1150 x 80 px

 

විකෘති  ජාන සහිත බීජ රට තුළට!

ඉන්දියාවේ ජාතික බීජ සංගමය හරහා බීජ නිරෝධායන අනුමැතීන් ලබා නොගෙන ඉන්දියානු බීජ සමාගම් විසින් බීජ මෙරටට ගෙන ඒමේ සූදානමක් පවතින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. එමගින් මෙරට බෝග ප්‍රභේදවලට රෝග පැතිරීමේ අවධානමක් ඇති විය හැකි අතර ලංකාවේ බීජ නිෂ්පාදන වෙළෙඳපොළ ඉන්දියානු සමාගම් අතට පත්වීමේ ඉඩකඩ පවතින බවයි එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.



ඇමරිකාව,නෙදර්ලන්තය, තායිලන්තය, පාකිස්ථානය, ජර්මනිය, ජපානය, මැලේසියාව වැනි රටවල සමාගම් විසින් මෙරට බීජ නිෂ්පාදන අයිතිය අත්පත් කර ගෙන සිටින අතර දැනටමත් ඉන්දියාව ගුණාත්මක බැවින් තොර බීජ හා වල් පැළෑටි බීජ සහිත අර්තාපල් හා ලූනු බීජ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වමින් සිටින බව ඔවුහු සඳහන් කරති. ඉන්දියානු සමාගම් ශාක ආරක්ෂණ පනත උල්ලංඝනය කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බීජ ගෙන එන අතර දේශපාලන බලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් රේගු දෙපාර්තමේන්තුවෙන් එම බීජ නිදහස් කර ගැනීම සිදුකරන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අවධාරණය කරයි.

නිරෝධායනය නොකළ බීජ මෙරටට ගෙන ඒම නීති විරෝධී ක්‍රියාවක් වන අතර ශාක ආරක්ෂණ පනතේ 10 (2) උප වගන්තියට අනුව එවන් වරදකට මාසයත් මාස හයත් අතර කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් දස දහසත් ලක්ෂයත් අතර දඩ මුදලකට යටත් කළ හැකිය. උක්ත සමුළුවට විරෝධය එල්ල වීමත් සමඟ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණේ එම බිජ රට තුළට ඇතුළු වීම වළක්වන ලෙසයි. එහෙත් අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති අතර බීජ වෙළෙඳපොළට ඇතුළු වීමට ඉන්දියාව දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

ඉන්දියානු සාම සාධක හමුදා මෙරට රැඳී සිටි සමයේ ඉන්දියාවේ එළුවන් ගෙන ඒමේදී ඒ සමඟ පාතීනියම් ශාකය මෙරටට පැමිණීමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල එම පාතීනියම් ශාකය ආක්‍රමණික ශාකයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවද එම ව්‍යාපාරය පෙන්වා දෙයි. එමෙන්ම මේ වන විට අර්තාපල් හා ලූනු බීජ සහ වල පැළෑටි මෙරටට පැමිණ තිබෙන අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට කෘෂිකර්මාන්තයට එය ඉතා අහිතකර තත්ත්වයක් ඇති කරනු ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top