Untitled 1

පෙට්‍රල් බෝම්බ වෙනුවට ගහ කොළට ආදරය කරන වෙදැදුරු යතිවරයාණෝ !
මේ මොහොතේ භික්ෂුන් වහන්සේලා පිළිබඳ කතා කිරීමත් ටිකක් ප්‍රවේශමෙන් කළ යුතු දෙයක් බවට පත්වෙලා. ආගමට මුවාවෙමින් අද ඇතැම් භික්ෂුන් වහන්සේලා හැසිරෙන්නේ බොහොම කණගාටුදායක අන්දමින්. කාගේ කුමන හෝ වුවමනාවකට ජාතිවාදය ආගම්වාදය මේ පොළවේ වපුරන්න නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙන්නේ. මේ භික්ෂූන් වහන්සේලා විතරක් නෙවෙයි අන්තවාදී කොයි කවුරුත් සමාජගත කරන්නේ හොඳ දේවල් නම් නෙවෙයි. ඉතින් මෙවැනි අත්දැකීම්වලට බුද්ධිමත්ව මුහුණ දියයුතුයි. 
ඉතිහාසයේ අභාග්‍යසම්පන්න අත්දැකීම් තිබෙන මිනිසුන් වෙසෙන රටක් විදිහට නැවත එවන් අඳුරු කාලයකට අනාගතය ගෙන යන්න වුවමනාවක් නැහැ. මෙවන් විවේචනාත්මක කාලයක අපිට මුණගැහුණා තවත් භික්ෂුන් වහන්සේ නමක්. තමන්ගේ වටපිටාව ගැන බොහොම වෙනස් විදිහට උන්වහන්සේ හිතන්නේ කියලා හිතුන නිසාත් එය අත්දුටුව නිසාත් ඒ ගැන සටහනක් තබන්න ඕනේ කියලා හිතුණා.
 
බලයට,මුදලට මුවාවෙමින් නොකරන දෙයක් නොමැති මේ වගේ සමාජයක උන් වහන්සේ හැමෝටම ආදර්ශයක්. පාඩමක්. ගහ කොල සතා සිවුපාවා එක්ක ගෙවෙන ඒ ජීවිතය අනාගත පරම්පාරාවට බොහොම වැදගත් පාඩමක්.
 
rahula himi 1මේ,වීරකැටිය,කුඩාබුබුල  ශ්‍රී බෝධිරුක්ඛාරාමවාසී  වෑකදවල රාහුල හිමි
 
මුලින්ම මෙහෙම ඇහුවොත් , ඔබ වහන්සේ පරිසරයට ආදරය කරන්න පටන් ගන්නේ කොහොමද?
 
පුංචි කාලේ ඉඳලම මම පරිසරයට කැමති කෙනෙක්. නමුත් පාසල් අධ්‍යාපනයේදී වත් පිරිවෙන් අධ්‍යාපනයේදීවත් ඒ උනන්දුව වර්ධනය කරන්න අධ්‍යාපනයක් තිබුණේ නැහැ. එ්ත් මගේ උනන්න්දුව, ආශාව, කුතුහලය අඩු වුණේ නැහැ. මගේ තිබුණ උනන්දුව නිසාම මම තනියම වැඩ කරන්න පටන් ගත්තා. මෙතැනදී අත්දැකීම් ලැබුවා. පරිසරවේදීන් මුණගැහෙන්න හැකි වුණා. මෙහෙම ඉන්න කාලේ තමයි මට දැනගන්න ලැබෙන්නේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මඟින් පරිසර සංරක්ෂණය හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිලිබඳ පාඨමාලාව ගැන. මම ඒක හොයාගෙන යනවා. එහෙම හොයාගෙන යන්න හේතුව තමයි එතෙක් මට හමුවුණ පරිසරවේදීන්ට වුවමනාවක් තිබුණේ නැහැ මිනිස්සුන්ට පරිසරය ගැන අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියන කරණය ගැන. එතැනදී තමයි ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් හමුවෙන්නේ. ඒ පාඨමාලාව ඇත්තටම මගේ ගමනට ලොකු පිටුවහලක් වුණා, පරිසර ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න දැනුම සහිතව. වෙනත් බොහොමයක් පාඨමාලා වගේ නෙවෙයි අපෙන් සත පහක් වත් අය කළේ නැහැ. ඒ පාඨමාලාවේ ස්වභාවය නිසාම මටත් උනන්නදුව වැඩිවුණා පරිසරය ගැන දැනුම දෙන්න තැනක් හදන එක ගැන.
 
