1150 x 80 px

 

ඇමරිකාවට මෝරු මැරෙන සීතලක්- නයගරා ඇල්ලත් මිදිලා

ඇමරිකාවේ ජනපද ගණනාවකට අධික ශීතල කාලගුණයක් හටගෙන තිබේ. සාගරයේ ජීවත් වන මෝරුන් වැනි විශාල විලෝපික මත්ස්‍යයන් පවා මිය යන තරමට මෙම ශීතල දරුණු අතට හැරී ඇති බවටත් උදා වූ 2018 වර්ෂයේ ඉදිරි මාසවලදී මෙම තත්වය තවත් නරක අතට හැරෙන බවටත් කාලගුණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

ඊරි සහ පෙන්සිල්වේනියා ජනපදවලට අසාමාන්‍ය හිම පියළි වර්ෂා පතිත වෙමින් තිබෙන අතර, පෙර අනුමාන කළාට වඩා පහසුවෙන් මේ අනුව උෂ්ණත්වය පහළ වැටෙමින් තිබෙන බව ද කාලගුණික විශේෂඥයෝ පෙන්වා දෙති. මේ සතිය තුළ පංච මහා විල් වලින් එකක් ද වන ඊරි විල සම්පූර්ණයෙන්ම මිදී යනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙහි තිබෙන එකම ධනාත්මක කාරණය වනනේ එසේ වුවහොත් ඊරි විල නිසා පසුගිය කාලයේ හටගත් ‘ලේක් ඉෆෙක්ට් ස්නෝ’ බලපෑම අඩුව යාමයි. ඒ අනුව විලේ ජල තලයේ උෂ්ණත්වය පහළ බසින නිසා සුළං ධාරා තුළ හිම පියළි සැදීම අඩු වනු ඇත. එනම් හිම වැස්ස අඩු වනු ඇත. නමුත් හිම වැස්සකින් තොරව ප්‍රදේශයේ අධික සිතලක් පවතිනු ඇත.

මේ වන විට පෝට්ලන්ඩ්, මෙයින්, ඩැන්විල්, වර්ජිනියා යනාදී ජනපද රාශියකම පරිසර උෂ්ණත්වය එක රාත්‍රියකින් පහළ වැටී තිබෙන්නේ දශක ගණනාවකින් වාර්තා වන අඩුම උෂ්ණත්වය වාර්තා කරමිනි. ඇමරිකාවේ මැසචුසෙට්ස් ජනපදයේ වෝෂෙස්ටර් පළාතේ පරිසර උෂ්ණත්වය යන්තම් ෆැරන්හයිට් අංශක 8 ක් වශයෙන් වාර්තා විය. මෙය 1903 වර්ෂයෙන් පසු පළමු වතාවට වැඩිම ශීතල යනුවෙන් ඉතිහාසගත වන වාර්තාවකි.

ඊයේ දිනයේ මිනසොටා ජනපදයේ උෂ්ණත්වය වාර්තා වුණේ ෆැරන්හයිට් අංශක -44 ක් වශයෙනි. මිනපොලිස් හි එම අගය -38 ක් විය. චිකාගෝ හි -12 ක් සහ බොස්ටන් හි -6 ක් විය.

ටෙක්සාස්, ජෝර්ජියා, මිසිසිපි යන ජනපදවලින් වාර්තා වෙමින් තිබෙන්නේ අසාමාන්‍ය ශීතලකි.

ඇමරිකාවට පැමිණ සිටින සංචාරකයන් ද මෙම අනපේක්ෂිත ශීත කාලගුණය හේතුවෙන් මහත් අපහසුතාවට පත්ව සිටිති. ඊයේ දිනයේ බොහෝ ප්‍රදේශවලින් ෆැරන්හයිට් අංශක 5 ක දැඩි ශීතලක් වාර්තා විය. හමා එන ශීත සුළඟේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක රින 11 හෝ ඇතැම් අවස්ථාවලදී සෘණ 15 දක්වා පහළ වැටේ.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව මෙම කටුක කාලගුණ තත්වය විස්තර කරනුයේ මෙසේය.

නව වර්ෂය උදා වන විට ඇමරිකාවේ ටයිම්ස් චතුරස්‍රයේ වාර්ෂිකව ‘නව අවුරුදු ගෝලය‘ ඉහළට එසවෙන අවස්ථාව වන විට පැවතියේ ද අංශක 8 ක තරම් ශීතලකි. 1907 වසරේ පටන් මේ සා උෂ්ණත්වය පහළ ගොස් තිබෙන්නේ අවස්ථා 3 කදී පමණි. නව අවුරුද්ද උදා වන විට ටයිම්ස් චතුරස්‍රයට හමා ආ සුළඟේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක -10 ක් විය.

“ඇට කටු පවා හිරිවැටෙන තරමට හීතලයි.“

මේ වන විට කැනඩාවේ නයගරා දිය ඇල්ලෙන් සැලකිය යුතු කොටසක් ද මිදී ගොස් ඇත. මේ සමග පළවන ඡායාරූපයෙන් කොටසක දැක්වෙන්නේ එසේ මිදී යාම නිසා එය හිම මිදුණු පාරාදීසයක් බවට ක්‍රමයෙන් පත්වෙමින් යන ආකාරයයි. කැනඩාවේ ඔන්ටාරියෝ හි ස්වභාව සෞන්දර්යය මවන නයගරා ඇල්ලේ කොටසක් වන සුප්‍රසිද්ධ ‘අශ්ව ලාඩම් දිය ඇල්ල’ මේ වන විට මුළුමනින්ම පාහේ මිදී ගොස් ඇත.

ඇමරිකාවේ ජීවත් වන අයෙකුට මෙම ඇටකටු පවා හිරිවට්ටන ශීතල මහරින්නට උවමනා නම් කළ හැකිව තිබෙන්නේ එකම එක දෙයක් පමණි. එනම්, දකුණු දිග මයාමි (මියාමි) වැනි ජනපදයක් වෙත යාමයි. උදාහරණයක් වශයෙන් උතුරුදිග මිනාපොලිස් ජනපදයේ සිට මයාමි බලා යන අයෙකුට අත් විඳින්නට සිදුවන උෂ්ණත්ව වෙනස අංශක 100 කි.

මිහිමත දේශගුණය සහ කාලගුණික රටා ඉතාම වේගයෙන් වෙනස් වන බවට මේ වන විට ඇස්පනා පිට පෙනෙන්නට තිබෙන හොඳම උදාහරණය වන්නේ ඇමරිකාවෙන් වාර්තා වන මෙම දරුණු ශීතලයි. නමුත් පුදුමයකට මෙන් ඇමරිකාවේ වත්මන් නායකයා, ඩොනල්ඩ් ට්‍රම්ප්, දේශගුණික වෙනස්කම් කියා දෙයක් නැතැයි ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන අයෙකි. ඔහු පැරිස් සම්මුතිය පවා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය.

මිහිතලය උණුසුම් වීම නිසා ඇතිවන හරිතාගාර ආචරණය මෙන්ම උත්තර ධ්‍රැවයේ හිම දියවීම සහ වෙනත් ස්වභාවික හේතූන් නිසා ද මෙම විපරිතයන් සිදු වේ. විචාරකයන් පෙන්වා දෙන්නේ ලෝකයේ ලොකුම හරිතාගාර වායු විමෝචකයා වශයෙන් මිහිතලය උණුසුම් වීමට වැඩි ම දායකත්වයක් ලබාදෙන ඇමරිකාව, දැන්වත් අවදි විය යුතු බව ය.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ| outboundtoday.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top