1150 x 80 px

මස් රාත්තලම ඉල්ලූ අරුන්දිකට මස් කට්ටත් නැතිවෙයි
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අද කටයුතු කළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙසේ නියෝජ්‍ය ඇමතිවරයා ඉවත් කර තිබේ.
කලෙක පටන් අරුන්දික ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ විපක්ෂය සමග සමීප සබඳතා පැවැත්වූ අතර අවස්ථා කිහිපයකදී රජයේ තීරණ විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කළේය.
 
පසුගියදා සිය පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති අරුන්දික ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට නම් මුදල් අවශ්‍ය බවයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එයට කිසිසේත් එකඟ විය නොහැකි බවයි. මහින්ද රාජපක්ෂ මෙන් මුදල් ලබාදී හෝ ෆයිල් පෙන්නා කිසිවෙකු ආණ්ඩුවේ තබාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත්ව යන ලෙසත් ජනාධිපතිවයා ප්‍රකාශ කර තිබේ.
 
රනිල්ගෙන් කෝටි 20 ක් ඉල්ලලා
 
ඉන් පසු අගමැතිවරයා හමුවී ඇති අරුන්දික තමාට කෝටි 20 ක් ලබා දෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කර ඇත. මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් තමාට අයත් සමාගමට ලබාදෙන ලෙස ද අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් පසුව අදාල කොන්ත්‍රාත්තුව මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් වෙනත් සමාගමකට ලබාදී ඇති අතර අරුන්දි ප්‍රනාන්දු මහතාට තම බලාපොරොත්තු සුන්කර ගැනීමට සිදුවිය.
 
මේ නිසා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට අරුන්දික ප්‍රනාන්දු තීරණය කර ඇති අතර ඒ සඳහා මේ වනවිටත් මුදල් මිටි ගණන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ විසින් එම ගනුදෙනුවේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 5 ක් අරුන්දික ප්‍රනාන්දුට ලබාදී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට එක්වීමෙන් පසු තවත් මිලියන ගණනක් ලබාදීමට මහින්ද පාර්ශ්වය පොරොන්දු වී තිබේ.
 
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව අරුන්දික එජාපයට එක්වීමේ සූදානමක්ද පැවතිණි. ඔහු පුත්තලම දිස්ත්‍රික් එජාප නායකත්වය ඉල්ලා සිටි අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එයට එකඟ නොවීම නිසා අවසානයේ ඔහු එජනිසයෙන් මැතිවරණය ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top