1150 x 80 px

පොලිස්පති රාජ්‍ය සේවකයෙකුට පහර දී අදට මාසයයි. වගකිවයුත්තන් තාමත් නිහඬයි! පහර කෑ අයගේ සාක්ෂි සටහන මෙන්න!

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිසියට හඳුන්වා දුන් භාවනා වැඩසටහන මේ වන විට සමස්ථ පොලිසියේම රසවත්ම කතාවයි. කරන්න දහසක් වැඩ තිබියදී අඩුවකට තිබුන  භාවනාවද   දැන් පොලිසියට ලැබී  තිබේ. කොහොම නමුත් දැන් පොලිසියේ හැමෝම භාවනා කරති. තමන් මේ හඳුන්වා දුන් සිත පහන් කරන වැඩේ හරියටම කරනවාද නැද්ද කියා සොයා බැලීමට පොලිස්පතිතුමාම හතර වටේ කරක් ගසමින් හිඳියි. මේ අතරතුර පසුගිය මස 11 වැනි දින පුජිත් ජයසුන්දර මහතා පොලිස් මුලස්ථානයේ සංචාරයක නිරත වන්නේ හොරට භාවනා කරන ඇච්චෝ බැච්චෝ ටික අල්ලා ගැනීමටය.

අන්තිමට නතර වී තිබුණේ භාවනාව නාඩගමක් වෙමිනි.

පොලිස්පතිවරයාගේ අධික්ෂණය අතර තුර පොලිස් නිලධාරියෙක් නොවන රජයේ  සේවකයෙක් පොලිස්පතිවරයාගේ ගොදුර වී තිබුණි. ඒ පිළිබඳ අපි සවිස්තර වාර්තාවක් මිට පෙර ගෙන ආවෙමු.

පොලිස්පතිවරයා තමන්ගේ  සික්ස් පැක් වල තරම පෙන්වා තිබුණේ අහිංසක රාජ්‍ය සේවකයෙකුටය. රාජ්‍ය ඒකාබද්ධ සේවයෙන් පොලිස් මුලස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කර තිබුණු ඔහු සේවය කළේ විදුලි සෝපානය ක්‍රියාකරවන්නෙකු ලෙසය.

එදා, එනම් පසුගිය 11 වැනි දින පොලිස්පතිවරයාගේ අඩම්තේට්ටම් වලට හසු වූ ඔහුට මේ ලියන  මොහොත වන විටත් කිසිදු සාධාරණයක් ඉටු වී නැත. ඔහු සේවය කරන්නේ පොලිස් මුලස්ථානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. ඔහුගේ ප්‍රධානියා පොලිස්පතිවරයා  නොව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාය. පෙනෙන්නට ඇති පරිදි තමන් යටතේ සේවයේ නියුතු අයෙක්ගේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද කරන්නට දෙයක් නැති ගානය. නමුත් පොලීසියනේ කියා අපට මෙය පසෙකින් තැබිය නොහැකිය. කවුරු වුනත් මානව හිමිකම් වලට ගරු කළ යුතුය. මිනිසුන්ගේ අභිමානයට ගරු කළ යුතුය. සාධාරණය පිළිබඳ වන පොත් කළාට මදිය. එය ඉටුවිය  යුතුය.  ඒ නිසාවෙන්ම නැවත වරක් මේ පිළිබඳ  අපි කතා කරන්නට තීරණය කළෙමු. ඒ තනිව නොව පොලිස්පතිවරයාගේ සික්ස් පැක් වලට හසුවූ එම රාජ්‍ය  සේවකයාද සමඟය.

 

ඒ අනුව පහතින්  පළවන්නේ තාමත් සාධාරණය ඉටු නොවුණු ඔහුගේ සාක්ෂි සටහනය.

සම්පුර්ණ නම
අබේකෝන් මුදියන්සේලාගේ සමරකෝන් බණ්ඩා

ඔබ පොලිස් මුලස්ථානයේ සේවය කරන්නේ කුමන දෙපාර්තමේන්තුවේද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ

කොයි කාළේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පත් වීම භාර ගන්නේ?
2016 පෙබරවාරි මාසේ

ඔබේ ප්‍රධානියා?
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්මයා.

