1150 x 80 px

ඉත්තෑවෝ සහ ඉත්තෑවුන්ට මයික් අල්ලන කබල්ලෑවෝ ...

බලය බෙදීම යනු රට බෙදීමක් යැයි ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත් රට නොබෙදා බලය බෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවත් මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාතිවාදය වැපිරීමෙන් දේශපාලනයෙහි එදා වේල සොයා ගන්නා බොහෝ පාර්ශ්වයන්හි පශ්චාත් භාගයෙහි ඉත්තෑවුන් දුවන ආකාරයක් පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබිණි. ඒ අනුව ඊයේ (06) දිනයේ එවන් ජාතිවාදය වැපිරීමෙන් ජීවිකාව සොයාගන්නා බඩගෝස්තරවාදී නිකායේ භික්ෂුවක් වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ප්‍රකාශ කර තිබුණේ ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුවට ඒ දෝයි සැකයක් තමන්ට පවතින බවය. මරුවිකලෙන් ජාතිවාදී ප්‍රකාශ දොඩවන සෑම ඉත්තෑවෙකුට ම, හික් මීයෙකුට ම, උරුලෑවෙකුට ම පිළිතුරු දීම අපේ සිරිත නොවුණත් මහනායක හිමියන්ගේ නිර්භීත ප්‍රකාශය වෙනුවෙන් අප පෙනී සිටිය යුතු බව විස්වාස කරන නිසා සද්ධාතිස්ස භික්ෂුවට මෙසේ පිළිතුරක් සටහන් කරමු. 

 

පළමුව කිවයුත්තේ කාගේ හෝ වල්ගයක එල්ලී පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු කැන්ටිමෙන් දන් වැළදීමේ මේනියාවකින් පෙළෙනා චීවරධාරීන් රොත්තක් ම මේ දිනවල දේශපාලන කරළියෙහි දැකිය හැකි නමුත් සඟ සසුන් තුළ තමන්ට යා හැකි ඉහළම තැනට ගොස් ඇති මල්වතු මහනායක හිමියන්ට නම් එවැනි හීනමානයක් ඇති වගක් රටට පෙනෙන්නට නැති වගය. පාර්ලිමේන්තු වන්දනාව මෙපිටින් තබා එදාවේලට ලැබෙන මොණර කොළ වෙනුවෙන් ද සිවුර පිටින් ම රාජපක්ෂලාට කඩේ යන, ඉඳුල් හෝදන තැනට වැටුණු භික්ෂූන් මේ දිනවල දුලභ දසුනක් නොවේ. එහෙත් රටේ අනාගතය ගැන දීර්ඝ ලෙස සිතා බලා තීන්දු ගන්නා මහනායක හිමියන්ව තමන්ගේ මට්ටමට දමාගැනීමට තැත් කිරීම ඔවුන් විසින් නොකළ යුත්තකි. 

දෙවැන්න නම් දෙමළ ජාතික සන්ධානය යනු අද රටේ ප්‍රධාන විපක්ෂය බවයි. ඔවුන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් පිරිසකගෙන් සමන්විත රටේ ප්‍රධාන ම දේශපාලන පක්ෂ අතරින් එකක් මිස ත්‍රස්තවාදී කණ්ඩායමක් නොවේ. දෙමළ සන්ධානය ඉල්ලා සිටින්නේ ද බලය බෙදීමක් මිස රට බෙදීමක් නොවේ. එහෙයින් දෙමළ නම තිබුණු පමණින් දේශපාලන පක්ෂයක් කෙරෙහි වෛරී ප්‍රකාශ නිකුත් කිරීම සහ මහනායක හිමියන්ව ඊට අපහාසාත්මක අර්ථයකින් ( ඔවුන්ට අනුව ) ඈඳීම කවර ඉත්තෑවෙක් කළ ද එය හෙළා දැකිය යුතුය. මේ ඉත්තෑවුන්, වල් ඌරන් ඇතුළු ජාතිවාදී නඩයම වළි කන්නේ දෙමළ යන නම ඇසුණු පමණින් ම එතැන පන්දම් පාළි නටා රටා ගිනි ඇවිළවීමටය. 

