1150 x 80 px

 

වවුනියාවේ රක්ෂිත කැලෑවල මහා පරිමාණ සත්ව ජාවාරමක්

වවුනියාවේ රක්ෂිත වනාන්තරවල ඉතා රහසිගතව දඩයමේ ගොසින් වන සතුන් දඩයම් කරන මහා පරිමාණ සත්ව ජාවාරමකට හවුල් වූවන් පිරිසක් ඊයේ (23) සවස වව්නියාව වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

වව්නියාව පිරප්පම්මඩුව ප්‍රදේශයේ පිහිටි කැලෑවන්හි දඩයක්කරුවන් පිරිසක් විසින් සතුන් මරන බවට වව්නියාව වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාල කැලෑවට ගොස් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනෙකු සමග වන සතුන් මැරීම සඳහා යොදා ගත් ගිනි අවි ඇතුලු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් උපකරණ අතර ෂොට්ගන් වර්ගයේ ගිනි අවි දෙකක්, පතුරම් 3 ක්, සතුන් ඇල්ලීම සඳහා යොදාගන්නා උගුල් රැසක් හක්පටස් බොම්බ තොගයක් මේ අතර වෙයි.

අදාල රක්ෂිත වනානන්තර වලින් මරාදමන ලද වන සතුන් විවිධ පලාත්හි හෝටල් වලට හා ව්‍යාපාරිකයින්ට රහසිගතව විකණීමට මෙම ජාවාරම් කරුවන් කලක සිට ක්‍රියාත්මක වී ඇති බවටද වව්නියාව වනජීවි නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.

වනජීවි කලාප සහකාර අධ්‍යක්ෂක සරත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි වව්නියාව වනජීවි අඩවි ආරක්ෂක නිලධාරී ජේ.බී.කේ. තෙන්නකෝන් මහතාගේ නායකත්වයෙන් එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකොට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

- වන්නි රොමේෂ් මධුෂංඛ

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top