1150 x 80 px

සිංහල බෞද්ධ කියන එකම වැරදියි.  අපි ජනමතවිචාරණයකට යනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ෂුවර් - රාජිත සේනාරත්න

 දේශපාලනික වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාව අද හිදින්නේ සුවිශේෂී තැනකය. වට රවුම් ගසා මේ  මොහොතක් නතර වී බලාගෙන හිදින කාලයකි. බොහෝ දේ සිදු වුණි.සිදුවෙමින් තිබේ. සිදු වන්නට නියමිතව ඇත.  සිදුවෙමින් තිබෙන දෑත් සිදුවන්නට නියමිත දෑත් රටේ අනාගතයේ දිශාව තීරණය කරනු ඇත. එහෙයින් මේ, නිවැරදි තීන්දු අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක කළ යුතු මොහොතකි.  ඊට දේශපාලන පිටිය සුදානම්ද? ඊට ජනතාව සුදානම් කිරීමට දේශපාලන පිටිය අවංක මැදිහත් වීමක් කරමින් හිදින්නේද? නැත්නම්,ජනවාරි 08 වෙනසත්  පුස්සක්ද?

රාජපක්ෂ පාලනය පරාජයට පත්කර යහපාලනය ස්ථාපනය කිරීම සඳහා මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව ගොඩනගමින් මෙරට සාම්ප්‍රදායික දේශපාලන වංශ කතාවේ පරිච්ජේදයක් වෙනස් කළ දේශපාලකයෙක් ලෙස වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය දේශපාලන ප්‍රතිරූපය සමාජගතකරමින් හිඳියි. මේ කියවා ගැනීම් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වන්නකි. කෙසේ නමුත් අද දවස වන විට දේශපාලන පිටියෙහි "චරිතයක්" වීමට සේනාරත්න මහතාට හැකිවී තිබේ. ඒ ,හොඳට නරකට දෙකට කටමය කියන කියමන අරුත් ගන්වමිනි.

මේ  සියළු කාරණා සමඟින් එදා ජනවාරි 08 වෙනසේ ඉදිරියෙන් හිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ අපි සම්මුඛ වූයෙමු.

පසුගිය මැයි දිනය  උතුරේ සහෝදරත්වය සමඟ ඒ භූමියේදීම ඔවුනොවුන් හමුවීමට නිමිත්තක් වී තිබුණි. ඇතැමෙක්ට මෙය දේශපාලන විජ්ජාවක් විය හැකිය. දකුණ තුළ ජන්ද පදනම තවතවත් ශක්තිමත් කර ගැනීමට හැකියාව තිබියදීත් උතුර විශේෂයක් කර ගැනීම සැබෑ ලෙසම කෙනෙකුට දේශපාලන විජ්ජාවකි. ගැටයකි. උතුර දකුණ දෙකම ඇන්දවීමකි. ප්‍රගතිශීලි වෙස්මුහුණ පැළඳ සේනාරත්න මහතාත් එදා ගසා බැලුවේ දේශපාලන ගැටයක්ද?

නමුත් මෙරට දේශපාලනය තුළ මේ එක්ව කටයුතු කිරීම ගැන අවංක සංවාදයක් තිබුණේද? තිබේද? ජනතාවට හිමි  අයිතිවාසිකම් ලබා දීම පිළිබඳව කෙස් පැලෙන තර්ක ඇසුවද එය යතාර්ථයක් කර ඇත්ද  යන්න ඇත්තේ ගැටලුවකි.
 

"අපි ආපු වැඩේ මුලින්ම කළ යුතුයි."



උතුරට අයිතිවාසිකම් දීම කෙනෙකුට ත්‍රස්තවාදය පරාජය කර ලබා ගත් නිදහස බන්දේසියක බහා නැවත හරවා යැවීමකි. ඒ ප්‍රශ්න කිරීම එකවර බැහැර කළ නොහැක්කකි. ත්‍රස්තවාදයේ පීඩාව තමන්ගේම අත්දැකීමක් ලෙස විදි අයෙක්ට ඒ සාධාරණ ප්‍රශ්න කිරීම කළ හැක්කකි. ඒ ඔහුට හෝ ඇයට එහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් නොව ප්‍රියයන් වෙන්වීමේ කම්පාවයි.අනෙක් පසින් රණවිරුවන් පාවා දීමකි.

