Untitled 1

මැයි දිනය මෙහෙමයි

මැයි දිනය දේශපාලනික කතා බහ උණුසුම් කිරීමට සමත් වුවා . මේ නිසා ඒ ගැන පක්ෂ ලේකම් වරුන්ගේ අදහස් අප මෙසේ විමසුවා . ඒ අනුව ශ්‍රීලනිපයේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, එජාපය අමාත්‍ය අකිල විරාජ් , ජවිපෙ ටිල්වින් සිල්වා , පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අප  ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරුයි මේ ,

අමාත්‍ය දුමින්ද දිසානායක,

ඔබලා හිටපු ජනාධිපති මහින්ද පුමුඛ ඒකාබද්ධ විපක්ෂයට කල අභියෝගය ජය ගනිමින් ගෝල්ෆේස් එක මිනිස්සුන්ගෙන් පිරෙව්වා නේද.ඒ ගැන මොකද කියන්නෙ ?
ගෝල්ෆේස් එකට සෙනඟ පුරවන්න කියලා කව්ද අභියෝග කලේ. අපි නම් අභියෝග කලේ නැහැ.

ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමතිවරු ඒසම්බන්ධව අභියෝග කරන අන්දම මාධ්යවල පල වුනා.....
මම නම් අභියෝග කරලා නැහැ. අපෙන් පක්ෂෙනුත් එහෙම අභියෝග කරලා නැහැ. මොකද ඒ අය අපිට අභියෝග කරන්න කට්ටියක් නෙවෙයි.ජී එල් පීරිස් මැතිතුමාගෙ පක්ෂය පවත්වපු මැයි දිනය සඳහා කල රැස්වීම ගැන අපිට හිතන්නවත් ඕනකමක් තිබුනෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ බහුතරය සිටින්නෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ෂවය සමඟ නොව මහින්ද රාජපක්ෂ සමඟ කියන කාරණය ඒකාබද්ධ මැයි රැලියට එක් වූ ජනතාව පැහැදිලි වෙනවා නේද?
නැහැ. වැරදි මිම්මක්නෙ. ප්‍රධානම කාරණය තමයි ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියක් තිබුණෙ නැහැ. ඒ පිට්ටනිය වෙන් කරගෙන තිබුණෙ පොදුජන පෙරමුණ පක්ෂය. එම රැලිය පැවැත්වීම සඳහා අවසර ලබා දුන්නෙත් පොදුජන පෙරමුණට. හිටපු ජනාධිපතිතුමා එතුමාට ජනතාවගේ තිබෙන ආදරය, ගෞරවය  සහ එතුමාගේ තිබෙන ආකර්ශනය පාවිච්චි කරලා ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයො මුලාවේ දැමීමක් පලමුවරට කලා. මෙච්චර  කාලයක් එතුමා ඒකාබද්ධ විපක්ෂයේ නම පාවිච්චි කරලා පෙලපාලි ගියා රැස්වීම් තිබ්බා. නමුත් මෙවර පොදුජන පෙරමුණේ මැයි රැලියට තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො අරගෙන ආවෙ. පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂයේ යොදා තිබෙන්නෙ  මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ පින්තූරෙ. පොදුජන පෙරමුණේ ලාංඡනය නෙවෙයි. අනෙකුත් පක්ෂවලට ආරාධනා කර තිබුනෙත් එතුමා. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා පෙන්වනවා නම් ඔවන් රැදෙන්න ඕනෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේයි. පොදුජන පෙරමුණේ රැස්වීම ශ්‍රී ලංකා එකේ මිනිස්සු ගෙනිහිල්ලා ශ්‍රී ලංකා එකේ ගම් මට්ටම බිම් මට්ටම ගැන කතා කරන එක මහා බොරුවක්. ශ්‍රී ලංකා එකේ ගම් මට්ටම බිම් මට්ටම තියෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක.

