාවයක් නැහැ.මිනිස්සුන්ට මේක හරියට පැහැදිලි කරන්න ඕනේ.

හරි සරළ තැනකින් පටන් ගන්න පුළුවන්.සාමාජිකයෝ හතර පස් දෙනෙක් ඉන්න පවුලක් ගන්නකො.එතැනදී කියනවනම් අරයා පවුලේ කෙනෙක් නෙවෙයි,මෙයා පවුලේ කෙනෙක් නෙවෙයි කියලා ඒක වෙනම ප්‍රශ්නයක්.එතකොට වෙන්වෙන්න ඕනේ.ඔය තත්ත්වේ තමයි අපිට උදාවෙලා තියෙන්නේ.අපි කියනවා දෙමළ මිනිස්සු ඕනේ නැහැ කියලා.එතකොට කොහොමද ඒ මිනිස්සු අපි එක්ක එකට ඉන්නේ.සාමාන්‍යයෙන් පවුලක ප්‍රශ්නයක් ඇති වුනාම කතාබහ කරලා විසදගන්නවනේ.ඒක "රට" කියන පවුලටත් අදාළ කරගන්න පුළුවන්.ඒ වගේ තැනකින් පටන් අරගෙන ඇයි රජය ක්‍රියාකරන්නේ නැත්තේ.රජයට එහෙම කිරීමේ අවශ්‍යතාවක් නැද්ද? වමේ ව්‍යාපාරත් කළේ ආණ්ඩුව යුද්ධ කරද්දී කොන්දේසි විරහිතව සහය දීපූ එකනේ.මේ රාමුවෙන් පිට අලුතෙන් හිතලා මොනවද කරන්න පුළුවන් කියලා හිතන්න ඕනේ.යම් කිසි තැනකට හෝ ජාතික ප්‍රශ්නය විසඳුමකට ගෙන්න පුළුවන් නම් එය සමාජ වෙනසක් සඳහා ලොකු හයියක්.මොකද සියලු බලවේග මේකට ගොනුවෙනවා.

ජාතික සංහිඳියාව පිලිබඳ කතා කිරීමේදී ජවිපෙ විදිහට 1972 සකස් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ස්වයං නිර්ණ අයිතිය පිළිගත්තා.එතැනදී අපි අදහස් කළේ නැහැ.බෙදී වෙන්වීමක්.එහෙම තැනකට තල්ලු කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ.මම අදත් ඉන්න ස්ථාවරය තමයි ස්වයං නිර්ණය අයිතියක්.මොකද මිනිස්සු මත බලහත්කාරය පටවලා,අනවශ්‍ය විදිහට පීඩාවට පත්කරනවා නම් මිනිස්සුන්ට අයිතිය තියෙන්න ඕනේ තීරණය කරන්න අනිත් කොටසත් එක්ක එකට ඉන්නවද නැද්ද කියලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒක පිළිගන්න ගමන් වමේ ව්‍යාපාරවලට හැකි වෙන්න ඕනේ. ඒ අයිතිය දෙන්න කියලා උද්ඝෝෂණ කරන්න.ඒක මඟහරින ගමන් අපිට කියන්න බැහැ දෙමළ ජනතාවට එකට ඉන්න කියලා.අපි කියනවනම් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් දෙන්න ඕනේ කියලා නිරායාසයෙන්ම ඒ මිනිස්සුත් මෙතනට එනවා.

සිංහල බෞද්ධ සමාජය ඊට සුදානම් කියලා ඔබ විශ්වාස කරනවද?

මම හිතන්නේ නෑ මේ රටේ ඉන්න සිංහල ජනතාව විරුද්ධ වෙයි කියලා අනිත් මිනිස්සුන්ට සාධාරණ අයිතිවාසිකම් දෙන එකට.අපිට හොඳ අත්දැකීමක් තියෙනවා 2004දී චන්ද්‍රිකා ෆෙඩරල් ක්‍රමයක් දෙනවා කියලා ජන්දේ ඉල්ලුවම මිනිසු ජන්දේ දුන්නා.මිනිස්සුන්ට ඒක බරපතල ප්‍රශ්නයක් වුණේ නැහැ.2000දීත් ව්‍යවස්ථාව ගෙන්න දුන්නේ නැහැ.අද දවස වෙද්දී මම කියන්නේ යම්කිසි ආකාරයක බලය බෙදීමක් අවශ්‍යයි.තමන්ගේ භාෂාවෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න යම් කිසි නිදහසක් ඒ අය‍ට තියෙන්න ඕනේ.මධ්‍යම ආණ්ඩුවේ මඟපෙන්වීමෙන් කෙරුණත් යම් නිදහසක් ඔවුන්ට තියෙන්න ඕනේ.නමුත ඒ තත්ත්වය ඇතිකිරීමට එරෙහිව නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා.ඒ බලවේග නිසාම තමයි බෙදා වෙන්වීමේ බලවේග ශක්තිමත් වෙන්නේ.

ස්වයං නිර්ණ අයිතිය කියූ සැණින් මිනිස්සුන්ගේ ඔලුවට එන්නේ වෙනම රාජ්‍යක් කියන සංකල්පය?