 "කිසිම ජාතිවාදයකට,ආගම්වාදයකට ආ වැඩිය යුතු නැහැ.
"දකුණේ සිට උතුරේ අරගලය සඳහා සාධාරණ සහයක් දුන්නා."

ජාතිය සහ ආගම අද මේ භූමිය වෙලා හිදිනා ප්‍රධාන කාරණා ද්විත්වයකි. ජාතිය සහ ආගම විසින් වර නැගෙන දේශප්‍රේමය හුදු ව්‍යාජ විරෝධයන් ගොඩනගමින් සිටින බව අමාත්‍යවරයා  පවසයි. ආගම,ජාතිය සහ දර්ශනය වෙන්කර හඳුනා ගත නොහැකි තත්ත්වයකට අද බොහෝ දෙනා පත්ව ඇති බව අවධාරණය කරන සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනයේ හරයද නිවැරදිව වටහා ගෙන නොමැති බවයි.

ෆෙඩරල් කියූ සැණින් සිහියට නැගෙන්නේ රට බෙදීමකි. අපේ භාෂාවෙන් කිව්වොත් රට කොටියාට දීමකි. එහෙත් එක පසෙකින් බලය බෙදීමක් කළ යුතු බවටත් අනෙක් පසින් ඊට එරෙහිවත් බලවේග නැගී සිටිමින් හිදිති.

සේනාරත්න ඇමතිවරයාට අනුව "ෆෙඩරල්" රටක් දියුණු වීමට බලපාන ප්‍රධාන සාධකයකි.

"සිංහල බෞද්ධ කියන එකම වැරදියි."
"අපි ජනමතවිචාරණයකට යනවා.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ෂුවර්."

 "මට මොහොමඩ් කියලත් කිව්වා."

ෆෙඩරල් ක්‍රමය මඟින් රට බෙදන බව පවසන්නේ හරියට විද්‍යාව තිබියදී එය බැහැර කරමින් අවිද්‍යාව වැළඳ ගැනීමක් බව හෙතෙම අවධාරණය කරයි. කුමන බාධක පැමිණියද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද ඉදිරිපත් කරන අතර ජනමතවිචාරණයක් පැවැත්වීමටද සුදානම් බව රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

"විද්‍යාව තියෙද්දී අවිද්‍යාව වපුරනවා."
"මේක කළේ රාජපක්ෂලා කැලබෙන්න."

විශේෂයෙන් පසුගිය පාලන සමයේ සිටි හොරුන්ව අල්ලා ගැනීම ගැන කතා බහ ඇතිවූයේ රාජපක්ෂ පාලනය බිඳ  වැටීමටත් ප්‍රථමය. එහෙත් මේ වන විට රජ හොරු 32කගේ චෝදනා සහිත ලිපිගොණු නීතිපති දෙපාර්තමේන්තුවේ හමස් පෙට්ටියට යමින් තිබේ. මේ යහපාලන පොරොන්දු කඩ කිරීමක් මිස ඉටුකිරීමක් නොවේ. මේ පෙන්නුම් කරමින් හිදින්නේ නැවත වටයකින් ඩීල් දේශපාලනයේ සෙවනැළිද ?

"තමන් දරන මතය නිවැරදිව ප්‍රකාශ කිරීම වැදගත්."
 "සුදු වෑන් කියන්නේ දේශපාලන මෝඩයන්ගේ කතා."

පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් වඩා උණුසුම් වූයේ සරත් ෆොන්සේකා මහතා

කතා නායකයා වීමෙනි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා (මර්දනය කිරීම සඳහා) සරත් ෆොන්සේකා මහතාගේ නව ආගමනය සිදු වන බවට අදහස් පළ විණි. ආණ්ඩුවේම කැබිනට අමාත්‍යවරයෙකු (මහින්ද සමරසිංහ ) මහතා මාධ්‍ය හමුවක්ද පවත්වමින් පැවසුවේ සේනාරත්න මහතාගේ සරත් ෆොන්සේකා  නව ආගමනය පිලිබඳ කතාව මුසාවක් බවයි. ඇතැමෙකුට එය ජනාධිපතිවරයා කළ විහිළුවකි.

කෙසේ වෙතත් අදත් එදා මෙන් රාජිත සේනාරත්න මහතා සිය ප්‍රකාශයේ වලංගු භාවය තහවුරු කරමින් හිදියි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් බවත් එදා පැවති  සුදු වෑන් සංස්කෘතිය වෙනත් වටයකින් ගෙන ඒමක් බවටත් බොහෝදෙනා සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top