ඔබ එසේ ප්‍රකාශ කලත් පොදුජන පෙරමුණේ මැයි රැලියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහභාගී වීම ප්‍රශ්නයක් නෙවෙයි ද?
මහින්ද රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රකින්න වුවමනාවක් නැහැ.එතුමාට
අවශ්‍ය වෙලා තියෙන්නෙ නැති වූ බලය නැවත ලබා ගැනීමයි. මහින්ද රාජපක්ෂ මහත්මයා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො තවදුරටත් මේ රැවටීමට ලක් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නැහැ.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය වර්ජනය කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කල මැයි රැලියට එක්  වූ මහින්ද රාජපක්ෂ මහතා පුමුඛ මන්ත්‍රීවරුන්ට එරෙහිව ගන්නා ඉදිරි ක්රියාමාර්ගය කුමක්ද?
මධ්‍යම කාරක සභාව රැස් වෙලා තමයි ඒ පිලිබඳව තීරණය කල යුතු වෙන්නෙ. කාටත් පොදු තීන්දුවක් තමයි මධ්‍යම කාරක සභාවෙන් ගන්නෙ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති මැයි රැලිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රධාන රජයට එල්ල කල අභියෝගය ජය ගැනීමට ඔබලා සූදානම් ද?
ඒ රැස්වීම පිලිබඳව අපි අවධානය යොමු කර තිබුණෙ නැහැ. නමුත්  මාධ්යවලින් දැක්කා ඔවුන් හර්තාල්කරලා ආණ්ඩුව ගන්න බව කියලා තිබුණා. ඒ පිලිබඳව මට තියෙන්නෙ හිරිකිතයක් සහ ලොකු කණගාටුවක්. මහින්ද රාජපක්ෂ කණ්ඩායම ගැන ලොකු දුකක් සහ කලකිරීමක්. මහින්ද රාජපක්ෂ මත්මයලා සමඟ අපි ආණ්ඩු කරලා රටට වැඩක් කලේ අපි කියලා අපේ අදහසක් තිබුණා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුලු කණ්ඩායම අවුරුදු දෙකක් තුල හර්තාල් කරලා ආණ්ඩුව පෙරලන්න ඕනෙ කියලා කියනවානම් මේ කරන්න හදන්නෙ රටේ ව්යවස්ථාව , නීතිය උල්ලංඝනය කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව තමන්ට නැති වූ බලය රැකගන්නයි උත්සාහ  කරන්නෙ. කූඨ  උපක්‍රමවලින් බලය ලබා ගන්න යද්දි ප්‍රජාතන්ත්රවාදී අයිතියට මොකද වෙන්නෙ. මේ වගේ පිරිසකට රටක් බාර දුන්නොත් මොනවා වෙයිද. රටේ නීතිය ප්‍රජාතන්ත්රවාදයට වගේම බහුතරයේ කැමැත්තට පටහැනිව කටයුතු  කරනවා නම් ඒ හැම දේකටම උත්තර දෙන්න අපි දන්නවා. ඒ ඒ බනිස ගෙඩිවලට ඒ එ කෙසෙල් ගෙඩිවලින් උත්තර දෙන්න අපි සූදානම්.

මේ මැයි රැලි සහ පෙළපාලි සමඟ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීපාල සිරිසේන පාර්ශවය සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය යලි එකට එකතු කල නොහැකි අයුරින් දෙකඩ වී ගියා නේද?
අපේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න. හැබැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇත්තටම දෙකඩ කරන්නෙ කව්ද කියන කාරණය මේ මැයි පෙලපාලියෙන් පැහැදිලි වුනා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලෙ අර්බුදයක් තියෙනවා නම් යම් කෙනෙකුට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියක් තියෙනවා. වෙනත් පක්ෂයක මැයි රැලියකට සම්බන්ධ වීමෙන් මහින්ද  රාජපක්ෂ මහත්තයා සියල්ල කලේ දැනගෙන කියන එක පැහැදිලියි.