ඔබ පොලිස් නිලධාරියෙක් නොවෙයි.කොහොමද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පත්වෙන්නේ?
මම ඒකාබද්ධ රාජ්‍ය සේවයෙන් තමයි පත්වෙන්නේ.රාජ්‍ය සේවකයෙක් විදිහට මම අදාළ වෙන්නේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂවරයාට.

 

රාජ්‍ය සේවයට එන්නේ කොයි කාලේද ?
1986 දෙසැම්බර් 08 වැනිදා.

මුල්ම පත්වීම?
විගණකාධිපති දෙපාර්තමේන්තුවට.

විශ්‍රාම යන්නේ?
මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ.

අපි සිද්ධිය ගැන කතා කරමු. දිනය මතකද?
මතක විදිහට ගිය මාසේ 11 වැනිදා.

මොකද වුණේ?
මම වැඩ කරන්නේ ලිෆ්ට් එකේ. අපි දෙන්නෙක් තමයි ලිෆ්ට් එක ක්‍රියාකරවන්න ඉන්නේ. අපි දෙන්නා සුහදව මාරුවෙවී වැඩ කරනවා. එක ලිෆ්ට් එකක් තියෙනවා සර්ලට යන්න. එකේ වෙන අය යන්නේ නැහැ. අනිකෙ ඕන කෙනෙකුට යන්න පුළුවන්. බඩු  අදින්නෙත් ඒකේ. උදේ 8.30ට ජාතික ගීය යනව. ඊට පස්සේ පොලිස් ගිය යනවා. දැන් අලුතෙන් භාවනාවක් තියෙනවා.  මේවා ඉවරවෙනකම්  ලිෆ්ට් එක පහළට පාර්ක් කරන්න ඕනේ. මම ලිෆ්ට් එක පාර්ක් කරලා තිබුණේ. අනිත් ලිෆ්ට් එකත් පාර්ක් කරලා. ඔය අතරේ රාළහාමිලා දෙතුන් දෙනෙක් ආවා. මම කිව්වා ලිෆ්ට් එක පාර්ක් කරලා තියෙන්න යන්න බැහැ  කියලා. ඒ අය කිව්වා දැන් ඔක්කොම ඉවරයි කියලා. ඊට පස්සේ මම ලිෆ්ට් එකෙන් බැහැලා ඒ අයට යන්න දුන්නා. මම ඉතින් අපේ කාමරයට ගිහිල්ලා වතුර ටිකක් එහෙම බීලා ලිෆ්ට් එක භාර ගන්න හිටියේ. මේ අතරේ  පොලිස්පති තුමා යටිගිරියෙන් කෑ ගහගෙන එනවා. ඉස්සරහ කවුන්ටරේ හිටපු මිස්ටත් සැහෙන්න බැන්නා. එයා පොලිස් නිලධාරිනියක්. බැන්නා කියන්නේ, ඒවා අහගෙන ඉන්න බැහැ. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් කාන්තාවකට එහෙම බනින්නේ නැහැ. අරහෙට යනවා මෙහෙට යනවා. පිස්සුවෙන් වගේ බනිනවා. හැමෝම බයවෙලා හිටියේ. ඊළඟට මොනවා වෙයිද දන්නේ නැහැ. මිනිස්සු ගල් ගැහිලා.අපේ සර් ඇවිල්ලා හිටියෙත් නැහැ.

 

අපේ සර් කිව්වේ ?
DIG සර්.

