Untitled 1

ගල් අඟුරු මාෆියාව ගැන සුරේන් බටගොඩ සියලු තොරතුරු හෙළි කරයි ! (වීඩියෝ )
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ගල් අඟුරු මිලදී ගැනීමේදී රජයට රු. බිලියන 4 ක පමණ පාඩුවක් සිදුව ඇති බවට පසුගිය කාලයේ වාර්තා වූ පුවත් හේතුවෙන් මේ විෂය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. විශේෂයෙන් ජනමාධ්‍ය, දුෂණ විරෝධී සංවිධාන හා දේශපාලකයන් අතර මේ සංවාදය පුළුල් විය. ලංකා ගල් අඟුරු සමාගමෙන් අමාත්‍යාංශයටත් අමාත්‍යාංශයෙන් ලංකා ගල් අඟුරු සමාගමටත් චෝදනා එල්ල විය. 
එතැන් පටන් පසුගිය සතියේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීම යන ආසන්නතම සිද්ධිය දක්වාම වරින් වර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ කතාබහ අලුත් වූයේය. එකී සෑම අවස්ථාවකම කතා නායකයා වූයේ අමාත්‍යාංශ ලේකම් අචාර්ය සුරේන් බටගොඩ මහතාය.
 
ඒක පාර්ශවීය චෝදනා පමණක් නොව ඊට ප්‍රතිඋත්තරද තිබේ. ඒ සියල්ල නිවැරදිව වාර්තාකිරීම මාධ්‍ය වගකීමක් ලෙස අපි සලකන බැවින් විදුලි බල හා බටගොඩ මාෆියාව ලෙස වර නැගුණු මේ චෝදනාවන් සම්බන්ධයෙන් ආචාර්ය සුරේන් බටගොඩ මහතා සමඟ සංවාදගත වූයෙමු.
 
2016 දෙසැම්බර් මස 30 වැනි දින විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිලිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත්කර තිබූ වාර්තාවේ නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගනිමින් එම අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමත් සමඟම ලංකා ගල් අඟුරු සමාගමෙන් පෙරළා එල්ලවූ චෝදනාව සුළුපටු නොවීය. ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් බිලියන 4 ක පාඩුවක් සිදුව ඇත්තේ අමාත්‍යංශයේ ක්‍රියාපටිපාටිය හේතුවෙන් බවට ඔවුන් දැඩිව චෝදනා නගන්නට විය. ලිඛිත සාක්ෂිද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින් එම වංචාව ගැන කරුණු පහදන්නට විය. 2009 වසරේ සිට 2016 වසර දක්වාම ලිහා ගැනීමට නොහැකි වූ මේ ගල් අඟුරු අන්දරය රට හොල්මන් කළේ දුෂණයට තිත තබන බව අවධාරණය කළ වත්මන් ආණ්ඩුවටද බරපතල චෝදනා එල්ල කරමිනි.
 
කෙසේ වෙතත් 2009 වසරේ සිට 2014 වසරේ පස්වන මිලදී ගැනීම දක්වාම ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක වී නැත.
 
ගල් අඟුරු ගණුදෙනුව වඩා උණුසුම් වන්නේ 6 වෙනි ප්‍රසම්පාදනයත් සමඟින්ය. 2014 සැප්තැම්බර් 04 වෙනි දින අමාත්‍ය මණ්ඩල උපදෙස් මත ලංකා ගල් අඟුරු සමාගම වසර 04 ක කාලයක් සඳහා වසරකට ගල් අඟුරු මෙ.ටො. 2,250,000 ක් මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා තිබුණි. පසුගිය වසර පහ තුළ තිබූ අවිධිමත්භාවය ඉවත් කර ගැනීම හය වන මිලදී ගැනීමේ තිබු ප්‍රධාන අභියෝගයයි. කෙසේ වෙතත් දිගින් දිගටම ටෙන්ඩර් ලිපිගොනුවේ පැවති දුර්වලතා හයවෙනි මිලදි ගැනීමේදීද පෙන්නුම් කර ඇත. වසර පහක් තුළ ලංකා ගල් අඟුරු සමාගමද එම වැරදි නිවැරදි කරගෙන නොතිබුණි.
 