තනිවම ගහ කොළ සතා සිවුපාවා එක්ක ගැටෙන කාලේ අත්දැකීම් ගැන කතා කළොත් ?
 
ඇත්තටම මුලින්ම කරපු දේ තමයි මම වැඩවාසය කරන විහාරස්ථානය කුඩාබුබුල පන්සල. මේ කුඩාබුබුල ගමේ තියෙනවා උල්පත් ගණනාවක්. මට මුලින්ම දැනුන දේ තමයි පන්සල හදන්න කලින් ගමේ තියෙන මේ සම්පත් සංරක්ෂණය කෙරෙන්න ඕනේ කියන කාරණය. අපේ දහම් පාසල, තරුණ ප්‍රජාව, වැඩිහිටියෝ මේ කියන අය එකතු කරගෙන අපි බුබුල් වනාන්තරය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළා. රුක් රෝපණ කටයුතු ඒ ආශ්‍රිත පොලිතින් ඉවත් කිරීමේ කටයුතු මේ වගේ පුංචි වැඩ වලින් අපි පටන් ගත්තේ.  හැබැයි අපිට පැල ගන්න විදිහක් තිබුණේ  නැහැ.  නමුත් කොස් ගහක් යටට ගියහම වැටුණු ඇට වලින් පැල  වුණු ගස් ඕන තරම තිබුණා. අපිම එකතු වෙලා පැල තවානක් හැදුවා.  ඊට පස්සේ වනාන්තරේ පැල හිටවන්න පටන් ගත්තා. අපි මෙහෙම වැඩ කරගෙන යද්දී විවිධ අය පැමිණුනා මතකයි.  මේ ආපු බොහෝ දෙනෙකුට අපිට දැනුම දෙන්න අවශ්‍යතාව තිබුණේ නැහැ . හැබැයි ව්‍යාපෘතියකට මේක එකතු කරගන්න ඔවුන් බොහොම උනන්දු වුණා මේ ස්ථානය සහ එකතුවෙලා ඉන්න පිරිස දිහා බැලුවහම. මම අත්වින්ද දේ තමයි මේ කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නැහැ අපිව දැනුමෙන්  පෝෂණය කරන්න.
 
ඒ කාලය වෙනකොට ප්‍රදේශයේ හදුනා ගෙන තිබුණ පාරිසරික ගැටළු මොනවාද?
 
rahula himi 2අපි තේරුම් ගත්ත දෙයක් තමයි ඒ ප්‍රදේශයේත් වනාන්තර විනාශය නිසා මිනිස්සු විශාල ගැටළු තොගයකට මුහුණ දීලා තියෙනවා.  එකක්  තමයි වඳුරා, දඬු ලේනා, මොණරා  මේ වගේ සත්තු ගම්මාන වලට ඇවිත් පාරිසරික ගැටළු මතු කරලා තිබුණේ. අපිට මහා පරිසර දැනුමක නොතිබුන කාලේත්  සත්තු ගම්වලට ආවේ ඇයි කියල අපි කල්පනා කළා .මේ සත්තු හිටියේ ගෝනදෙණිය වගේ කඳුකර වනාන්තර වල. අපි තිරණය කළා නැවත වනාන්තරය වවන්න ඕනේ කියලා. ඉතින් ගමේ සීමාවෙනුත් එහාට ගිහින් අපි වැඩ කරන්න පටන් ගත්තා.  මේ කාලය තුළ අපි බොහෝ දේ ඉගෙන ගත්තා.  රටේ පරිසර සංවිධාන ක්‍රියා කරන්නේ කොහොමද,පරිසරවේදීන්ගේ ස්වභාවය වගේ දේවල් ගැන අත්දැකීම් ලැබුවා. මේ වගේ තත්ත්වයක් තුළ අපි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හා බැඳෙන්නේ වෙනත් පරිසර සංවිධාන හා පරිසරවේදීන් ළඟ නොතිබුණ සැබෑ වුවමනාව සමඟ බැඳුණු කාරණා නිසා.
 
පරිසරවේදීන්, පරිසර සංගම් ගැන ඔබවහන්සේ බොහොම විවේචනාත්මකව කතාකරන්නේ ?
 