අධ්‍යාපන අමාත්‍ය  අකිල විරාජ් කාරියවසම්

කොලඹ කැම්බල් පිටියේ දී මැයි රැලියට සහ පෙලපාලියට  එක් වූ ජනතාව ගැන සෑහීමට පත් වෙන්න පුලුවන් ද?
එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය ඉතාම සාර්ථකයි.  ගිය වසරටත් වැඩිය රටේ ජනතාව අපේ මැයි රැලියට සහභාගී වුනා. හවස පහවෙනකොටත් ජනතාව සුගතදාස ක්රීඩාංගණය ළඟ හිරවෙලා හිටියෙ. මරදාන බොරැල්ල පුංචි බොරැල්ල කැම්බල් පිටිය දක්වා තිබෙන මහාමාර්ගය ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් පාරවල් අවහිර වූතිබුණු නිසා  පස්වරු දෙකට මැයි රැලිය පවත්වන්න නියමිතව තිබුණත්පස්වරු 12.30 ට මැයි රැලිය ආරම්භ කරන්න සිද්ධ වුනා.

ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිවලට සහභාගී වූ ජනතාවට සාපේක්ෂව ඔබලාගේ මැයි රැලියට පැමිණි ජනතාව පුමානවත් නැ නේද?
මම විශ්වාස කරනවා අපේ මැයි රැලියෙ ඒකාබද්ධ විපක්ෂයේ වගේ හතර ගුණයක් ජනතව හිටියා. ඒකාබද්ධ විපක්ෂයේ රැලිය එකතැන තිබුණු නිසා කැමරාවට එය පුළුල් විදිහට හසු වෙනවා. මහාමාර්ගයෙ දිගු දුරක් යනතෙක් අපේ ජනතාව හිටියා. නිවැරදි සංඛ්යාලේඛන ගත්තොත් කොච්චර සෙනඟක් හිටියද කියලා හරියට කියන්න පුළුවන්

ඒකාබද්ධ විපක්ෂය මැයි රුලියදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති සහ අගමැති ප්‍රධාන රජයට එල්ල කල අභියෝගයට ඔබලා සූදානම් ද?
අපි ඒ අභියෝගයට සූදානම්. ඉතා ඉක්මණින් මැතිවරණයක් පවත්වා අපේ බලය පෙන්වන්න අපි සූදානම්.

ඒ අභියෝගය ජයගන්න පුලුවන් කියලා හිතනවද?
ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණයෙදි ආණ්ඩු බලය තිබුණු අයව දණ ගැස්සුවා පරාජය කලා. දෙවැනි ඡන්දෙදි ඊට වඩා පරාජයක් අත්කර දුන්නා. තුන්වනි ඡන්දයේදි ඊටත් වඩා පරාජයක් රාජපක්ෂවරුන්ට අත්කර දෙනවා. මේ රටේ බහුතර ජනතාවක් තවමත් ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයෙයි.

එහෙමනම් තවම පලාත්පාලන ඡන්දය තියන්නෙ නැත්තෙ ඇයි?
පලාත් පාලන මැතිවරණය අපි ඉදිරියේදී පවත්වනවා. ඒ පිලිබඳ දැනට සාකච්ඡා මට්ටමේ තියෙන්නෙ.