ඊට පස්සේ?
මේ අතරේ අපේ ඇඩ්මින් OIC මැඩම්  ආවා. එයත් බයේ ටෙලිෆෝන් බොක්ස් එකට මුවාවෙලා හිටියේ පේන්නේ නැතිවෙන්න. මම මැඩම්ව දැක්කා. මැඩම් අතෙන් සංඥා කරලා කිව්වා සද්ද නැතිව ඉන්න කියලා. තව අපේ අමරදේව සර් එනවා ෆෝන් එකත් කනේ ගහගෙන. සද්දේ ඇහිලා සරුත්  මඟ ඇරලා ගියා. ඒ වෙද්දී 9ට පහක් වගේ තිබුණේ. මම ලිෆ්ට් එක භාර ගන්න ආවා. එතකොටම පොලිස්පතිතුමා ඇහුවා මොකාද මේකේ වැඩ කරන්නේ කියල. ඕක ඔටෝ වැඩකරන එක කියලා කියන්න ලැබුණේ  නැහැ,"පාත්  කරපිය" කිව්වා. ඒ පාර මම පාත්  කළා. මම දැන් ලිෆ්ට් එක ඇතුලේ. පොලිස්පතිතුමා එක පාර මගේ ෂර්ට් එකෙන්  ඇදල ගත්තේ. ඒ ගත්ත වේගෙට අපේ අයිඩේන්ටියේ පටියයි ,ෂර්ට් කරයි ,යට බැනියමයි ඔක්කොම අහුවුණා. බොත්තම් පවා ඉරුණා. පුදුම වේගෙකින් ඇදලා අරන් අනිත් අත ඉස්සුවේ ගහන්න. මට හිතාගන්න බැරි වුණා." මම තෝව මකබවනවා. මම තෝව තියන්නෑ" කියලා ඇත උස්සගෙන අවේ. "ඔහොම හිටපිය" කියලා බනිනවා ඉවරයක් නැහැ. ආයෙත් අර මිස්ට බනිනවා. අපිට බැනල  උඩට ගියා. ආරංචි වුණේ උඩදිත්  හොද පිස්සුවක් නැටුවා කියලා.එනගමන් ආපහු "උඹ ගෙදර යන්න ලෑස්තිවෙලා හිටපන්. මන් දන්නවා තොට  කරන්න දේ" කියල මට අපහු බැනල ලිෆ්ට් එකේ අනිත් කෙනාටත් බැනල යන්න ගියා. භාවනා කරන්නේ නැහැ කියලා පිස්සුවෙන් වගේ හතර වටේට බනිනවා.

සමරකෝන් ඊට පස්සේ මොකද කළේ ?
මට මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. මම මානසිකව බොහොම වැටුණා. රජය සේවයේ මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නැහැ. එදා පොලිස්පතිතුමා මට බැනල ගහන්න පන්නෙත් කිසිම හේතුවක් නැතුව. ලබන ඔක්තෝම්බර් මාසේ මම විශ්‍රාම යනවා. ඒත් මේ සිද්ධියත් එක්ක මට හිතේ සතුටින් විශ්‍රාම යන්න බැරිවෙනවා. අදටත් මම මානසිකව වැටිලා වැඩ කරන්නේ. ඒ වගේම බයයි.

එදා DIG මහත්මයා වැඩට ආවේ නැද්ද?
ආවා. සර් එන්න කලින් තමයි සිද්ධිය වුණේ .

මේ ගැන DIG මහත්මයට පැමිණිල්ලක් කළාද?
සර් ඔෆිස් එකට එද්දී සිද්ධිය ආරංචි වෙලා තිබුණේ. මොකද වුණේ කියලා ඇහුවා. මම සර්ට පැමිණිල්ල කළා.

මොකද සර් කිව්වේ?
මොනවද සමරකෝන් කරන්න හිතන්නේ කියලා ඇහුවා.

ඔබ මොකද්ද දීපු උත්තරය?

මම මොනවත් කීවේ  නැහැ. මම වෙච්ච සිද්ධිය කිව්වේ.

පැමිණිල්ල විභාගයට ගත්තද?
නැහැ.

ඔබ ඒ ගැන නැවත ඇහුවේ නැද්ද?
 නැහැ.මම ඉතින් මුලින් වුණ දේ කිව්වනේ.එක සර්ලගෙ වැඩක්නේ.

