1150 x 80 px

කන්තලේ සීනි සමාගමේ දේපළ අනතුරේ යැයි පැමිණිල්ලක්

කන්තලේ සීනී සමාගමේ අබලි ද්‍රව්‍ය විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබියදී එම පරිශ්‍රයට කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ තවත් පිරිසක් ඇතුළු වීම හේතුවෙන් විකිණීම සඳහා කටයුතු යොදා ඇති රුපියල් මිලියන 540ක් වටිනා අබලි ද්‍රව්‍ය අනතුරේ පවතින බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙසත් ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 

 

එම පැමිණිල්ලෙහි සඳහන් වන ආකාරයට රාජ්‍ය ආයතනයක් වන කන්තලේ සීනි සමාගමෙහි අබලි ද්‍රව්‍ය විකිණීම සඳහා මීට මාස 5කට පමණ පෙර ටෙන්ඩර් කැඳවා ඇති අතර එහි දී ලැබුණු ඉහළම ලන්සුව රුපියල් මිලියන 540කි. එහෙත් අදාල සමාගම මුදල නොගෙවූ හෙයින් ඊට අදාල ටෙන්ඩර් පටිපාටියට අනුව කටයුතු කෙරෙමින් පවතිද්දී සුගත් වැලිවිට නම් කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු WP - CAW 0330 දරණ ජීප් රථයෙන් ද තවත් පිරිසක් WP - KG 9966 දරණ වෑන් රථයෙන් ද ඊයේ (10) දින කන්තලේ සීනි කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වී තිබේ. 

සීනි කර්මාන්ත ශාලාවට කිසිසේත්ම අදාල නොවන පුද්ගලයින් පිරිසක් මෙසේ එම පරිශ්‍රයට ඇතුළුවීම දැඩි ලෙස සැක සහිත බැවින් සහ කර්මාන්ත ශාලා භූමියෙහි මිලියන 540කට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ පවතින බැවින් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් අදාල ස්ථානයට පොලිස් ආරක්ෂාව සපයන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ ඉල්ලා සිටී. 

මෙම පැමිණිල්ලෙහි විත්තිකරුවන් ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස්වරයා නම් කොට තිබේ.

සබැඳි පුවත් - 

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා චංචල දේපල විකුණයි !

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top