එක්සත් ජාතින පක්ෂයට සහ  ශ්රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩි ජනබලයක් ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහභාගී වීමෙන් පේන්නෙ රටපුරා ආණ්ඩුව ට තියෙන ජනතා විරෝධය නේද?
මගේ තක්සේරුව අනුව අනෙක් පක්ෂවල මැයි රැලිවලට ආව සෙනඟට වඩා අපේ සෙනඟ වැඩියි. ඒක තමයි යථාර්ථය. යම් යම් දේවල් අල්ලෙගන ආණ්ඩුවට එරෙහිව මතයක් හදන්න හදනවා. අපේ තියෙන ඉවසිලිමත්භාවය, මාධ්යවලට දීලා තියෙන අසීමිත නිදහසත් සමහර මාධ් ය පසුගිය ආණ්ඩුවට දෙන පුළුල් ප්‍රචාරයත් ආදී කාරණා ඒ සඳහා බලපා තියෙනවා.  නමුත් යථාර්ථය ඒක නෙවෙයි. බහුතරය ඉන්නෙ එක්සත් ජාතික පක්ෂය සමඟ. ආණ්ඩුවට විරුද්ධ වෙන්නෙ මොකටද. අපි රටේ නිදහස ඇති කලාටද. අද මාධ්්‍යවලින් ආණ්ඩුවටත් ගහනවා. පෙට්රල් ලීටරයක රු. 33කින් අඩු කලාට ද. සයිටම් එකට දැන් උද්ඝෝෂණ කරනවා. සයිටම් එක අපේ දරුවෙක් නෙවෙයි. සයිටම් කියන අවජාතක දරුවා බිහි කලේ රාජපක්ෂවරු. අපි ඒකට සුජාතභාවය ලබා දෙන්න හදද්දී දෛවය කියන්නෙ ඒගොල්ලොම එ්කට විරුද්ධ වෙනවා. කුණු ගොඩ අපේ ඇඟේ කඩා වැටුණට අවුරුදු දහයක් තිස්සේ රාජපක්ෂලා මොනවද කලේ. අපේ ආණ්ඩුවට අද මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ අපේ ප්රශ්නවලට නෙවෙයි. රාජපක්ෂවරු ලබාගත් අසීමිත ණය නිසා අපිට පාඩු ලබන හම්බන්තොට මුදල් උපයන ලාබදායී ක්රමයකට අවතීර්ණ වෙලා තියෙනවා. මේවයෙ ප්රතිඵල බැලුවහම රාජපක්ෂවරුන්ට යන එන මං නැති වෙන නසා ඊට කලින් කකුල් මාට්ටුවක් දාන්න පුලුවන් ද බලනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ඔයගොල්ලො රටත් ජනතාවත් හමුවේ තබන දේශපාලන තර්ක සහ ඔයගොල්ලො ගෙනියන ව්‍යාපාර අනුව ඩී.ආර්.සී එකට ගෙනාපු සෙනඟ ගැන සෑහිමට පත් වෙන්න පුලුවන් ද?
අපේ මැයි රැලිය දැකපු කව්රුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසයේ නොවූ විරූ මට්ටමෙ දැවැන්ත ජනකායක් සහභාගී වුනා කියලා. ජනතාවගේ ප්‍රමාණය වැඩිවීම පමණක් නොවෙයි ඒ විශාල ජනකාය විශේෂ ගුණයකුත් පෙන්නුවා. අපේ මැයි රැලයට ආව කව්රුවත් බීලා නැටුවෙ නැහැ. මහාමාර්ග අපවිත්‍ර කලේ නැහැ. පාරෙ නිදාගෙන හිටියෙ නැහැ. අසභ්‍ය වචන කිව්වෙ නැහැ. විනයගරුක ගුණගරුක පිරිසක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ කියන එක අපි ඔප්පු කර පෙන්නුවා. අපේ, සටන්පාඨ අරමුණු සාර්ථක කරගන්න පුලුවන් කියන කාරණය මේ හරහා තහවුරු වෙලා තියෙනවා.

