ගැඹුරු මුහුදේ උළාකන්නෝ!

ඉන්දුනීසියාවේ අති සුන්දර කොරල්පරවලට ඔබ්බෙන් පිහිටා තිබෙනුයේ එක තැනක නොරඳන බුරුල් වැල්ලයි. එනිසා මුහුදු තීරයේ මාරක බව තවත් වැඩි වේ. එහි සැඟවීමට තැනක් නැත. එනිසා කළ යුතු හොඳම දෙය වෙස්මාරු කර ගැනීමේ ශිල්පයේ කෙළ පැමිණියකු වීමයි. වේෂාන්තරණයට ලක්වූ මුහුදු ජීවීන් මෙහි එමට ය.

ලහියේ ගමන් නොයෙදෙන්නේ නම් විශාල බෙල්ලෙක්ද නැති නම් ගලක්දැයි කිව නොහැකි විසල් බූවල්ලෝ මෙහි වෙති. මේ අතර ගර්නාඩ් වර්ගයේ මසුන්ගේ පෘෂ්ටීය වරල්වල පෙනුම නිසා උන් දිස්වන්නේ මත්ස්‍යයන් ලෙස නොව මුහුදු කටුස්සන් වර්ගයක් ලෙස ය. උන් වැල්ල සාරා කෑමට යමක් සොයන්නේ ද මේ පියාපත් බඳු වරල්වල ආධාරයෙනි.

මේ අතර ජෝ ෆිෂ්, පෙනුමෙන් බිම් ගොලුබෙල්ලකු වැනි ය. එහෙත් ඌ වැලි තුළ සාදාගත් කුඩා කුහරයක් තුළ සැඟවී ඉන්පසු ක්ෂණිකව උඩ මතුවී වැලි සහ රොඩු නොකඩවා වමාරයි. මේ සියල්ලන්ට ම වඩා මෙහි සිටිනා දැකුම්කලු ජීවියා වන්නේ වොන්ඩර්පස් බූවල්ලා ය. වොන්ඩර්පස් ගේ සපාකෑමක් අතිශ්‍ය වේදනාකාරී විය හැකි නමුත්, උගේ ග්‍රාහිකාවල මාරුවෙන් මාරුවට වැටී ඇති වයිරම් නෙත් අළවන සුළු ය. එනිසා මේ වෛවර්ණ අඬුපඬු අසලකවත් තිබෙනු දුටුවහොත් මත්ස්‍යයෝ පැත්ත පළාතකටවත් නොඑතී.

එහෙත් මේ මුහුදු පත්ල අතිශය අසිරිමත් ය. එය සැබවින්ම මුහුදු තණකොළ මිටියාවතකි. මුහුදක හෝ සාගරයක වැවෙන එකම සපුෂ්ප ශාකය වන මුහුදු තණකොළ, කොල කැස්බෑවුන්ගේ මනදොළ සපුරාලීම සඳහා ම මැවී ඇත්තා සේ පෙනේ. උළා කන්නන් සඳහා ම ඒවා වැල්ලෙන් ඉහළට පීත්ත පටි සේ මතු වෙයි. ශාකයේ වැඩිකොටස වැල්ල තුළ සැඟවුණු රයිසෝමයකි. එනම් භූගත මාංශ කඳකි. එනිසා පීත්ත පටිය උළා කෑව ද ශාකය මිය නොයයි. නැවත නැවතත් පීත්ත පටි පුබුදුවයි.

සරුවට වැඩුණු මුහුදු තණකොළ, මිටියාවත තනන විට ඒ දසුන මනහර ය. ලොව විශාලතම මුහුදු තණකොළ මිටියාවත පිහිටා තිබෙනුයේ බටහිර ඔස්ට්‍රේලියාවේ ය. එය ෂාක් බේ හෙවත් 'මෝර බොක්ක' යනුවෙන් හඳුන්වයි. මේ මහා ජලජ තණබිම වර්ග සැතපුම් එක්දහස් පන්සියයක් දුරට විහිදී පැතිරී තිබේ. ගොඩබිම තැනිතලා මෙන්ම මෙහිද උළාකන්නන් බහුල ය. එහෙත් ඒ අතරින් බහුලතම උළා කාන්නා, ලෝකය අඩුවෙන්ම හඳුනන ඩියුගොන්ග් ය.

