1150 x 80 px

අපි දැන් ලෝකය සමඟ එක්සත් වෙන්න ඕනේ - රවී කරුණානායක
දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයාට දැන් භාර වෙලා තියෙන්නේ පුර්ණ වශයෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු. මංගල සමරවීර ඇමතිවරයා විදෙස් කටයුතු අමාත්‍යවරයාව සිටියදී ගෙන ගිය විදේශ ප්‍රතිපත්තිය ප්‍රශංශනාත්මක ලෙස ඇගයුනා. දැන් ඔබේ සැලසුම් ගැන කතාකළොත් ?
මංගල ඇමතිතුමා ඇත්තටම බොහොම සාර්ථක ලෙස විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවා.අපිට දැන් GSP සහනය හිමිවෙලා තියෙනවා. මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නයේදී අපි සාර්ථකව මුහුණ දීලා තියෙනවා. ඉදිරියටත් වැඩ කාර්යක්ෂමව කටයුතු කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙතැනදී වැදගත් කාරණයක් තමයි වාණිජ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සාර්ථක ලෙස කටයුතු කිරීමට.
 
ravi 9වාණිජ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
 
ඔව්, ඇත්තටම දැන් අපිට වැඩි වැඩියෙන් ආයෝජන ගැන හිතන්න වෙලා තියෙනවා. මෙය ලංකාව ලෝකයට එක්සත් කරන්න පුළුවන් ක්‍රමවේදයක්.  මෙය බොහොම වටිනා අවස්ථාවක්.  ලොව පුරා අපේ තානාපති කාර්යාල 64ක් තියෙනවා. ඇතැම් තැන් වහනවා. අනික් තැන්  වැඩිදියුණු කරනවා. අවසාන ඉලක්කය තානාපති කාර්යාල 70ක් පමණ දක්වා යන්න. අපි හිතන විදිහට රටක් ලෙස ණය අරන් වැඩකරනවාට වඩා වෙළෙඳාමක් හදා ගන්න එක හොඳයි.  එය ශුද්ධ වශයෙන් රටට වාසියි.  ණයක්  වුනොත් නැවත ගෙවිය යුතුයි. බදු ගෙවන්නන් ගෙන්  අය කරන මුදල් වලින් තමයි ණය ගෙවන්න වෙලා තියෙන්න. ඒ වගේද සෘජු ආයෝජනයක් පැමිණීම නිසා අත්වන වාසිය. අපනයන වැඩි වෙනවා. රක්ෂා වැඩි වෙනවා.  මේ තුළින් ගෙවුම් ශේෂ හිඟය අඩුවෙනවා. මේ සියල්ලටම තමයි අපි විසඳුම් හොයන්නේ.
 
ඔබ කියන්නේ සෘජු ආයෝජන අවස්ථා වැඩි කරන්න කටයුතු කරනවා කියලද?
 
ඇත්තෙන්ම. ආයෝජන වැඩි වෙන තරමට තමයි අපිට වැඩක් වෙන්නේ. ලෝකය තුළ අපි එක්සත් වෙන්න නම් ආයෝජන අවස්ථා පුළුල් කරන්න වෙනවා.
 
නමුත් මෙතැනදී අනික් අතට මතුවන කාරණය තමයි රටේ භූමිය ඇතුළු සම්පත් විකුණන්නද යන්නේ කියන කාරණය. දැනටමත් අපිට පෙන්න තියෙනවා වරාය, තෙල් ටැංකි සංකීර්ණය, පොර්ට් සිටිය වගේ කාරණා වලදී මේ කාරණය මතුවෙනවා.?
 
