1150 x 80 px

 

වසරකට අලි ඇතුන් මියැදෙන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්!

වසරකට අලි - ඇතුන් වැඩි ගණනක් මියැදෙන රට ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන ඇතැයි සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසන පරිදි එම ගණන 200ක් පමණ වෙයි. ඉන් වැඩි ප්‍රමාණයක් අලි - මිනිස් ගැටුම හේතුවෙන් මියැදෙන බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් ස්වභාවික හේතු මත වසරකට අලි ඇතුන් මිය යන ගණන 6-7 අතර ප්‍රමාණයක් වන අතර සෙසු මරණ සියල්ල අලි - මිනිස් ගැටුමේ ප්‍රථිපලයන්ය. සාමාන්‍යයෙන් අලියෙකුගේ ආයූ කාලය වසර 80ක් පමණ වන බව පවසන කාරියවසම් මහතා කියා සිටින්නේ ප්‍රජනන කාර්යයය වසර දෙකක් පමණ ගත වන බවයි. අලි - මිනිස් ගැටුම හේතුවෙන් වසරකට පුද්ගල මරණද 150ක් පමණ වාර්තා වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සංඛ්‍යා ලේඛනවලට අනුව දින තුනකට අලි දෙදෙනෙක් මිය යන අතර සතියකට අවම වශයෙන් එය හතරක් පමණ වන බව සඳහන්. ඒ අනුව සාමාන්‍යයෙන් මාසයකදී අලි ඇතුන් 16 දෙනෙකු පමණ මියැදෙයි. පසුගිය වසරේදී පමණක් ඇතුන් 6 දෙනෙක් මිය ගොස් තිබේ.

මේ වන විට මෙරට වන ගහණය 16% පමණ ප්‍රමාණයක් දක්වා පහළ බැසීම හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමි වී ඇති බව කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. අලි මංකඩවල් මිනිස් වාසභූමි වීම හේතුවෙන් අලි ගම් වැදීම අනිවාර්ය කාරණයක් බවයි ඔහු සඳහන් කරන්නේ. මෙම තත්ත්වය මත අලි - මිනිස් ගැටුම දිනෙන් දින ඉහළ යමින් පවතින් බවත් ඊට විසඳුම් දීමට දේශපාලන අධිකාරියට මෙතෙක් හැකි වී නැති බවත් ඔහු අවධාරණය කරයි.

අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස 2008 වසරේදී අලි කළමණාකරන ජාතික ප්‍රතිපත්තියක් හදුන්වා දී තිබූ අතර එම ප්‍රතිපත්තියට අනුව 50km පමණ වන වනාන්තර ප්‍රදේශ ලකුණු කර එම සීමාව දැක්වෙන පරිදි වැටක් ගසන අතර එම වැටෙන් පිටට එන අලි පාලනය කර ගැනීමට නොහැකි ( යම් මට්ටමක දරුණු ) බවට සලකමින් ඔවුන් පෞද්ගලික පාර්ශව සඳහා ලබා දීමට තීරණය කර තිබේ. මෙය අලි - ඇතුන් ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් නොව අලි - ඇතුන් පෞද්ගලික පාර්ශව සඳහා විකිණීමට යෙදු සැලැස්මක් බව රවීන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top