එහෙම හිතෙන්නේ අපි යම් කිසි නිදහසක් දුන්නොත් ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි කරලා වෙන්වෙයි කියල හිතන නිසා.මෙතෙක් තියෙන අත්දැකීම අනුව නම් ඒ නිදහස් නොදීම තුළින් තමයි වෙන්වීම ඇතිවුණේ.මම හොඳ උදාහරණයක් කියන්නම් මට මතක විදිහට 1953 චාවකච්චේරි ආසනයේ අතුරු මැතිවරණයක් තිබුණා.ඒකට තරඟ කළා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් හිටියා ශ්‍රී සුන්දරලිංගම් කියලා.එයා ගණිතය පිලිබඳ ලංකාවේ හිටපු හොදම මහාචාර්යවරයෙක්.1948න් පස්සේ මුලින්ම මෙයා තමයි වෙනම රාජ්‍යයක් කියන සංකල්පය ඉදිරිපත් කළේ .සුන්දරලිංගම් මැතිවරණ ව්‍යාපාරය ගෙනිච්චේ වෙනම රාජ්‍යයක් කියන සංකල්පය මත හිඳිමින්.දෙමළ මිනිස්සු ජන්දය දුන්නේ නැහැ.මැතිවරණයෙන් සුන්දරලිංගම්ගේ ඇපෙත් නැති වුණා.මෙතන දී අපි කල්පනා කරන්න ඕනේ එහෙම හිටපු කොටසක් කොහොමද පස්සේ කාලෙක වෙනම රාජ්‍යයක් සඳහා සහය දෙන තත්ත්වයට ආවේ කියන කාරණය.මේක වෙනස් කරන්න නම් අනිත් පැත්ත පෙරළන්න වෙනවා. මේ තත්ත්වය වාද කරලා පෙන්වන්න වෙනවා.

දැනට කතාබහ වෙමින් තිබෙනවා ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාවක් ගැන මෙතැනදී දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයන්හි සිටින දේශපාලකයන් කිහිපදෙනෙක් හෝ ප්‍රසිද්ධියේ පවසනවා බලය බෙදන්න ඕනේ,පුළුවන්නම් 13+ විසදුමකට යන්න ඕනේ කියලා.මෙය හොඳ ප්‍රවණතාවක්.මේ තත්ත්වය දැන් හරියට කළමනාකරණය කර ගන්න වෙනවා.මෙවන් අවස්ථා අතහැරීම,අතහැරෙන්නට දීම තව ඛේදවාචකයක මුල පිරීමක් වෙන්න පුළුවන්.ඔබ මේ තත්ත්වය විග්‍රහ කරගන්නේ කොහොමද?

වෙන්න ඕන දේ තමයි, එකක් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියන එකෙන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.වත්මන් ජනාධිපතිවරයාටත් යම් අවශ්‍යතාවක් තියෙනවා විධායක ජනාධිපතිධූරය තියාගන්න.චම්පික ඇමතිවරයාට රතන හාමුදුරුවන්ට පවා මේ විධායකය තබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පේන්නතියෙනවා.මෑතදී විධායක බලතලත් අඩු වුණානේ.කොහොම නමුත් ව්‍යවස්ථා සංශෝධනයට විධායකය හරස් වෙනවනම් මම කියන්නේ අතරමැදි සමාදානයකට හෝ යන්න ඕනේ කියලා.ඊළග ජනාධිපතිවරණයටත් විධායකය තියාගෙන නමුත් බලතල සෑහෙන්න අඩු කරලා එහෙම තැනකටවත් එන්න වෙනවා.හැබැයි ඊළඟ ජනාධිපතිවරණය වෙද්දී විධායකය අහෝසි කරන්න ඕනේ.එහෙම සම්මුතියක් හෝ ඇතිවෙනවානම්

හොඳයි.

හුගක් වෙලාවට වෙන්නේ ව්‍යවස්ථාවේ මොනවද තියෙන්නේ කියලා අපි හරියට දන්නේ නැහැනේ.ව්‍යවස්ථා අනුකමිටු වාර්තාව විතරයි ඇවිත් තියෙන්නේ.කොහොමහරි කෙටුම්පත් එන්නත් ඉස්සරවෙලා ඇතැම් අය (ව්‍යවස්ථාව භාවිතා කරලා බලයේ ඉන්න හදපු අය ) කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය රට බෙදන්න පාවිච්චි කරන එකක් කියලා මිනිස්සු මුලා කරනවා.මම දකින්නේ මේ උත්සාහය ව්‍යවස්ථාව පිලිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ඊට වඩා එහා ගියපු ප්‍රශ්නයක්.රටේ දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරලා ඒ අය නැවත බලයට ඒමට දරන උත්සාහයක්.මම දන්නා විදිහට මේ නායකයෝ පිටරට ගිහින් මුදල් එකතු කළා ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කරන විට ඒකට විරුද්ධව දළදා මාළිගාවේ හාමුදුරුවෝ ගෙනල්ලා උපවාසයක් කරන්නත් දිවයින පුරා ගම් සියයක විරෝධතා පවත්වන්නත්.මේක මෙහෙම වෙයිද නැද්ද කියලා මට කියන්න බැහැ. නමුත් පරමාර්ථය ඒක.එහෙම විරෝධයක් මතුවුනොත් ඉස්ලාමිය අන්තවාදී කොටස් පාවිච්චි කරලා හරි,වෙනත් සිද්ධියක් ඇති කරලා හරි රට අස්ථාවර තැනකට ගේනවා.මම කියන්නේ සිංහල දෙමළ ප්‍රශ්නයට වඩා බරපතල තත්ත්වයක් වෙනවා සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ආවොත්.මොකද එක ජාත්‍යන්තර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

එහෙම අස්ථාවර භාවයක් ඇති වුනොත් පාර්ලිමේන්තුව ඇතුළෙම වුනත් වෙනසක් වන්න පුළුවන්.එවැනි තත්ත්වයක් වළක්වන්න ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ.ආණ්ඩුව තාම මොනවත් කරලා නැහැ.

සාකච්ඡා කළේ - ආශිකා බ්‍රාහ්මණ
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top