 
"මෛත්‍රීලගේ සමහර ගණුදෙනුවලට ගිවිසුමක්වත් නැහැ"
 
"මට චෝදනා කරනවා විතරයි මගෙන් අහන්නේ නැහැ"
 
අවසාන වශයෙන් සැපයුම්කරුවන් හයදෙනෙකු මෙම ගණුදෙනුව සඳහා සුදුසුකම් ලබා තිබුණි. Nobel Resources, Suek AG, Trafigura, PTE, Adani Global, Swiss Singapore සහ Liberty Commodities යන සමාගම් එලෙස සුදුසුකම් සැපිරූ සමාගම්ය. අවසාන වශයෙන්  Swiss Singapore සමාගම අඩුම මිලක් ඉදිරිපත්කිරීම හේතුවෙන් එම සමාගමට ටෙන්ඩරය ලබාදීමට තාක්ෂණික ඇගයීම් කමිටුව තීරණය කර තිබේ. ලේකම්වරයා පවසන පරිදි තාක්ෂණික කමිටුව, ටෙන්ඩර් මණ්ඩලය, කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද එම ගණුදෙනුව අනුමත කර ඇත. පසුගිය වසර හයක පමණ කාලය තුළ ලබාදීමට නොහැකි වූ මේ ටෙන්ඩරය දැන් නිසි ක්‍රියාපටිපාටියක් යටතට පත්කර ඇති බව ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.
 
 
ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ කතාබහෙන් පසුව හදිසි අවස්ථාවන්හිදී විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වූයේ ලේකම්වරයාටය.පසුගිය කාලය පුරා පැවති  අවිධිමත් ක්‍රමවේදය බැහැර කරමින් විනිවිදභාවයකින් එකී සියළුම ගණුදෙනු සිදුවන තැනට අමාත්‍යාංශය පත්කළද ඒ සම්බන්ධයෙන් මහජනතාවට නිවැරදි පණිවිඩයක් ලබා දීමට සමාජ සංවිධාන මෙන්ම මාධ්‍යයද කටයුතු කර නොමැති බව පෙන්වාදුන්  බටගොඩ මහතා කියා සිටියේ රජය සතු,,ජනතාව සතු දේපළ විවිධ වුවමනා පදනම් කරගනිමින් හිත මිතුරන් අතර හුවමාරු වූ යුගය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් අවසන් කළ බවයි.
 
"තොරතුරු පනතෙන් ඇත්ත දැනගෙන කතා කරන්න"
 
"මෛත්‍රී ඒකාධිකාරය රකින්න හදද්දී මම ඒක බින්දා"
 
 
බටගොඩ මහතා පවසන පරිදි ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර ඇත්තේ වගකීම් විරහිතවය. ඇතැම් මිලදී ගැනීම් සඳහා ගිවිසුමක් හෝ තිබී නැත. මෙවන් තත්ත්වයක් හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ට හැකියාවක් තිබේ.
 
විශේෂයෙන් ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව තිබූ විවාදාත්මක තත්ත්වය සමඟ වගකීම් සහගත නිලධාරීන් වගකීම් සහගතව කටයුතු කර ඇත්ද ? ගල් අඟුරු අලෙවි කරන මහාපරිමාණ විදෙස් සමාගම් මඟින් වංචාවක් සිදුකර ඇත්නම් ඊට මෙරට බලධාරීන් ප්‍රතිඋත්තර සපයා ඇත්තේ කෙසේද ?
 
බටගොඩ මහතා මෙම කාරණය පැහැදිලි කළේ මෙපරිද්දෙනි.
 
 
"ලංකා ගල් අඟුරු සමාගම එකම ගෙවීමක්වත් හරියට කරලා නැහැ"
 
"හොරකම් නවත්වපු එකද වැරැද්ද ?"
 
මේ අතර සිදු කළ පරීක්ෂණයන්ට අනුව ලංකා ගල් අඟුරු සමාගම එකම ගණුදෙනුවක් හෝ නිවැරදිව සිදුකර නොමැති බවත් සියලුම ගෙවීම් අදාළ ප්‍රමාණයට වඩා වැඩියෙන් ගෙවා ඇති බවත් අනාවරණය වී ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.
 
 
මේ වන විට තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී ඇති හෙයින් ඕනෑම කෙනෙකුට නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව ලැබී ඇති බව පෙන්වා දුන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා කියා සිටියේ විදුලි බල අමාත්‍යාංශයේ මෙවන් විවාදාත්මක කාරණා පිළිබඳවද ඉන් ප්‍රයෝජනයක් ගතහැකි බවයි.
 
නිවැරදි තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේද සලසා තිබියදී අසත්‍ය කාරණා සමාජගත කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි හෙතෙම පෙරළා ප්‍රශ්න කරන්නේය.
 
 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top