1150 x 80 px

මහින්ද, අප ළඟ 'මාධ්‍ය සඟයින්' නැත !

ඒ දශක ගණනාවකට එපිට, ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිර ගත කොට සිටි සමයයි. මාතර පියදාස මුදලාලි දිනක් උදෑසන තම කඩය විවෘත කර බලන විට දුටුවේ කඩයේ ඉදිරිපස ලෑලි පුරාවට පොල්ගෙඩි අකුරින් "රෝහණ විජේවීර නිදහස් කරනු!" කියා ලියා ඇති ආකාරයයි. පියදාස මුදලාලි කිසිත් නොකියා භූමිතෙල් ටිකක් ගෙන්නාගෙන වැකිය මකා දැම්මේය. ඊළඟ දිනයේ ද අවදි වී බලන විට ඔහු නැවතත් දුටුවේ පෙර වැකියම පෙර පරිදිම ලියා ඇති ආකාරයය. ඔහු එදිනත් කිසිත් නොකියා අමාරුවෙන් වැකිය මකා ගත්තේය. ඊළඟ දිනයේ ද බලන විට එකම සන්තෑසිය සිදු වී තිබිණි. මෙය නම් හරි නොයන බව දුටු පියදාස මුදලාලි එම ජාතියෙන් ම තීන්ත ටින් එකක් ගෙන්වා ගෙන, ලියා තිබු වැකියට යටින් "රෝහණ විජේවීර මෙහි නැත!" කියා ලොකුවට ලීවේ ලු. 

 

මේ කතාව හදිසියේ සිහිපත් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එවා තිබූ ඊමේල් පණිවිඩ දෙකක් නිසාය. දින කිහිපයකට ඉහත ඔහු විසින් එවා තිබුණේ නාමල් රාජපක්ෂ, ඔහු විසින් කුලප්පු කර අධිකරණ නියෝගයක් කඩ කරවා අත් අඩංගුවට පත් කරවූ හම්බන්තොට වැසියන්ගේ සුව දුක් බලන්නට තංගල්ල බන්ධනාගාරයට යන බැවින් ඊට මාධ්‍ය ප්‍රචාරය ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමකි. එහි ආමත්‍රණය තිබුණේ "මාධ්‍ය සඟයන් වෙත" යනුවෙනි. ඉල්ලීම නම් වෙනදා මෙන් ම කොහෙත්ම ගණන් නොගත් නමුත් ආමන්ත්‍රණය යතුරු ලියන දෝෂයකැයි සිතා එදින අතැර දැමුවෙමු. මහින්ද අදත් අපට ඊමේල් පණිවිඩයක් එවා තිබේ. ඒ, නාමල්ගෙන් හම්බන්තොට පොලීසිය කට උත්තරයක් ගන්නා බැවින් ඒ මොහොතට 'මාධ්‍ය සඟයන්' සහභාගී කරන ලෙස ඉල්ලමිනි. 

හිටපු ජනාධිපති තුමනි, අප ආයතනයේ නම් 'මාධ්‍ය සඟයින්' නැත !

මේ ඊමේල් පණිවිඩය මහින්ද රාජපක්ෂ විසින් යවා ඇත්තේ ඔහු වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ බයිස්කෝප් නටන 'සංඝයා වහන්සේලා' සෙට් එකට වන්නට බැරි නැත. 'මාධ්‍ය සඟයින්' කියා අමතා ඇත්තේ ඒ නිසා විය යුතුය. ඒ අතරින් අක්මීමන දයාරත්න සඟයා දැනට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුළු පිරිසක් ඒ සඟයා බලන්නට බන්ධනාගාරයට වඩින නිසා බිසීය. තවත් සඟයින් පිරිසක් ඔබේ මලයා වන ගෝටාබය සමඟ 'එළිය' බලන්නට තැත් කරනවාද දක්නට ලැබිණි. ඔබේ එළිය මදි පාඩුවක් වී ඇති සැටියකි. ගලගොඩ අත්තේ ඥානසාර සඟයා නම් කලක පටන් ම අතුරුදන් ය. එහෙයින් නාමල්ට අද පොලීසියට යන්නට වන්නේ 'සඟයින්' පිරිවරාගෙන නොවේ. 

මුල් ඊමේල් පණිවිඩය දුටු විට මෙය අක්ෂර වින්‍යාසයේ අත්වැරදීමක් ලෙස සිතුනු මුත් පසුව මතක් වූයේ මෙය මහින්දගේ ගති ලක්ෂණ වලින් එකක් බවය. එහෙයින් නැවතත් කියමි. දිගින් දිගට ම අපෙන් මාධ්‍ය සඟයින් ඉල්ලා අමනාප නොවන්න. අප ළඟ මාධ්‍ය සඟයින් නැත. ඊළඟ දිනයේත් සඟයින් ඉල්ලා සිටියහොත් අපටත් පිළිතුරු දීමට සිදුවන්නේ මාතර පියදාස මුදලාලි ලවාම බව කරුණාවෙන් සලකන්න.

ප.ලි. - 

මහින්ද මෙයින් ආමන්ත්‍රණය කළේ මාධ්‍ය සගයින්ට නම්, ඔවුන්ට මහින්දගේ යුගයේදී හමුවුණේ මහින්දලා විසින් එවූ තගයින් ය. එහෙයින්ම ඔවුන්ගෙන් කොටසක් දැනට වෙසෙන්නේ 'පස් යට' වන අතර තවත් පිරිසක් වෙසෙන්නේ පණ බේරාගැනීමට ගිය 'පිට රට' වලය. එනිසා මහින්දට දැන් කොහොමත් අඬගසන්නට වෙන්නේ 'සඟයින්ට'ම තමාය. 

 

namal sanga

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top