1150 x 80 px

ඒකාබද්දෙ හතක් මෛත්‍රී සරණ යයි ?
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වීමට නියමිත බව වාර්තා වේ. මන්ත්‍රීවරුන් 07 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මේ සඳහා සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පසුගිය දිනවල ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සහ මෛත්‍රී පාර්ශ්වයේ පිරිසක් දෙපාර්ශ්වය නැවත එකතු කිරීම සඳහා දිගින් දිගටම උත්සාහ ගත් අතර තවමත් එය සාර්ථක වී නොමැත. එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එසේ එක්වීමට නම් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ලැබී ඇති ඉල්ලීමයි. මෙය පිටුපස සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.
 
එම ඉල්ලීමට මෛත්‍රී පාර්ශ්වය කිසිසේත් එකඟ නොවිය හැකි බව ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව බොහෝ දුරට ඉදිරි මැතිවරණයේදී ඔවුන් වෙනම තරග කරනු ඇත.
 
ඒකාබද්ධ විපක්ෂයේ සැලකිය යුතු පිරිසක් මෛත්‍රී සමග එක්වීමට කැමැත්ත පළකළද බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊට එරෙහි වී ඇති අතර මේ නිසා බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයට කඩා බිඳ දැමීමට උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ. දෙපාර්ශ්වය එකතු කිරීමට දිගින් දිගටම උත්සාහ කළද බැසිල් ඇතුළු පිරිස අනවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කරමින් තවදුරටත් දෙපාර්ශ්වය අතර ගැටලු ඇතිකිරීමට කටයුතු කරන බවයි මෙම මන්ත්‍රීවරුන් පිරිසගේ අදහස වී ඇත්තේ.
 
ඒ අනුව තවදුරටත් දෙපාර්ශ්වය එකතු කිරීම සඳහා උත්සාහ කිරීමේ පලක් නොවන බව මෙම පිරිස තේරුම් ගෙන ඇති අතර ඔවුන් මෛත්‍රී පාර්ශ්වයට එක්වීමට මේ වනවිට කැමැත්ත පළකර තිබේ. ඒ අනුව කිහිප දෙනෙකුට ඉදිරියේදී අමාත්‍ය තනතුරු ද පිරිනැමෙනු ඇත.
 
මෛත්‍රී පිලට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් බොහෝ දෙනා පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවන් වන අතර ඔවුන්ගේ සැබෑ අරමුණ වන්නේ එම චෝදනාවලින් ගැලවීමයි. ඒ අනුව පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂගේ දෑත් ආරක්ෂා කිරීමට එජාප මන්ත්‍රීවරුන් එවක පැවති රජය හා එක්වූ ආකාරයෙන්ම වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, ජනහිතකාමී වැඩපිළිවෙල ගැන පැහැදීම නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමක් කිරීම සඳහා ඔවුන් ආණ්ඩුවට එකතු වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top