පරිසරය පිළිබඳ ජාතික වශයෙන් මැදිහත් වීමට පෙර අපි වැඩ කරන සමයේ ලබපු අත්දැකීම් තහවුරු වෙන්න පටන් ගත්තේ අපි ජාතික තලයේ පරිසර ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පටන් ගත්තට පස්සේ.  කණගාටුව තමයි අද බොහොමයක් පරිසර සංවිධාන, පරිසරවේදීන් තමන්ගේ පෞද්ගලික වුවනාවක් හෝ සංවිධානයේ  මුදල් අවශ්‍යතාවක්  කියන තැනට  ලඝු වෙලා.  ඒ නිසා මේ වෙද්දී කිසිම පරිසර සංවිධානයක මම දකලා නැහැ මිනිස්සුන්ට උගන්නලා මිනිස්සු බලාත්මක කරලා රටේ පාරිසරික වෙනස්කමක් කරන්න මැදිහත් වෙනවා.  ඒ නිසා හැම පරිසරයකම දැන් මිලක් ඇති තැනක් බවට පත්කරගෙන ඉන්නවා.  නමුත් පරිසර හිතකාමී තත්ත්වයක් ගොඩනගන්නට නම්  ඒ  සඳහා දැනුම අවශ්‍යයි.  ඒ අධ්‍යාපනය ලබා දෙන වැඩේ හැර වෙනත්  බොහෝ දේ  නම් පරිසර සංවිධාන වලින් කෙරෙනවා.
 
අපි මොනතරම් පරිසරය ගැන කතා කළත් අද දවස ගෙවිලා හෙට දවස උදා වෙද්දී පරිසරයට තව දුරටත් හානියක් මිස යහපතක් වෙන සෙයක් පෙනෙන්න නැහැ. ඇයි මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ?
 
මුලින්ම කියන්න ඕනේ පරිසරය, ප්‍රශ්නයක් නෙවෙයි. පරිසර ප්‍රශ්නය පිළිඹිබු කරන්නේ අද දවසේ අපේ ආර්ථික දේශපාලන ස්වභාවයෙන්. මේ තත්ත්වය විසින් පරිසර සම්පත් ක්ෂය කර දමන තැනට පත්වෙලා.  දීර්ඝ කාලයක් පරිසරය මේ විනාශයට මුහුණ දමින් ඉන්නේ.  උදාහරණයක්  විදිහට මධ්‍ය කඳුකරය ගත්තොත් මේ රටේ හදවත් තමයි මාධ්‍ය කඳුකරය.  දේශගුණයට,ජෛව විවිධත්වයට,මේ හැම දෙකටම බලපාන්නේ මාධ්‍ය කඳුකරය.  නමුත් ආර්ථික දේශපාලන බලපෑම විසින් මධ්‍ය කඳුකරය අද අසමත් වෙලා  තියෙනවා අහසින් වැටෙන ජලධාරවන් ගබඩා කර තබා ගැනීමට.  මේ වෙද්දී මධ්‍යම  කඳුකරය ඇතුළු රැකිය යුතු ආරක්ෂා කරගත   යුතු සංවේදී පරිසර පද්ධති මහා බරපතල විදිහට විනාශයට යමින් තියෙන්නේ. උදාහරණයක් විදිහට මධ්‍යම කඳුකරයේ විතරක් අපිට දැකගන්න පුළුවන් කුඩා ජල විදුලි බලාගාර 300කට වැඩි ප්‍රමාණයක්.  විදේශීය ශාඛ  විසින් පරිසරය විනාශ කරලා තියෙනවා.  මහා පරිමාණ සංවර්ධන කටයුතු වලටත් හසුවෙලා තියෙනවා. ඒවගේම තමයි තේ,රබර්, හා කෝපි වැනි වගාවන් මේ වනාන්තර විනාශ වෙන්න බලපාලා  තියෙනවා .
 