හරි, දැන් බලන්න ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි.  යුද්ධයට ඉස්සෙල්ලා හදපු තෙල් ටැංකි අදට අවුරුදු 60ක් 70ක් විතර ඔහේ තියෙනවා. වල්  වැදිලා තියෙන එක පිරිසිදු කරලා ඔතන තියාගෙන තෙල් අපනයනය කරන්න පුලුවන්නම් මොනතරම් නැව් ගත කිරීමක් වෙනවද, මොනතරම් රැකියා ඇතිවෙනවද.  නමුත් දැන් කණ්ඩායමක් කියන්නේ මොකක්ද? "මේක අපේ රටේ සම්පතක්. අවුරුදු 70 කි විතර මොනවත් නොකරපු එකේ තව අවුරුදු 700ක් විතර නිකම් ඔහේ තියාගමු" කියනවා.  මොනවද මේ බොළඳ තර්ක. බෝඩ් ලෑලි අල්ලන් දඟලන යට බයේ මේ රට ඉදිරියට ගෙනියන්න තියෙන හැකියාව නැතිකරගෙන ඉන්නේ.  මේක තමයි අපි වෙනස් කරන්න අවශ්‍ය. හැමදේම විකුණන එක නෙවෙයි වෙන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා ටෙලිකොම් එක,එදා මාස එකහමාරක් විතර යනවා ටෙලිෆෝන් ලයින් එකක් ගන්න. දැන් එහෙමද විනාඩි 10න්  වැඩේ වෙනවා. ඒක තමයි ලෝකෙට එකතු වෙන මාර්ගය.
 
ravi 7එක්ටා ගිවිසුම පිළිබඳ කතා බහ කරද්දීත් ඔය කාරණාව මතු වුණා. මෙතනදි විද්වතුන් පෙන්වා දුන්නේ එවන් ඉදිරි පිම්මක් පනින්න අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ කියලා. දැන් ඔබ වාණිජ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමයක් ගැන කියනවා. අවසාන වශයෙන් විදේශිකයන්ට සෘජු ආයෝජන අවස්ථාවන්ට දොර විවර වීමක්. මේ කියන කාරණාවේදී රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් එකඟතාවන්ට යොමු වෙන්න සිදුවෙනවා. පැහැදිලි ප්‍රතිපත්තියක් නැති රටක් ආයෝජන අවස්ථාවන්ට විවෘත වීමේදී සැලකිය යුතු අර්බුදයන් මතු වෙන්න පුළුවන්?
 
අපි වැඩ කරන්නේ ප්‍රතිපත්තියකට. ඔබ දන්නවා මම වැටිලා තිබුණ මහා භාණ්ඩාගාරේ කොහොමද නැගිට්ටෙව්වේ කියලා. මෙහෙම ළිං මැඩියෝ වගේ වැඩකරලා රටක් දියුණු කරන්න බැහැ. අපි රටේ සම්පත් විකුණන ප්‍රතිපත්තියක නැහැ.  අපි 2020 වෙද්දී රට තියෙන තැන ගැන ජනතාවට කියලා තියෙන්නේ.  කිසිම විදිහකින් හානියක් වෙන්නේ නැහැ.
 
තාමත් සයිටම් අර්බුදයවත් විසඳ ගන්න බැරි වුණ ආණ්ඩුවක් නේද මේ ලෝකයට එක්සත් වීම ගැන කතා කරන්නේ?
 
සයිටම් කියන්නේ අපි හදපු ප්‍රශ්නයක් නෙවෙයි.  අපිට කරගහන්න වෙලා තියෙන්නේ රාජපක්ෂලාගේ වැරදි වලට. ඒ අය  මොනතරම් බංකොලොත්ද කියනවා නම් ඔවුන් හදපු සයිටම් ආයතනය දැන් වහලා දාන්න ඕනේ කියලා කෑ  ගහනවා.  අපේ උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමැතිතුමන්ලා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.  ඔය එක එක්කෙනා කියන කියන විදිහට වැඩ කරන්න බැහැ.  මස් රාත්තලම බලාපොරොත්තුවෙන එක හරි නැහැ. එකඟතාවන්ට ඇවිත් වඩා කිරීම තමයි හොඳම දේ.  දැන් ඔය පෞද්ගලික අධ්‍යපාන ආයතන වලට විරුද්ධව කෑ  ගහන සමහරුන්ගේ පවුලේ උදවිය පවා ගිහින් තියෙන්නේ ස්ලිට් එකට.  ශ්‍රී ලංකන් එයාර් ලයින් එකට.  ඒ වගෙන්ම  පේනවනේ වැඩ වල තරම.  ඒ අය තමයි හැම දේකටම මහදැන මුත්තෝ.  හැබැයි වැඩක් දුන්නොත් කරන්නත් බැහැ.  මේවා වෙනස් වෙන්න ඕනේ.
 