ඔබට පසුව යම් යම් අපහසුතාවන්ට මුහුණ දෙන්න වුනාද?
මාධ්‍ය වල ගිය නිසා මේක හැම තැනම ප්‍රසිද්ධ වුණා. දකින දකින අය මගෙන් සිද්ධිය ගැන අහන්න ගත්තා. මෙතන CID ඔෆිස් එක නිසා යන එන අය හොයන්න බැහැනේ. මේක මට කරදරයක් වුණ නිසා අපේ සර්ලා කතා කරලා මාව පුස්තකාලයට දැම්මා. මම දැන් වැඩ කරන්නේ පුස්තකාලයේ.

කාගෙන්වත් බලපෑමක් ආවේ නැද්ද?
නැහැ.

පොලිස්පතිතුමා නැවත කතා කළෙත් නැද්ද?
නැහැ.

ඔබ රාජ්‍ය සේවකයෙක්. මේ වගේ සිද්ධියකදී වෘත්තීය සමිති බොහොම සක්‍රීයව මැදිහත් වෙන බව අපි දැකලා තියෙනවා. නමුත් ඔබ මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක්වත් කතාකරනවා අපි දැක්කේ නැහැ.?
මම කිසිම වෘත්තීය සමිතියක නැහැ.මගේ පාඩුවේ වැඩකරගෙන හිටියේ. මට මෙච්චර කාලෙකට රස්සාවේ ප්‍රශ්නයක් අවේ නැහැ. හිටපු හැම තැනම හොඳට වැඩ කළා. CID ඔෆිස් එකෙත් මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නිකරුණේ තමයි පොලිස්පතිතුමා බැන්නේ.

එදා භාවනා කළේ නැද්ද?
දැන් හැමදාම භාවනා කරන්න ඕනේ. පොලිස් නිලධාරීන් විතරක් නෙවෙයි අපි හැමෝම භාවනා කරන්න ඕනේ. දන්න විදිහට එදා බැනගෙන ඇවිත් තිබුණේ භාවනා කරනවද නැද්ද කියලා බලාගෙන එන ගමන්.

මේ රටේ පොලිස්පතිවරයාගේ (ඔහු සිතා සිටින පරිදි ) මනා  හැසිරීමයි. සිය තනතුරේ අභිමානයද තුට්ටුවට දමමින් සෙසු සේවකයන්ගේ මානව හිමිකම්ද තඹ සතයකට මායිම් නොකරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් ඔහු විරාජමාන වෙන්නට උත්සහ කරමින් හිඳියි.රටේ පොලිස්පතිවරයා  මෙසේ නම් සෙස්සන් ගැන කතා කිරීම විහිළුවක් විය හැකිය. පුජිත් ජයසුන්දර මහතාගේ හතර පැත්තෙන් බේරෙන බෞද්ධකම බලහත්කාරයෙන් අනෙකා  මත පැටවීම යුක්තිගරුක නැත. එහි කිසිදු සාධාරණත්වයක්ද නැත. තමන්ට කැමති ආගමක් ඇදහීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ආරක්ෂා කර තිබේ. ඒ අනුව පොලිස්පතිවරයාගේ හැසිරීම   ව්‍යවස්ථාවටද පටහැනිය. එහෙත් මේ හයිරම් පාට් පාලනය කිරීමටද කිසිවෙකුටත් හැකිවී නැත. අඩුම තරමේ සමරකෝන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පවා අද නිහඬව සිටීම මහත් කනගාටුදායක තත්ත්වයකි. මෙහෙවූ රටක හෙට දවසෙත් මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම  අරුමයක් නොවන වගද සටහන් කළ යුතුය.

 

 - ආශිකා බ්‍රාහ්මණ -

සැයු
මෙම පහර දෙන අවස්ථාවේ අදාළ  සීසීටීවී දර්ශණ ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින්  ඉල්ලා තිබේ. එසේ ඉල්ලා දින 14 ක් ගතවී තිබියදීත් තවමත් අදාළ බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

සබැඳි සටහන්

පොලිස්පතිට එරෙහිව සුළු සේවකයකුගෙන් අයිතිවාසිකම් පෙත්සමක් !

පොලිස්පතිගේ කෝඩ්නේම් 2553 අප්සෙට් යයි!

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top