ඩියුගොන්ග් කුඩා ඇතකු මෙනි. එක් ඩියුගොන්ග් රෑනක අඩුම වශයෙන් ඩියුගොන්ග්ලා පන්සිය දෙනෙක්වත් වෙති. උන් පිහිනන අයුරු උඩු ගුවනට දිස්වන්නේ හරිත මිටියාවතක් වෙතට පිය නගන දැවැන්ත මුහුදු හස්තීන් සමූහයක් මෙනි.

සාගරයේ වසනා දැවැන්තම ශාක භක්ෂකයා ද ඩියුගොන්ග් ය. ඔවුහු මීටර තුනක් පමණ දිගට වැඩෙති. බර ටොන් භාගයක් පමණ වේ. ඉන්දු පැසිෆික් සාගරයේ රටවල් තිස් හතක ට අයත් මුහුදු තීරයන් හි ඩියුගොන්ග්ලා දැකිය හැකි නමුත් මෙහි තරම් සුලබ ලෙස උන් අන්කිසි තැනක දිස්නොවේ.

ඩියුගොන්ග් විසින් මුහුදු තණකොළ උළා කන අයුරු දැකිය යුතු ම දර්ශනයකි. උහු මුලින් ම සමුදුරු පත්ල සිය හොම්බෙන් අවුස්සති. මේ සතුන්ගේ ප්‍රමාණයට සාපේක්ෂ ව නම් ඒ ඇවිස්සීම, මුහුදු පත්ල පිරිමැදීමකට සම කළද වරදක් නැත. උගේ හොම්බ, දිගින් අඩු හොඬවැලකට සමාන ය. කොතරම් සද්දන්ත වුවත් ඩියුගොන්ග් ලා මුහුදු තණකොළ හැර වෙනත් කිසිවක් ම ආහාරයට නොගනිති. නමුත් උන් කෑමට සොයනුයේ පෙර කී මුහුදු තණකොළ පත්‍ර හෙවත් පීත්ත පටි නොවේ. උන් ප්‍රිය කරන්නේ ඒවා මුල් පිටින් උදුරා කෑමට ය. හරියට ම කියතොත් මාංශල රයිසෝමයන්ගෙන් සන්තෘප්ත වීමට ය. උන් උළා කන විට මුහුදු පත්ල මෙතරම් ඇවිස්සී යාමට හේතුවද එයයි.

ඩියුගොන්ග් ලා දඩයක්කරුවන්ගේ පහසු ගොදුරකි. මුහුදු තණකොළ යහමින් බුදීම නිසාමා දැවැන්ත සහ පෘෂ්ටිමත් වූ ඩියුගොන්ග් ශරීරවලට දඩයක්කාරයෝ ලොබ බඳිති. එනිසා ඔවුහු මේ වන විට වඳ වී යාමේ තර්ජනයට පවා ලක් ව සිටිති.

ඩියුගොන්ග් ගේ හොඬය මෙන් පෙනෙන්නේ උන්ගේ සචල තොල් යුග්මයයි. ඒවාට වෙහෙසක් නොදැනෙන තරම් ය. මීටර සිය ගණනක් එක දිගට මුහුදු පත්ල සෑරීමට තරම් ඒවා සවිමත් ය. ඩියුගොන්ග් රෑනකට එක් දිනකදී පාපන්දු පිටියක් තරම් දැවැන්ත මුහුදු පත්ලක් උළා කෑමට පුළුවන. නමුත් භූගත රයිසෝමයන් ද ඩියුගොන්ග් සේ ම සිය ජීවන සටන පහසුවෙන් අත් නොහරියි. මුහුදු පත්ලේ අවසානයේ ඉතිරි වන්නේ කොතරම් කුඩා රයිසෝම කැබැල්ලක් වුවත් එයින් නැවතත් මුහුදු තණකොළ පීත්ත පටි දමන්නට පටන් ගනියි. ඉන්පසු නැවතත් මිටියාවතට ඩියුගොන්ග්ලා ඇදී එති.

-අවුට්බවුන්ඩ් ටුඩේ-

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top