දේශපාලන ව්‍යාපාරයේ මතු කරන තර්ක මතවාද මේ තියෙන තත්ත්වයත් එක්ක ජයග්‍රහණය කරාගෙන යන්න පුලුවන් ද? ඉලක්ක ජයගන්න පුලුවන් ද?
අපි විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයි එක්සත් ජාතික පක්ෂයයි මාරුවෙන් මාරුවට රට පාලනය කරලා අවුරුදු හැත්තෑවයි. නමුත් ජනතාවට ලැබුණු කිසිවක් නැහැ. දැනුත් ජනතාවට යමක් ලා දෙන්න ඔවුන් අසමත් වී තිබෙනවා. එමනිසා අපේ රටෙ ජනතාවට දැන් විකල්පයක් තෝරා ගැනීමේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා. එමනිසා මේ වැටිච්ච නරා වළේ තවදුරටත් ඉන්නවද මෙයින් ගොඩ එනවද කියලා ජනතාව තීරණය කළ යුතු වෙනවා. අපිබඒ සඳහා නායකත්වය දෙන්න ලැහැස්තියි. එම තීන්දුව තියෙන්නෙ ජනතාවගෙ අතේ තයෙන්නෙ. නමුත් වෙනසක් කිරීම සඳහා මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණ සමඟ අතවැල් බැඳගන්න ප්‍රමාදය සහ වේගයවැඩි වෙලා තියෙනවා. ඉදිරි  මැතිවරණය කදී ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා ගැනීම සඳහා අපි විශ්වාසයෙන් වැඩ කරගෙන යනවා.

ශ්‍රි ලංකා එකේ මහින්ද පාර්ශවයයි මෛත්රී පාර්ශවයයි කරපු මැයිරැලි දෙක සහ ඊට එකතු වූ ජනකාය පිලිබඳව ඔයගොල්ලන්ගෙ විග්රහය මොනක්ද?
එක එක්කෙනා තම තමන්ගේ මැයි රැලිවල ප්‍රමානය අක්කර ගණන්වලින් කියනවා කිලෝමීටර ගණන්වලින් කියනවා. අපිට නම් ඒක අදාල නැහැ. මැජික් පෙන්වන්නෙ නැතිව සාමාන්‍ය විදිහට බැලුවානම් කව්රුත් දන්නවා තම තමන්ට ආව ප්‍රමාණ කොච්චර ද කියලා. හැබැයි ඔය ප්‍රමාණ ඉන්දැද්දිත් 2015 ද මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවණයෙන්, මහමැතිවරණයෙන් පැරදුණා. ඒ වගේම ඔය පක්ෂය අවුරුදු දහයක් රට විනාශ කලා මිසක් රට හැදුවෙ නැහැ. ඒ නිසා තමයි ජනතාවට පරද්දන්න වුනේ. එම නිසා මැයි දින රැලිවලට ගෙනාපු ජනතාවට අරක්කු බොන්න දීලා බත් පැකට් එක දීලා වාහනයට සල්ලි දීලා ගෙනාපු ජනතාව දිහා බලනකොට තමන්ගේ ජයග්‍රහණ තීන්දු කිරීම ප්‍රතිඵලදායක නැහැ. රට හදන්න පුලුවන් සමාජ වෙනසක්කරන්න පුලුවන් සෙනඟ ඉන්නෙ කොතැනද කියලා බැලිය යුතුයි. එවැනි පිරිසක් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ කියන එක මෙවර මැයි රැලියෙන් ඔප්පු වුනා.

මේ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය මොන වගේ වෙයිද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය ගැන දැනටමත් ජනතාවට දැනෙමින් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදීමක් තියෙනවා. එ නැවත සමඟි කරවන්න පුලුවන් මට්ටමක නෙවෙයි තියෙන්නෙ. එකට ඉන්නකොට දිනන්න බැරි වුනානම් දැන් දෙකට බෙදිලා දෙපැත්තකට ගිහිල්ලා දිනනවා කියලා හිතන්නපුලුවනකමක නහැ. අපට වැදගත් වෙනනෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය නෙවෙයි රටේ අනාගතය .

