1150 x 80 px

මහාචාර්ය මොහාන් මුණසිංහට ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානය

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විරල ගණයේ බුද්ධිමතෙක් සහ තිරසාර සංවර්ධනය, ආර්ථිකය, බලශක්තිය සහ පරිසරය  පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විද්වතෙක් වන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා හට ප්‍රංශය විසින් එරට ඉහළම ගෞරව පුරවැසි සම්මානය වන Officier de la Légion d’Honneur (Officer of the Legion of Honour  පිරිනමනු ලැබීය.

ඔක්තෝබර් 9 වැනි දින මෙම ගෞරව සම්මාන පිරිනැමීම සිදුවුණේ රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි පිහිටා තිබෙන ප්‍රංශ තානාපති නිල නිවසේදී ය. ප්‍රංශ තානාපති ජින්-මරින් ෂූ මහතා මෙන්ම ගරු කථානායක කරු ජයසූරිය මහතා ද මේ අවස්ථාවට සහභාගි වී සිටියේය. 

The “Légion d’Honneur” යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම ගෞරව සම්මානය ප්‍රංශ ජනරජය විසින් පුද්ගලයෙක් වෙත පිරිනැමිය හැකි ඉහළම ජාතික සම්මානය සහ පදවිය වෙයි. මෙය කෙළින්ම ප්‍රංශ ජනාධිපතිවරයාගේ විෂය පාත්‍රතාවය යටතට ගැනෙන්නකි.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මැන්චෙස්ට් සරසවියේ සහ බ්‍රසීලයේ පාරා සරසවියේ තිරසාර සංව්ධනය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් දැනට සේවය කරයි. 2007 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිටපු ඇමරිකානු උප ජනපති අල් ගෝර් සහ ‘පාරිසරික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලය’ (Intergovernmental Panel on Climate Change -IPCC) නම් ආයතනයක් අතර සමසේ බෙදී ගිය බව ඔබට මතකද? මෙම පාරිසරික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය පැනලයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ය. ඔහුව ජාත්‍යන්තර වශයෙන් බොහෝ දෙනා දැන සිටින්නේ ද ඒ අනුව ය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා 2015 දෙසැම්බර් මස ලෝකයේම අවධානය දිනාගත් පැරිස් දේශගුණික සම්මුතිය හෙවත් COP21 සාර්ථක කර ගැනීම සඳහා මහත් මෙහෙයක් කළ විද්වතෙක් ද වේ. ශ්‍රී ලාංකික මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම, තිරසාර සංවර්ධනය හා ලෝකයේ බලශක්ති අර්බුදය මෙන්ම විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර සහ, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ගෝලීය මට්ටමේ සන්නිවේදනයන් සාර්ථක කර ගැනීම පිණිස ඔහු විසින් සිදුකළ, කිසිදා අසාර්ථක නොවූ කාර්යභාරය අගයනු වස් මෙම සම්මානය පිරිනමන බව ප්‍රංශ තානාපති කාර්යාල නිල නිවේදනය සඳහන් කරයි.

- අමාලි ජයවීර

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top