1150 x 80 px

ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තයේ ඒකාධිකාරය බිඳීමේ යෝජනාවට නැව් සමාගම් දැවැන්තයාගේ සහයෝගය

ශ්‍රී ලංකාවේ භාණ්ඩ මෙහෙයුම් සහ නාවුක කර්මාන්තයේ පවතින ඒකාධිකාරය නැතිකර කර්මාන්තය ලිබරල්කරණය කිරීම සඳහා 2018 අයවැය යෝජනාවලින් දක්වා ඇති සාධනීය පියවර, ලෝකයේ විශාලතම බහාලුම් නෞකා සමාගම වන ඩෙන්මාර්කයේ AP Moller-Maersk හි ප්‍රශංසාවට ලක් ව තිබේ.

“ශ්‍රී ලංකාවේ නාවුක කර්මාන්තය ලිබරල්කරණය කිරීම පිළිබඳ 2018 අයවැය යෝජනා ඉතාම වැඩදායකයි. දැන් ලංකාව මෙය කළ යුතුව තිබෙනවා. ලංකාව විසින් එවැනි පියවරක් ගැනීමේ අවශ්‍යතාවය ගැන අප පූර්ණ අවබෝධයකින් පසුවෙනවා. දීර්ඝ කාලීන ව සලකා බලනවිට එවැනි වෙනසක් අත්‍යාවශ්‍යයි” යැයි එහිදී මරේස්ක් සමාගමේ දකුණු ආසියාතික කලාපයේ ජේ්‍යෂ්ඨ අධ්‍යක්ෂ ජුලියන් මයිකල් බෙවිස් මහතා පැවසීය.

‘‘නැව් කර්මාන්තය ලිබරල්කරණය කිරීම මගින් සෙසු තරගකරුවන් සමග එක පෙළට සිටගන්නට ලංකාවට හැකි වෙනවා. Maersk සමාගම කොළඹ වරාය විශාල කිරීමේ සැලසුම ගැනත් පසුවන්නේ ඉතාම උනන්දුවෙන්. මෙවිට අපට ශ්‍රී ලංකාවේ නැව් කර්මාන්තයේ සංවර්ධනය සදහා මීටත් වඩා විශාල කොටස්කරුවෙක් බවට පත්වන්නට පුළුවන්..“ යැයි ද ඔහු තවදුරටත් සදහන් කළේය.

මේ කරුණු සඳහන් වූයේ ඊයේ කර්මාන්ත හා වාණිජ ඇමති රිෂාඩ් බදියුදීන් සහ ඩෙන්මාර්ක තානාපති පීටර් ටැක්සෝ-ජෙන්සන් සමග 4 වැනිදා කොළඹදී පැවැත්වූ හමුවකදී ය.

AP Moller-Maersk සමාගම ලෝකයේ භාණ්ඩ මෙහෙයුම් සහ නෞකා කර්මාන්තයේ අති දැවැන්තයෙකි. ලෝකයේ විශාලතම නැව් සමාගමක් වීම හැරුණු විට සම්පිණ්ඩිත සමාගම් ජාලයක් (conglomerate) වන මෙය භාණ්ඩ ප්‍රවාහනය, බලශක්ති ආදී ක්ෂේත්‍රයන් හි දැවැන්තයන් වන Maersk Line, APM Terminals, Damco, Svitzer සහ Maersk Container Industry වැනි ශාඛාවන්ගෙන් සමන්විත ය. ලෝකයේ රටවල් 130 ක ක්‍රියාත්මක වන අතර සේවකයන් 88000 ක් එහි සේවය කරති.

- ඩේලි නිව්ස් ඇසුරෙන්.
- අමාලි ජයවීර

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top