1150 x 80 px

 

Research : අවිධිමත් ඉඩම් ප්‍රරිහරණය නිසා හම්බන්තොට අලිමිනිස් ගැටුම උග්‍රවේ

'' රටේ බලධාරීන් නැති නිසා තමයි මේ විදියට හැමෝම ඇවිත් කැලේ විනාශ කරන්නේ .අපේ ගමට යාබදව තියෙන කැලේ හැමදාම කවුරු හරි සුද්දකරනවා ඊට පස්සේ එහෙ අලින්ට ඉන්න තැනක් නැති උනාම උන් ගමට එනවා ,අපිට ජීවත්වෙන්න විදියක් නැති බවයි සූරියවැව එලල්ල ගම් වැසියෙකු වන එම් ,ඉන්ද්‍රානි පවසා සිටින්නේ .''

හම්බන්තොට අවිදිමත් ඉඩම් පරිහරණය තුලින් සිදුවන වන විනාශය හමුවේ ඇතිව තිබෙන අලි මිනිස් ගැටුමෙන් මිනිසුන්ගේ මෙන්ම වන ලින් ඇතුළු සත්වයින්ගේ ජීවිතද අවධානමකට පත්වී තිබෙන බවට එම ප්‍රකාශයෙන් කොතරම් කියා පායිද?

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් ක්‍රියාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළ දී පමණක් වගා බිම්වලට පැමිණී අලි - ඇතුන් 19 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 9 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව ඇති බව හම්බන්තොට වනජීවිකාර්යාලයේ තොරතුරුවලින් අනාවරණය වේ .

මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය˜ ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැනීම , කළු ගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ ,ඒ ,පි විජය කුමාර මහතා පෙන්වාදෙයි .

එපමණක් නොව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ කුරුදාන ඇතුළු විවිධ ප්‍රදේශ වල අලි මංකඩ පවා හරස් කරමින් අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සදහා විවිද පුද්ගලයින්හට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබෙන බවත් මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදේන බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති පරිසර වේදී සජීව චාමිකර පෙන්වාදෙයි .

උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි - ඇතුන් ගේ සංක්‍රමණ රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය˜ ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි - ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි

නීති විරෝධී වන විනාශය

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.

banana

මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේන බවට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කර්යාලටත් ,මයුර පුර මහවැලි කාර්යාලයටත් ජනතාව පෙත්සම් මගින් දන්වාතිබේ .

research 2

research 3

එමෙන්ම මහවැලි අධිකාරියේ පාලනය යටතේ පවතින අන්දරවැව උස්ගල රක්ෂිතයේ අක්කර 600 ක් ,වැවේගම රක්ෂිතයේ අක්කර 100 ක් කුඩා ඉදිවැව රක්ෂිතයේ අක්කර 400 ක් සුරුවිරුගම මුත්තගල් ආර රක්ෂිතයේ අක්කර 25 ක් පමණ සුරුවිරුගම වැලිආර රක්ෂිතයේ අක්කර 25ක් පමණ මිට වසර දෙකක පමණ කාලයක සිට මහා පරිමාන වගාවන් සදහා නිතිවිරෝධිව හෙළිකර අනවසර විදුලි වැටවල් පවා සකසා තිබීම නිසා වන අලින්ගේ වාසස්ථාන අහිම වීමෙන් වන අලින් ගම් වැදීමෙන් ප්‍රද්ශයේ අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබේ.

තොරතුරු සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙන් ලිඛිතව ලබා ගත් ඒවා වේ

මේ සදහා විසදුම් ලෙස මහා පරිමාන අනවසර වගාකරුවන් එම රක්ෂිත ප්‍රදේශයන්ගෙන් ඉවත් කලයුතු බවට සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාළ ආයතනයන්හට දන්වා ඇතත් මේ වනවිටත් ඒ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත .

'විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබෙන බව පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙයි

broken house

''මට දැන් අවුරුදු 53 ක් වෙනවා ඒ කාලෙත් මෙහෙ අලි හිටියා නමුත් අලින්ගෙන් අපිට කර දර උනේ නෑ ඒ සතුන්ට ඉන්න කැලේ තිබුන නිසා දන හැම තැනම කැලේ සුද්දකරනවා අලින්ට ඉන්න තැනක් නෑ උන් දැන් අපේ ගම් වලට ඇවිලා වගා හානි කරනවා ,ගෙවල් කඩලා ගෙවල් ඇතුලේ තියෙන වී ටික පවා කනවා අපිට දැන් ජිවත් වෙන්න විදියක් නැ .එක පැත්තකින් අපේ දේපල හානි වෙනවා එකපැත්තකින් අපේ ජිවිත අවදානමක් තිබෙන බව සූරියවැව අන්දරවැව ප්‍රදේශයේ පදිංචි ජි . රංජනී කියාසිටී ''

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතුය .

අලි මංකඩ හෙළි කරලා

'' කෙසේනමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය හා ඒවාට වනාන්තර තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් මෙන්ම අනුදැනුම ඇතිව සිදු කෙරෙන සියළු සංවර්ධන කටයුතු නිසාවෙන් මේ වනවිට ඉන් ඉතිරව ඇත්තේ ඒ සදහා වෙන්කළ භිමි ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමානයක් බවත් තවදුරටත් ඒ අයුරින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අයත් භුමි ප්‍රමානය හෙළි කළහොත් අලි මිනිස් ගැටුම උග්‍ර වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු පශු වෛද්‍ය වරයෙකුද වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාදු මහතා පවසා සිටි .