rahula himi 8ගංගා ආශ්‍රිත ගඟබඩ වනාන්තර විනාශකර දමලා. ඒ වෙනුවට විවිධ කර්මාන්තශාලා හදලා.  ගංගා හරස් කරලා ජල විදුලි බලාගාර හදලා තියෙනවා.  ජලය බැස යන පහත්  බිම් ගොඩකරලා. දැනට ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග ජාලය නිසා බොහෝ ගංගා නිම්න හරස්වෙලා තියෙනවා.  උදාහරණයක් විදිහට සමීපතම අත්දැකීම තමයි මාතර සිට හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ගය නිසා මෙතෙක් යට නොවුණු බොහෝ ප්‍රදේශ යටවෙනවා.  ගාල්ලේ බද්දේගම දිහා බලද්දිත් ඒ බව  තහවුරු වෙනවා.  ඒ නිසා මේ ආර්ථික දේශපාලන රටාව  නිසා අපේ පරිසර පද්ධතියට එල්ල කරලා තියෙන බලපෑම සුළුපටු නැහැ.  ගිය වසරේ ස්වභාවික විපත් ගණනාවකට මුහුණ දුන්නා.  මේ වසරේ එය වර්ධනය වෙලා තියෙනවා.  නමුත් අද වෙනකොටත් පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරලා නැති නිසා ලබන වසර වනකොට මේ විපත් තවත් වැඩිවීම වෙන්නේ.
 
පසුගිය ගං වතුර හා නායේ යෑම් හමුවේ රජයේ පාර්ශවයෙන් කියවුණ කතාවක් තමයි අපේ රටත් දැන්  ස්වභාවික විපත් කාලාපයේ රටක් බව.  සිදුව  ඇති පරසර හානිය පසෙක තබා විපත වැළඳගැනීම ගැන ඔබ වහන්සේ දරන මතය මොකක්ද?
 
අපි කල්පනා කරන්න ඕන කාරණාව තමයි බොහෝ විට සමාජය තුළ ඵලය නිර්මාණය වුණාම හේතුව හොයන්නේ නැහැ.  පහුගිය දවස් වල අපි මුහුණ දුන්න ස්වභාවික විපත්හි හේතු ඵල සම්බන්ධය හොයාගෙන ගියොත් ඉතා හොඳින් පැහැදිලි වෙන කාරණය තමයි පරසරය විනාශ කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවුණා කියන කාරණය.  මෙතැනදී උත්තර හොයන්න ඕනේ ආපදාවන්ට සුදානම් වෙනවා කියන කරණයට වඩා ආපදා අවම කරගැනීමට අවශ්‍ය කරන පරිසර සංරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නේ කොහොමද කියන කරණය සම්බන්ධයෙන්.  නමුත් අපි දැනගන්න ඕන දෙයක් තමයි ඉන්න හෝ පැවති  රජයන් කළේ පරිසරය විනාශ කර මුදල්  හම්බ කිරීම.  2011 සිට 2030 දක්වා වන ජාතික භෞතික සැලැස්ම ගත්තොතින් එමඟින් පැහැදිලි වෙනවා මේ රජයන් කරන ක්‍රියාවලිය.  නාවුක මධ්‍යස්ථානයක්,ගුවන් මධ්‍යස්ථානයක්,ආර්ථික මධ්‍යස්ථානයක්,සංචාරක පුරවරයක්,මේ ආදී ඉලක්ක තියෙන්නේ.  ඒ කොතනකවත් පරිසර සංරක්ෂණයක් ගැන හෝ ජෛව විවිධත්වයක් ගැන සාකච්ජා වෙන්නේ නැහැ.  මේ වෙද්දී ජාතික    දේශපාලන වැඩපිළිවෙල  එලා තිබෙන්නේ මහා පරිසර සංහාරයක් වෙනුවෙන්.  ඒ අනුව අද දවස වෙද්දී දියුණුව කියන්නේ මහා භයානක වචනයක්.  පස් කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනවා.  ගංගා ජලයට හසු වෙලා මිනිස්සු මැරෙනවා, මිනිස්සුන්ට උන්හිටි තැන අහිමි වෙලා අවතැන් කඳවුරු වල ඉන්න වෙලා තියෙනවා.  සංවර්ධනය කියන යෙදුම ඇතුලේ මේ වගේ සෝචනීය දේ තමයි ගොඩනගලා තියෙන්නේ.  මෙන්න මේ භයානක රකුසා සුරූපී කරන්න තමයි මේ රටේ පාලකයෝ කටයුතු කරමින් ඉන්නේ.
 
