1150 x 80 px

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා

දින 27ක් පුරා උපවාසයෙහි නිරත වී සිටින මදිඅරසන් සුලක්ෂන්, දර්ශන් ගනේශන් සහ ආර්. තිරුවරුල් යන දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නඩුව වව්නියාව මහාධිකරණයට මාරු කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් රජයට බලකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් අද (23) දින අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක් පවත්වන ලදී. 

 

දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් සහ පූජකවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. විරෝධතාවය අවසානයේ අධිකරණ අමාත්‍යවරිය වෙත මෙම සිරකරුවන්ගේ ගැටළුව පිළිබඳව සඳහන් ලිපියක් භාරදීම ද සිදු කෙරිණි. 

විරෝධතාවය අතරතුර ඊට සමගාමීව නිරූපණ කලා (Performance art) අංගයක් එම ස්ථානයේ ඉදිරිපත් කළ තරුණයකුව පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් හට ගැණුනි. එම තරුණයා යුධ හමුදා ඇඳුමට සමාන ඇඳුමක් හැඳ සිටින බවටත් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කළ නොහැකි බවටත් වශයෙන් පොලීසිය චෝදනා කළ අතර විරෝධතාකරුවන් විසින් ඊට තියුණු පිළිතුරු ලබා දෙනු දක්නට ලැබිණි. දිගින් දිගට තර්ක කළ ඉහළ පොලිස් නිලධාරියකුට ද අවසානයේ විරෝධතාකරුවන් හමුවේ මෙය කලාංගයක් ලෙස පිළිගෙන ඉවත්ව යාමට සිදු විය. පොලීසිය පැමිණ සිටින්නේ විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සඳහා බව පොලිසිය විසින් පවසද්දී ඔවුන්ට 'හූ' වකින් පිළිතුරු ලැබුණු අතර පසුගිය මාස 10ට පොලීසිය විසින් 10 දෙනෙකු ඝාතනය කර ඇති බව ද විරෝධතාකරුවන් විසින් සිහිපත් කරදෙන ලදී. කෙසේවෙතත් විරෝධතාවය අවසානයේ නිවෙස් බලායාමට පිටත් වෙද්දී පෙරකී තරුණයාව නැවතත් අත් අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර උණුසුම් වචන හුවමාරුවකින් පසුව පොලීසිය සිය උත්සාහය හකුළාගනු දක්නට ලැබිණි. නිහඬ විරෝධතාවකටවත් ඉඩ නොදෙන තැනට යහපාලන පොලීසිය ගමන් කර ඇතැයි තදබල දෝෂාරෝපණයක් ඒ මොහොතේ පොලීසිය වෙත එල්ල විය.

- රුවන් නෙළුගොල්ල 

pol pri 001

pol pri 002

pol pri 003

pol pri 004

pol pri 005

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top