1150 x 80 px

බැඳුම්කරය: "අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි දීමට කැමති නැහැ"

 

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් පමණක් නොව ඔහුගේ මාමණ්ඩිය වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත සාක්ෂි ලබා දීම සඳහා කැඳවිය යුතු බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා අවධාරණය කරයි.


ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ බව කියා සිටියේ අර්ජුන් ඇලෝෂියස් ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි කැඳවනවාට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සඳුදා (සැප් 11) පළ කළ විරෝධයට ප්‍රතිචාර දක්වමිනි.

අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැඳවීම් නොකළ යුතු බවට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන නීති තර්ක මතු කරමින් දීර්ඝ වේලාවක් කරුණු ඉදිරිපත් කළේය.
අර්ජුන් ඇලෝෂියස් සාක්ෂියට කැඳවනවා දැයි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පළමුව කොමිසමෙන් විමසූ අවස්ථාවේ එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි කියා සිටියේ ඔහු කොමිසම හමුවට කැඳවන බවය.

ඊට විරෝධය පළ කළ ගාමිණි මාරපන ඒ සඳහා හේතු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා කොමිසමෙන් අවසර ලැබුණු අතර ඔහු එහිදී සඳහන් කළේ සිය සේවාදායකයා වන අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ සාක්ෂි දීමට කැමැත්තක් නැති බවය.
නඩුවක් සඳහා සාක්ෂි දීමට අකමැත්තක් දක්වන පුද්ගලයෙකු බලහත්කාරයෙන් සාක්ෂියට කැඳවීමට අධිකරණයට හෝ කොමිෂන් සභාවකට නීතියෙන් බලයක් නොමැති බවත් සාක්ෂි නොදී නිශ්ශබ්දව සිටීමට චූදිතයෙකුට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් ඇති බවත් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන සඳහන් කළේය.
"මූලික අයිතිවාසිකමක්"

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය පුද්ගලයෙකුට හිමි මූලික අයිතිවාසිකමක් බවය.
අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ දෙන සාක්ෂිය ඉදිරි කාලයෙහි වෙනත් අධිකරණයක පැවැත්වෙන නඩු විභාගයක දී ඔහුට එරෙහිව ප්‍රයෝජනයට ගැනීමට හැකි වීමෙන් ඔහුට අගතියක් සිදු විය හැකි බව නීතිඥ ගාමිණි මාරපන වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී කොමිසම හමුවේ අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා කියා සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පුද්ගලයා වශයෙන් කොමිසම හමුවේ ප්‍රකාශ වූ අර්ජුන් ඇලෝෂියස් සාක්ෂියට කැඳවීම අනිවාර්ය බවය.
අදාළ ගනුදෙනුව හා සම්බන්ධ කරුණු රාශියක් ඔහුගෙන් හෙළි කර ගත හැකි වනු ඇති බව කී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සඳහා සම්බන්ධ වී ඇති මහා බැංකු නිලධාරීන් සහ සෙසු පුද්ගලයන් ඇත්නම් ඒ සියලු තොරතුරු ඉදිරිපත් කිරීමෙන් කොමිසමට සහාය වීමට ඔහුට හැකි වන බවත් සඳහන් කළේය.
"අර්ජුන් මහේන්ද්‍රන් කැඳවිය යුතුයි"

"අර්ජුන් ඇලෝෂියස් මහතා සාක්ෂියට කැඳවන්නේ නැත්නම් මේ කොමිසමෙන් වැඩක් නැහැ. ඔහු පමණක් නොවේ, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද සාක්ෂි සඳහා කැඳවිය යුතුයි. එසේ නොවුනොත් කොමිසම හෑල්ලුවට ලක් වෙනවා"

"අර්ජුන් ඇලෝෂියස් කොමිසම හමුවේ කියන්නේ මොනවා දැයි දැන ගන්න ජනතාව නොඉවසිල්ලෙන් බලා ඉන්නවා" යනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍රසිරි කියා සිටියේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා අර්ජුන් ඇලෝෂියස් සාක්ෂි සඳහා කැඳවීම සම්බන්ධයෙන් බදාදා (සැප් 13) සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවය.

http://www.bbc.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top