ගස් කොළන් විතරක් නෙවෙයි සතා සිවුපාවන් කියන්නෙත් ඔබ වහන්සේට බොහොම කිට්ටුවන්තයන්. කොහොමද වෙදකම පුහුණු කළේ ?
 
rahula himi 3පරිසරය පිළිබඳ කුතුහලය තිබුණ කෙනෙක් විදිහට සතුන්ට පිහිට වෙන්නේ කොහොමද කියලත් උනන්දුවක් මට තිබුණා.  නමුත් ඒ සඳහා දැනුම තිබුණේ නැහැ.  ඒ  අඩුවත් සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයෙන් තමා සම්පුර්ණ කරගත්තේ.  මට මතකයි පුංචි කාලේ පිරිවෙන් වල ඉන්නකොට සර්පයෝ පිරිවෙනට ආවහම අපි කට්ටිය එකතුවෙලා මරන්නේ නැතිව බෝතලේකට ගෙන ගිහින් දාන සිරිතක තිබුණා.  හැබැයි ලොකු සතෙක් ආවහම අපිට ප්‍රයෝගිකව එය කරන්න බැරි වුණා.  එක්කෝ බයයි නැත්නම කැතයි.  නමුත් මේ පාඨමාලාව හැදෑරීම තුලින් සත්තු ගැන තියෙන බය හරි, කැත  හරි නැතිවෙලා ගියා.  අපේ රටේ ගත්තොත් සර්ප විශේෂ 94ක් විතර ඉන්නවා. මේ 94න්  5ක් 6ක් වගේ තමයි දරුණුම විසකුරු සර්පයන්. අනිත් සර්පයන් එක්කෝ මද විස නැත්නම සුලු විස.  සුළු විස සර්පයන් පනස් ගණනකට වැඩියි.  පාඨමාලාව මඟින් මට දැනුම ලැබුණා සර්පයන් ඇල්ලීම ගැන . එකෙන් මම ඕනෑම සතෙකු වෙත ලං වී ඇල්ලීම් ප්‍රගුණ කළා.  ඇත්තටම කුඩා බුබුල ගමේ සහ අවට ප්‍රදේශවල දැන්   සර්පයන් මරන්නේ නැහැ. විසකුරු සර්පයො හිටියොත්  දැනුම්දෙනවා. අපිට හැකි වෙලාවක නම්  ගිහින් සර්පයා අල්ලාගෙන වනාන්තරයට ගෙන විත් දානවා.  ඒ අතරම විවිධ අබා ධයන්ට ලක්වුණ සර්පයන්ට  ප්‍රතිකාර කර වනාන්තරය වෙත මුදාහැරලා තියෙනවා.
 
සොබාදහම් පාසැල ගැන කතා කළොත් ?
 
පරිසරය ආරක්ෂා කරන්න නම් අපිට ඒ සඳහා දැනුම තියෙන මිනිස්සු අවශ්‍යයි. අද දවස වෙද්දී සමස්ත අධ්‍යාපනය දිහා බැලුවහම පෙන්න තියෙන අඩුපාඩුවක් තමයි  පරිසරය සංරක්ෂණය කරමින් භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය ඉගැන්වීම.  අද අධ්‍යාපනයෙන් කරන්නෙත් වැඩි වැඩියෙන් පරිසරය භාවිතා කරන්නේ කොහොමද කියන කරණය පැහැදිලි කිරීම. ඉතින් මේ ඉගැන්වීමේ අවශ්‍යතාව  පදනම් කරගෙන තමයි සොබා දහම අධ්‍යයන මධ්‍යස්ථානයට අනුබද්ධිතව  සොබා දහම් පාසැල නිර්මාණය වෙන්නේ.  මෙතන හැමෝටම ඉගෙනගන්න පුළුවන්. කිසිම ජාති  අගම් භේදයක්  නැහැ.  පරසරය කේන්ද්‍ර කරගත් විෂය ගණනාවක්  පිළිබඳ එතැනදී ඉගැන්වෙනවා. ඒ වගේම තමයි කඳවුරු,පරිසර ක්ෂේත්‍ර චාරිකා,සංවාද අපේ සොබා දහම් පාසල තුල නිර්මාණය වෙනවා.  අධ්‍යාපනය කියන්නේ සමාජය වෙනස් කරන හොඳම ආයුධයක්.  ඒ නිසා හෙට දවසේ යහපත් පරිසරයක් අපේක්ෂා කරනවා නම් එය නිර්මාණය කර ගැනීමේ අධ්‍යාපනික   අවශ්‍යතාව සොබා දහම් පාසැල තුළින් කෙරෙනවා. සොබා දහම් පාසැල නිසා මේ වෙද්දීත් එහෙම හිතන වැඩකරන පරම්පරාවක් ගොඩනැගිලා ඉන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
 
rahula himi 4
rahula himi 5
rahula himi 6
rahula himi 7

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top