1150 x 80 px

හොරෙක් වුනත් කමක් නැහැ ජාතිවාදියෙක් නොවෙයි නම්!
 
මතුවෙමින් පවතින ජාතිවාදී,ආගම්වාදී ප්‍රවාහයන් පරාජය කිරීමට නීති සම්පාදනයට  හෝ පසුබට නොවන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට්ටුව අවධාරණය කර ඇති මොහොතක එදා පටන් සිය දේශපාලන මතවාදය ජාතිවාදයෙන් ආගම්වාදයෙන් කිලිටි නොකරගත්තෙක් සමඟ අපි සම්මුඛ වූයෙමු. ඔහු නමින්  නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය.
 
එක් කඳවුරක්, රටක හෙට දවස පසෙක තබා දේශපාලන බල වුවමනා වෙනුවෙන් ජාතිවාදී,ආගම්වාදී මතවාදයන් පෝෂණය කරමින් සිටියදී තවත් කඳවුරක් මිනිසුන් ගැන කතා කරමින් හිඳියි.මනුෂ්‍ය ජාතිය මේ බිමෙහි රෝපණය කරන්නට වෙහෙසෙයි.
 
සහජීවනය,සංහිඳියාව ගැන වූ සංවාදයක් අභියස සිටින රටක් කිසිලෙසකින්වත් ඉන් ඈත්ව අන්තවාදයකට යා  යුතු නොවෙයි. මේ බිමේ ගෙවෙන  අද දවසට වඩා උදා වන  හෙට දවස  හොඳ දවසක් නොවන නිසාම තවදුරටත් කිසිදු අන්තවාදයකට හිස එසවීමට හිස් තැනක් තැබිය යුතු නොවෙයි.
 
මේ, ඒ වෙනුවෙන්  වන මැදිහත්වීමකි.
 
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දෙන අන්දමට ජාතික ගැටලුව නිවැරදිව විසඳා  නොගන්නා තෙක් ආර්ථික සංවර්ධනය නමැති කාරණයද මුලාවකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් න්ප්මති සමාජයක ඒ කිසිඳු සංවර්ධනයක් පැවැත්මක් නැත. එහෙයින් දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් කළ යුත්තේ ජාතික ගැටළුව විසඳා ගැනීමය. පවතින දේශපාලන ස්වභාවය අනුව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන්  හොරෙක් වුවත් කම් නැත ජාතිවාදී නොවන. 
 
 
 
 ජාතිවාදීන්ගේ පහර දීම්වල පෞද්ගලික අත්දැකීම් ඇති වික්‍රමබාහු කරුණාරත්න මහතා රජය මේ මොහොතේ ගත යුතු ස්ථාවරය පිළිබඳ කතාකරමින් සඳහන් කළේ සෘජු ප්‍රතිපත්තියක පිහිටා තීන්දු තීරණ ගත යුතු බවයි. දෙමළාටත්,මුසල්මානුවාටත්  වලංගු නීතිය සිංහලයා හමුවේද එලෙසම ක්‍රියාත්මකවිය යුතුය. ඇතැම් නීතිමය තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවුණත් ජාතිවාදී,ආගම්වාදී බලවේග පරාජය කිරීමට නීතිය ක්‍රියාත්මක කළ යුතු නම් එය එලෙස ක්‍රියාවේ යෙදිය යුතු බවයි ඔහු කියා සිටියේ.
 
 
 "බොදුබල සේනා සංවිධානයට ජාත්‍යන්තර සහය ඇති බව කිව්වේ තිස්ස විතාරණ. ඉතින් මේ බලවේග ක්‍රියාත්මක වෙන්නේ කාගේ වුවමනාවටද කියලා පැහැදිලියි. මේ අන්තවාදයන් පරාජය කිරීමට සිවිල් සමාජයෙනුත් ලොකු සහයක් අවශ්‍යයි."
 
 
 ආණ්ඩුවක් කියන්නේ බලය තියෙන තැනක්. බලය තියාගෙන මෙවැනි අන්තවාදයන් පරාජය කිරීමට මෙතරම් ප්‍රමාද වෙන්නේ ඇයි කියල ප්‍රශ්නයක් නගන්න පුළුවන්. මොකද දැන් පහුගිය කාලේ පැවති  ව්‍යවස්ථා උණුසුමත් තිබුණ තැනින් පහළට වැටිලා. ජනවාරි 08 අන්තවාදයන්ට එරෙහිව ජනතාව එක පෙළට සිට ගත්තා. නමුත් දැන් මොකද මේ වෙන්නේ?
 
 
 "බලය බෙදීමකට ගිහින් මේ ජාතික ප්‍රශ්නය විසඳගමු කියන ප්‍රබුද්ධ මතවාදය රටේ නැතිව නොවෙයි. මේ කතාව ගොඩක් අයට මවලා තියෙන්නේ බිල්ලෙක්. රට දෙකට තුනට කඩනවා කියලා. මේ ගැන අදටත් සමාජයට හරි දැනුමක් අවබෝධයක් නැහැ. "
මේ කාරණය ගැන අදහස් දක්වමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරන්නේ අපේ සමාජය මැදිව සිටින්නේ සංවිධානාත්මක කඩාකප්පල් කිරීමේ ව්‍යාපෘතියකට  බවය. ජාති හිතෛෂී කඩතුරාවෙන් වසා  ඇති ඇත්ත දේශපාලන බල වුවමනාවන් වටහා  ගැනීම සියල්ලට ප්‍රථමයෙන් කළ යුතු වෙයි.
 
 
 ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන  

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top