1150 x 80 px

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂණ !

දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් රජයට බල කරමින් සිකුරාදා (13) උතුරේ හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට සූදානම් බවට තොරතුරු වාර්තාවේ. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය සඳුදා යාපනයේදී ආරම්භ කළ උද්ඝෝෂන මාලාවට සමගාමීව මෙම හර්තාල් ව්‍යාපාරයද පැවැත්වෙනු ඇති බවත් එදිනම සවස කොළඹ, කොටුව දුම්රියපොල ඉදිරිපිට දී උද්ඝෝෂනයක් ද පැවැත්වීමට සූදානම් කර ඇති බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශකයකු සඳහන් කළේය. 

 

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් තිදෙනෙකු විසින් පසුගිය 25 වනදා සවස ආරම්භ කළ උපවාසය දැනට 16 වන දිනටත් ක්‍රියාත්මක වන නමුත් බලධාරීන් ඔවුන්ගේ ගැටළුවට විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් ගන්නා ආකාරයක් දිස් වන්නේ නැත. එම සිරකරුවන් තිදෙනා සම්බන්ධ නඩුව අත්තනෝමතික ලෙස වව්නියාව මහාධිකරණයෙන් අනුරාධපුර මහාධිකරණයට මාරු කිරීමට විරෝධය පළ කරමින් ඔවුහු මෙසේ උපවාසයේ යෙදී සිටිති. 

එසේම 130 - 135ත් අතර පිරිසක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවෙහි රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව හරහා කොතෙකුත් ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කෙරුණ ද ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් රජයේ පාර්ශ්වයෙන් නිකුත් නොවීම මෙසේ හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට හේතු වී තිබේ. 

යුද්ධය අවසන් වී වසර 8කට අධික කාලයක් ගතව තිබියදී සහ සෘජුවම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි ක්‍රියාකාරකම් වලට නායකත්වය දුන් පිරිස් රජය විසින් නිදහස් කොට තිබියදී මෙම පිරිස පමණක් තවමත් මෙසේ දීර්ඝව බන්ධනාගාර ගතකර තැබීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 

ජාතීන් අතර සංහිඳියාව ගොඩ නැඟීම සඳහා ගන්නා මුල් පියවරක් වශයෙන් මෙම දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව දේශපාලන තීන්දුවක් මඟින් නිදහස් කළ යුතු බව එම ව්‍යාපාරය අවධාරණය කරයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top