'' අපි 2010 වර්ෂයේ සිට වන අලින්හට ජි ,පි .එස් ,කොලරයන් දමා වන ලීන්ගේ සංචරණ ප්‍රදේශ ගැන පර්යේෂණ කළා එහිදී හම්බන්තොට වන අලින්ගේ ප්‍රධාන ගමන් මාර්ගයන් මොන වගේද කියලා අපිට සොයා ගන්න පුළුවන් උනා නමුත් මේ වන විට සංවර්ධන කටයුතු සදහා මෙන්ම අනවසර හෙළිකිරීම් නිසා එම අලිමංකඩ හෙළිවී ඇතිබවත් එම නිසා වන අලින් ගම වැදීම් බහුල වී ඇතිබවද ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාදු මහතා පෙන්වාදෙයි .''

දැනට විවිධ සංවර්ධන කටයුතු සදහා හෙළි පෙහෙළි කර තිබෙන වල්සපුගල, දිවුල්පැලැස්ස වැව් ඉහත්තෑවේ අලි - ඇතුන් ජීවත් වූ අක්කර 300 ක ට වැඩි වනාන්තර භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර මහ පරිමාණ සූර්යය බලශක්ති ගම්මානයක් ඉදි කර තිබේ. මෙම වැව හා ආශි්‍රත ප්‍රදේශය අලි - ඇතුන් විශාල රංචු වශයෙන් ජීවත් වූ ප්‍රදේශයක් බව හම්බන්තොට වනජීවිකර්යාලය මගින් ලබාගත් තොරතුරු වලින් හෙළිවේ .

මේ ආකාරයෙන් අවභාවිතා වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවන බව පරිසර වේදී සජීව චාමිකර පෙන්වාදෙයි .

''යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිතව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප්‍රධාන බවද හෙතෙම කියා සිටි ''

මීට අමතර ව වැවේ ගම, වැලි අර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි - ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප්‍රදේශ වේ.

වන අලින් පසෙකලා සිදු කෙරුණු සංවර්ධනය

ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ගුවන්තොටුපල ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි - ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ හෙට්ටයාර් 2000ක් පමණ ලබාගත් අතර මේ වන විට ඉන් හෙට්ටයාර් 800ක් සංවර්ධනය කර තිබේ .

එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සදහා හෙට්ටයාර් 1115ක් පවරාගත් අතර මේ වනවිට ඉන් හෙට්ටයාර් 700ක ප්‍රදේශයක් සංවර්ධනය කර අවසන්ය .

ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු වලින් අනාවරණ වේ ,

මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලුතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම් වලට හා දේපොළ වලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතු වලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ.

මේ ආකාරයෙන් මිට වසර 15 කට පමණ පෙර හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මහවැලි අධිකාරියට අයත්ව තිබු හෙට්ටයාර් තිස්දෙදහසකට ( 32000) අදික භුමි ප්‍රමානය එම ප්‍රදේශයන්ගෙන් මිට වසර 15 ක පමණ සිට මේ දක්වා විටින් විට විවිධ සංවර්ධන ව්‍යාපෘති සදහා හෙට්ටයාර් පහළොස් දාහල් පමණ (15000) ලබා දී ඇති බව හම්බන්තොට මයුරපුර මහවැලි තොරතුරු වල සදහන් වේ .

‘’ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි කලාපයට මෙම ප්‍රදේශයන් මිට පෙර දක්නට ලැබුනේ කැළෑ ප්‍රදේශ ලෙසයි ඒ තුල වන අලින් ඇතුළු වනසතුන් බහුල ලෙස ජිවත් විය නමුත් එම ප්‍රදේශයන්ගෙන් හෙට්ටයාර් 15000 කට අදික ප්‍රමාණයක් හෙළි කිරීම නිසා මේ වන විට වනසතුන් හට ජීවත්වීමට ඉතිරීව ඇත්තේ හෙට්ටයාර් 15000 කට අඩු ඉඩප්‍රමානයක් වේ . ඒ තුලද අනවසර වගා කරුවන් මහා පරිමාන වගා කටයුතු සිදුකිරීම නිසා රක්ෂිත ප්‍රදේශ දැඩි ලෙස හෙළිවී තිබේ නමුත් ඒ තුල මේ තුල වන අලින් 450 ක් පමණ ජිවත්වන බව හම්බන්තොට වනජීවී කාර් යාලයේ අඩවි ආරක්ෂක ජේ .ඒ පි විජය කුමාර මහතා පවසයි.’’

දැනට සූරියවැව එල්ල හා අන්දර වැව යන ප්‍රදේශයන් තුල සිදුකරන මහා පරිමාණ වන විනාශය සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ නේවාසික කළමනාකරු අයි .ජි අමරසිරි මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ ඩෝසර් බැකෝ යන්ත්‍ර බාවිතා කරමින් මහාපරිමාණ ලෙස මහවැලියට අයත් වන ප්‍රදේශය හෙළි කිරීමට කිසිවෙකුහට අවසර දී නොමැති බවයි .

මෙම වන සංහාරය නතර කර ඉතිරිව තිබෙන වන භුමිය තුල හෝ යෝජිත හම්බන්තොට වන අලිකලමනාකරන රක්ෂිතය ගැසට් කර වනජීවී දෙපාර්තමේන්තුවට පවරා නොදෙන්නේනම් අලි මිනිස් ගැටුම උග්‍ර වනවා පමණක් නොව හම්බන්තොට වන අලි සන්හාරයක්ද සිදුවිය හැකි බව ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාදු මහතා පෙන්වා දෙයි .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top