අනෙත් අතට මෙතැනදී මල්වතු මහනායක හිමියන්ගේ ප්‍රකාශය යළි සිහිපත් කළ යුතුය. බලය බෙදීම යනු රට බෙදීමක් නොවන බවත් ඇතැමුන් එය වරදවා වටහාගෙන සිටින බවත් උන් වහන්සේ පැහැදිලිවම පවසා තිබේ. වරදවා වටහාහත් අයට නම් සත්‍ය තේරුම් කර දිය හැකි විය යුතුය. එහෙත් මේ සද්ධාතිස්සලා සම්බන්ධයෙන් නම් තත්වය වෙනස්ය. සැබැවින්ම නින්දේ සිටින්නන් ඇහැරවිය හැකි නමුත් හොරට නිදා සිටින්නන් ඇහැරවිය නොහැක. මේ මොහොතේ ව්‍යවස්ථා වගන්තියක කොටසක, වචනයක එල්ලී රට ගිනි තියන්නට උත්සාහ දරණා ඉත්තෑවුන් වල් ඌරන් ඇතුළු කාණ්ඩය අයත් වන්නේ හොරට නිදා සිටින්නන්ටය. බලය බෙදීම යනු රට බෙදීමක් නොවන බව ඔවුහු හොඳටෝම දනිති. එහෙත් දේශපාලනයෙහි එදා වේල හොයා ගැනීම වෙනුවෙන් "මෙන්න රට බෙදනවෝ" කියා බෙරිහන් දෙමින් ඩෙඟා නටති. 

මේ පාර්ශ්වයේ නායකයා වන මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදී රට හමුවේ කියන්නේ ද ඔහු ගෞරවනීය සාමයක් වෙනුවෙන් බලය බෙදාහැරීමකට සූදානම් බවය. යුද්ධයෙන් පසුව ද ඔහු එක්සත් ජාතීන් ඉදිරියේ පැවසුවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමකට තමන් එකඟ බවය. එහෙත් අද තමන් අත බලය නොමැති බැවින් රටේ ජනතාව බලය බෙදාගන්නවාට ඔහු විරුද්ධය. ඔහුගේ ලියන අප්පුලා, හේනේ මාමලා නටන්නේ ඔහු වයන පදයට ය. 

මෙම කතාවට මුල් වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුව ගැන ද යමක් සිහිපත් කළ යුතුය. වර්ගවාදී ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීම, අයුතු ජනරාශි, අධිකරණ කටයුතු වලට බාධා කිරීම්, අධිකරණයට අපහාස කිරීම් ඇතුළු චෝදනා දහසකුත් එකක් තිබියදී ම මොහුට එරෙහිව මිනීමැරුම් චෝදනාවක් ද තිබේ. "රාවණා බලයේ සද්ධාතිස්සට පොලීසිය බයද ?" මැයෙන් ලංකා නිව්ස් වෙබ් අපි එම කරුණ මීට පෙර හෙළිදරව් කළෙමු. අද මහානායක හිමියන්ගේ නැති ඇද හොයමින් අපහාස කරන්නට දඟළන්නේ චීවරය දැරීමටත් නුසුදුසු මෙවන් පුද්ගලයින්ය. අද රට බේරා ගැනීම ගැන කටමැත දොඩවන්නේ මේ වන විට බන්ධනාගාරයෙහි සිටිය යුතු මෙවන් පුද්ගලයින්ය. මහානායක හිමියන් සමඟ අපට ඇති ප්‍රශ්නය වන්නේ ද මෙවැන්නන් සඟ සසුනින් නෙරපා හැර සසුන ශුද්ධ කර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ය. 

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂුව තම අජූත ප්‍රකාශය කර තිබුණේ ද අපූරු මොහොතකය. එනම්, පසුගියදා මියන්මාර් සරණාගත පිරිසක් රඳවා සිටි නිවසකට පහරදීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අක්මීමන දයාරත්න භික්ෂුව බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි මොහොතේය. එක අත්තේ වහන එක වර්ගයේ කුරුල්ලන් එකිනෙකාගේ පිට කසා ගැනීම ගැන අපට වගක් නැත. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, ගලගොඩ අත්තේ ඥානසාර, අක්මීමන දයාරත්න වර්ගයේම කෙනෙකු වන ඇල්ලේ ගුණවංශ භික්ෂුව විසින් කලකට ඉහත "අපි එකම රෑනේ කුරුල්ලෝ" යනුවෙන් ගීතයක් රචනා කර තිබුණේ ද මේ සම්බන්ධයෙන්දැයි අප දන්නේ නැත. එහෙත් කටට එන පළියට වචන දොඩවා රට ගිනි තැබීමට මාන බලන ඉත්තෑවුන්, වල් ඌරන්, හිකනලුන් ඇතුළු සනුහරයට ද ඉත්තෑවුන්ට වොයිස් කට් දීමට මයික් අල්ලනා කබල්ලෑවුන්ට ද එකවර පැවසිය යුතුව ඇත්තේ වඩා විවෘතව රටේ අනාගතය ගැන සිතන පරම්පරාවක් විසින් ඔවුන්ව දේශපාලන වේදිකාවෙන් අතුගා දැමීමේ කාලය ඉතා ඉක්මනින් ම ළඟාවන බවය. 

සබැඳි පුවත් -

රාවණා බලයේ සද්ධාතිස්සට පොලීසිය බයද ?

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top