පසුගිය මැයි රැලිවලට වඩා මෙවර මැයි රැලිවලට විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා. එමගින් හෙළිවන දේශපාලන යථාර්ථය මොකක්ද?
එක පැත්තකින් ජනතාව දේශපාලනයට සංවේදී වෙනුන පටන් අරගෙන තියෙනවා. ආණ්ඩු විරෝධය වැඩි වලා තියෙනවා. එමනිසා ආණ්ඩුව තේරුම්ගත යුතුව තිබෙනවා එවැනි විරෝධයක් එල්ල වෙන්නෙ ඇයි කියලා. ආණ්ඩුවේ සම්පත් විකිණීමට එරෙහිව, ආණ්ඩුවේ හොරකම් වලට එරෙහිව, පොරොන්දු කඩ කිරීම්වලටඑරෙහිව,ජනතාව මත පටවන්න හදන මර්දනයට එරෙහිව සහ වංචා දූෂණවලට එරෙහිව පරීක්ෂණ පැත්තකට දාලා මේ ආණ්ඩුවත් වංචා දූෂණ පටන්ගෙන තිබෙනවා. ඒ සියලු දේවලට එරෙහිව නිර්මාණය වන ජනතා විරෝධයක් තියෙනවා. ඒ විරෝධය තමයි මෙවර මැයි රැලියෙනුත් පේන්න තිබුණෙ.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ

කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති රැස්වීමට ලක්ෂ දෙකකට අධික ජනතාවක් සහභාගි කරවන බව කිව්වත් එමඉලක්කයට යන්න නොහැකි වුනානේද?
මම හිතන්නෙ ලංකාවේ මීට පෙර මීට වඩා වැඩි සෙනඟක් රැස් කරලත් නැහැ. මේ වගේ ජනකායක් මින් ඉදිරියට කාටවත් ගෙන්නන්න පුලුවන් වෙයි කියලත් මම හිතන්නෙ නැහැ. අපි ගෙන්නන්න බලාපොරොත්තු වුන ප්රමාණයට වඩා තව තුන් ගුණයක් විතර වැඩි වුනා. සමහරු මහින්ද ජනාධිපතිතුමාට අභියෝගය කලාට එය බාර ගත්තෙ ජනතාව. මම හිතන්නෙ ඒකයි වුනේ.

මහනුවර ගැටඹේ පැවති මැයි රැලියට සහ පෙලපාලියට සහභාගී වෙන්න කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රි ලනිපය නියෝජනය කරන ඒකාබද්ධයේ සියලු මන්ත්‍රීවරුන්ට සංවිධායකවරුන්ට පක්ෂය කලින් නිල වශයෙන් ලිඛිතව ආරාධනා කර තිබියදී එම ලිඛිත ආරාධනය පසෙක දමා  ගැටඹේ මැයි රැලිය වර්ජනය කරමින ගෝල්ෆේස් රැලියට සහභාගී වීම තුලින් පක්ෂයේ විනය සහ ව්යවස්ථාව උල්ලංඝනය කලා නේද?
මම ශ්‍රි ලංකා එකේ නෙවෙයි මම පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වන නිසා මට ඔය ප්රශ්නයට උත්තර දෙන්න අමාරුයි. එම නිසා මට එයට උත්තර දෙන්න හැකියාවක් නැහැ.

ශ්‍රි  ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් ඔබලා මේ කරන්නට හදන්නෙ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්රය කියලා සමහරු චෝදනා කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නෙ?
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩලා නැහැ. ඒ සියලු දෙනාම පොදුජන පෙරමුණට ඇවිල්ලා  ඉවරයි.ජනවාරි අට වැනිදා යූ.එන්.පි සමඟ එකතු වෙලා ශ්රී  ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයේ අපේක්ෂකයා පැරැද්දුව කෙනානෙ දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අරගෙන තියෙන්නෙ. එහි සභාපති සහ ලේකම්වරයත් සන්ධාන අපේක්ෂකයාව පරද්දපු අය. එහෙම කරලා එක්සත් ජාතික පක්ෂය ට තව බලය දෙන්න දෙයක් නැහැ බලය දීලා තියෙන්නෙ.