ඔවුන් ගෙනෙන තර්කයක් තමයි අපේ රටේ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දුන්නොත් රාජ්‍ය අධ්‍යාපනය කඩාගෙන වැටෙනවා කියන කාරණය ?
 
කොහොමද එහෙම කියන්නේ.  අපි නිදහස් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරලා නැහැ.  රජයේ පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වෙනුවෙන් විශාල වැඩකොටසක් කරමින් ඉන්නේ. කඩාකප්පල්කාරී සුළු පිරිසක් තමයි මේ ප්‍රශ්න හදන්නේ. අපිට දැන  ගන්න තියෙන විදිහට විශ්ව විද්‍යාල දෙකක පීඨ දෙකක් තීරණය කරලා තියෙනවා විරෝධයෙන් ඉවත් වෙලා පන්ති වැඩ අරඹන්න අවශ්‍ය බව. මොනතරම් හොඳ තීරණයක්ද. පාරවල් ගානේ උද්ඝෝෂණ කරලා මේවා විසඳන්න බැහැ. එදා මහින්ද රාජපක්ෂගේ කාලේ ඔහොම සෙල්ලම් දාන්න පුළුවන් වුණාද. අපි ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීලා තියෙනවා. හැබැයි ඒක වල්බූරු  නිදහසක් විදිහට දකින්න හොඳ නැහැ.
 
ඔබ පසුගිය දින කිහිපයේම ඔය කතාව කියනවා අපි දුටුවා."ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වල්  බූරු නිදහසක් නෙවෙයි." අනතුරු ඇඟවීමක්වත්ද ?
 
ravi 8අපිට කාටවත් අනතුරු අඟවන්න අවශ්‍ය නැහැ.  යහපාලන ආණ්ඩුවක් විදිහට අපි හැමෝටම අවස්තාව දීලා තියෙන්නේ කතාකරන්න.  නමුත් ඒ නිදහස යුතු ලෙස භාවිතා කරන්න හොඳ නැහැ. මොකද අපි මේ ආණ්ඩුව භාර ගනිද්දී විශාල අභියෝග රැසක් මැද  තිබුණේ. විශාල ණයබරකින් හෙම්බත්වෙලා හිටියේ.  රාජපක්ෂ පවුල සහ හොර නඩය රට විනාශ කරලා තිබුණේ.  ඒක  නිසානේ අපිට මේ රට භාර දුන්නේ.  දැන් හැමෝගෙම සහය අවශ්‍යයි අපිට වැඩ කරගෙන යන්න.  අපි කියන්නේ අනවශ්‍ය බාධා කිරීම් කරන්න එපා කියලා. හැබැයි දිගින් දිගටම කඩාකප්පල්කාරී විදිහට නම් වැඩ කරන්නේ ඒ අය පිළිබඳ නිත්‍යානුකූලව තීරණ ගන්න වෙයි.
 
මේ වෙද්දී බරපතල කාරණයක් තමයි කොළඹ කුණු ප්‍රශ්නය. ඔබ කොළඹ දිස්ත්‍රික් නායකයෙක්. අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නෙදි ඔබටත් වගකිමක් ඇති බව. ඇයි මේ කුණු ප්‍රශ්නයත් කුණු වෙන්න ඉඩ ඇරලා තියෙන්නේ?
 
ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ තුළ  තියෙන්නෙත් දේශපාලන කඹ ඇදිලි. ඒක පැහැදිලිව කියන්න ඕනේ. මේවට වගකීමෙන් මැදිහත්වෙන්න ආයතන තියෙනවා. ආණ්ඩුව විදිහට අපි ඒවාට මුදල් ලබා දුන්නා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ කියලා පැහැදිලියි. එහෙම කියලා අපි ජනතාව අපහසුතාවට පත් කරන්නේ නැහැ. හැම ප්‍රශ්නයකටම අපි විසඳුම් දෙනවා.
 
සාකච්ඡා කළේ - ආශිකා බ්‍රාහ්මණ
ඡායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top