Untitled 1

කුණු දැමීමට යෝජිත අලුත් ව්‍යාපෘතිය අරුක්කාරු .....

මීතොටුමුල්ල කුණු කන්ද නාය යාමත් සමග කුණු බැහැර කිරීම පිළිබඳව නම් වූ ප්‍රදේශයන් දෙකින් එකක් වූයේ පුත්තලම අරුවක්කාරු නම් ප්‍රදේශයයි. මෙම ප්‍රදේශයට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් හා විවේචන පළ වූ බැවින් ඒ පිළිබඳව විමසීමක් කිරීමට අප ගියෙමු.

යෝජිත ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වීමට සැලසුම් කර ඇති අතර  එළඹෙන සැප්තැම්බර් මාසය වන විට එහි මූලික කාර්යන් ආරම්භ කිරීමට නියමිත වේ. එම ප්‍රදේශය ජන ශූන්‍ය කළාපයකි.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ වෙරළ  තීරය සහ විල්පත්තු රක්ෂිතය අතර වන්නටය.

අදාළ ප්‍රදේශය හුණු ගල් කැණීම් අවසන් කර අත්හරිනු ලැබූ වලවල් සහිත වන අතර එම සමහර වළවල් අඩි 60 ක් 70 ක් පමණ ගැඹුරු වෙයි. මෙම වළවල් කරා රැගෙන යන කුණු Sanitory land filling ක්‍රමය අනුගමනය කරමින් ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුව පිරවීමට නියමිත වේ. අදාළ පිරවීමෙන් පසු මතුපිට ශාක ස්ථරයක් වගා කෙරේ.

කැනීම් කර අත්හැර දමන ලද වළවල්

කොළඹ, ජයවර්ධනපුර, දෙහිවල ගල්කිස්ස යන මහ නගරසභාවලට අයත් කුනු මෙම ක්‍රමය යටතේ ඉවත් කිරීමට නියමිතය.

මෙම මහ නගරසභා වලින් කුණු එක් දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ එකතුවේ. ඒවා කැළණිය ආශ්‍රිතව ඉදිකරනු ලබන හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් එහිදී දුම්රිය පරිවහන මැදිරිවලට හුවමාරු කරනු ලැබේ. (මෙහිදී කිසිම ආකාරයකින් කුණු තැන්පත් කිරීමක් සිදුනොකරන බව ව්‍යාපෘතිය පෙන්වා දෙයි.) ඉන් පසු දුම්රිය මගින් අදාළ ස්ථානය කරා රැගනෙ යයි. වරකට දුම්රිය මගින් කුණු මෙට්‍රික් ටොන් 600ක් පමණ මෙසේ රැගෙන යාමට හැකි පහසුකම් සැලසීමට කටයුතු කරන බව බව බලධාරීන් පවසයි. සිමැන්ති කම්හල වෙත හුණු ගල් පරිවහනය කිරීම සඳහා ස්ථාපිත දුම්රිය මාර්ගයක් දැනටමත් තිබීම මෙහි විශේෂ වාසියක් ලෙස පවතී.

හුවමරු මධ්‍යස්ථානයේදී  කුණු දැඩි පීඩනයකට  (Compress) ලක්  කිරීමක් සිදුවන අතර බැහර වන කුණු දියරය (Leechet) පිරිසිදු කිරීමේ යාන්ත්‍රණයට යොමු කෙරේ. එවිට කුණු වල ඇති ජලය ඉවත්වීමෙන් පරිවහනය පහසු වනු ඇත. දුගද බොහෝ දුරට ඉවත් වනු ඇත. බලධාරීන් පවසන පරිදි මෙම ස්ථානය දුගදකින් තොර ස්ථානයකි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 ක් වැය වන බව දැනට ගණන් බලා තිබේ. එසේම 2019 දී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර කැබිනට් අනුමැතියද මෙම ව්‍යාපෘතිය සඳහා හිමිව ඇති බව ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී විශය භාර ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා ශඛ්‍යතා අධ්‍යනය සිදුවෙමින් පවතී. ඒ සඳහා ජලය පවතින ගැඹුර (water table) සහ පස පරීක්ෂා කිරීම්ද මේ වන විට අවසන්ව ඇත.

මෙම කුණු තැන්පත් කිරීමට බලාපොරොත්තු වන වළවල් මුහුදු වෙරළේ සිට මීටර් 300 ක් පමණ එපිටින් පිහිටා ඇත.

ජල තලය හා පස්  පරීක්ෂා කිරීමට නියැදි ගත් ස්ථානයක්

Sanitary land filling සිදුවන් ආකාරය

යෝජිත ව්‍යාපෘතිය අනුව කුණු තැන්පත් කිරීමට ප්‍රථම පොලිතීන් සහ කළුගල් ස්ථර අතුරා ජලය කාන්දුවීම සහ පොලවට එම කුණු මිශ්‍රවීම වලකා ලයි. එසේම ප්ලාස්ටික් බට පද්ධති දෙකක් මෙහිදී උපයෝගී කර ගනු ලබන අතර එක් බට පද්ධතියක් පතුලේම සවි කර එයින් පොලොවේ ඇති ජල තලය යම් හෙයකින් ඉහළ ගිය හොත් තැන්පත් කරන කුණු තට්ටු හා මිශ්‍ර වීම වැලැක්වීමට කටයුතු කරයි, ඊළග බට පද්ධතිය ඊට මදක් මතුපිටින් අතුරන අතර කුණු සමග මිශ්‍ර වී ඇති ජලය පරිසරයට එකතුවීම වැලැක්වීමට යොදා ගැනේ.

ආකෘතිය

 

 කේ. විජේවර්ධන විසිනි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top