ඔබලා මේ දෙන දක්වන ප්‍රතිවිරෝධයෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
අපි කාටවත් ඇටෑක් කරන්නෙ  නැහැ. ප්රජාතන්ත්රවාදී රටක් හැටියට අපිට සර්වජන ඡන්ද බලය ලැබුණේ  යුරෝපයේ සමහර රටවලට ලැාබන්න කලින්.අපි ඡන්දෙන් ආණ්ඩු පත් කරපු පෙරළපු රටක්. ප්‍රජාතන්ත්‍ර මහජන මතය ගරු කරමින් දේශපාලනය කරනවා.

විශේෂිත දේශපාලන අරමුණක් නැද්ද?
අපේ ජනතාවගේ බිඳ වැටී තිබෙන ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කිරීමයි අරමුණ වෙන්නෙ. එම අවශ්‍යතාවය යම් කිසි දේශපාලන පක්ෂයකින් නොකෙරෙන විටඅලුත් පක්ෂ බිහි වෙනවා. නොවැම්බර් මාසෙ පලමු වැනිදායි පොදුජන පෙරමුණ පිහිටෙව්වේ. එම පක්ෂයට හරියටම මාස හය පිරෙදදි තමයි මැයි රැලිය තිබුණෙ. මාස හයට මින්ස්සු පක්ෂයට මොන තරම් පිලිගැනීමක් ලබා දුන්නාද යන්න පැහැදිලියි.
ඒකාබද්ධ විපක්ෂය හැටියට රැස්වීම තිබ්බත් පක්ෂයක් හැටියට අපි ලොකු කාර්යභාරයක් කලා. පැමිණි ජනතාව නිසා ප්රබලතම දේශපාලන පක්ෂයක් ලෙස ඊට සම්බන්ධ වෙන්න අපිට පුලුවන් වුනා. අසම්මත වැඩ කරන අසම්මත ජීවිත ගත කරන පිරිසක් විසින් අසම්මත ආකාරයට මේ රට පාලනය කරනකොට සම්මත විදිහට ජීවත් වෙන ශ්‍රී ලාංකික ජනතාවක් සිටින රටක් මේක. ජනතාව ගැන අවධානය යාමු කරලා නිසි මාර්ගයට එන්න ආණ්ඩුවට පුලුවන්.  දේශපාලන පලිගැනීම් හමුදාවෙ පලිගැනීම් ජාතික සම්පත් විකිණීම් සෞඛ්යය, අධ්යාපනය වැනි දේ කප්පාදු කිරීම් ගොවි සහනාධාරය කප්පාදු කිරීම සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීම වැඩිහිටි දීමනාව කප්පාදු කිරීම කුඩා දරුවගෙ නිල ඇඳුම කප්පාදු කිරීම, උපදින්න ඉන්න ළමයගෙ පෝෂණ මල්ල කප්පාදු කිරීම වැනි නූපන් දරුවගෙ ඉඳලා මිය යන වැඩිහිටියා දක්වා කප්පාදු කිරීම් කරලා තියෙනවා. ඒවා  නිවැරදි  කරගන්න හොඳ කාලෙ.

පලාත් පාලන මැතිවරණය පැවැත්වුනොත් ඔබලාට වැඩි ආසන ගානක් ජයග්‍රහණය කරන්න පුලුවන් ද?
අපි හැම දෙයක්ම කරන්නෙ විශ්වාසයකින් තමයි. මුලින්ම ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිය ලබා දෙන්න. ජන්දය දිනා ගන්න පුලුවන්නම් දිනාගන්න. අපෙන් වරදක් නැහැ.

සෙනඟ පෙන්වීමෙන් පමණක් දේශපාලන ජයග්රහණ කරා යන්න පුලුවන් ද?
මැයි රැලියට පැමිණි සියලු ජනතාව අපිව අනුමත කරයි කියලා අපි කවදාවත් හිතන්නෙ නැහැ. අභියෝගයට ප්රරතිචාරයක් හැටියට තමයි වැඩි දෙනෙක් ආවෙ.  එම අභියෝගය බාර අරගෙන ඉෂ්ට කලා. එහි පණිවිඩය වටහාගෙන රජය කටයුතු කල යුතුයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top