1150 x 80 px

බස් රථවල දුක විකුණන ජාවාරම පොලිස් දැලේ

‍විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හට ප්‍රතිකාර ලබාගැනීම සදහා පවසමින් මගී ප්‍රවාහන බස් රථ තුළ ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අතරතුර මගීන්ගේ මුදල් පසුම්බි ද පොකට් ගැසූ පුද්ගලයෙකුගේ බිරිද අම්බලන්තොට හා කුට්ටිගල පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට නුගසෙවන ප්‍රද්ශයේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බිය පසුගිය 06 වනදා දහවල් මාතර සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයකදී නෝනාගම ප්‍රදේශයට ආසන්නයේදී නැති වී ඇති අතර එහිදී බස් රථයේ මුදල් එකතුකළ පුද්ගලයින් දෙදෙනකු ගැන සැක සිතී කුට්ටිගල පොලිසියට එම මොහොතේම දන්වා තිබේ .

අනතුරුව කුට්ටිගල පොලිස් නිලධාරින් හා මුදල් පසුම්බිය හිමිකාරිනියගේ ඥාතීන් එක්ව අදාළ ජාවාරම්කරුගේ විහාරගම කුට්ටිගල ප්‍රද්ශයේ නිවස සොයාගෙන ගොස් තිබේ . එහිදී අදාළ ජාවාරම්කරු නිවසින් පළාගොස් ඇති අතර සොරාගත් මුදල් පසුබිය සැගවීමට සුදානම් වූ ඔහුගේ බිරිද 06 දා සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල, යටියන්තොට ප්‍රද්ශයේ පිළිකාවකින් පීඩාවට පත්ව සිටින තම පියාට ප්‍රතිකාර ගැනීමට මෙන්ම ආබාධිත දරුවෙකුට ප්‍රතිකාර ලබාගැනීමට බව පවසමින් පොලිස් අත්අඩංගුවට පත් වයස අවුරුදු 20ක පමණ අදාළ කාන්තාව, සැමියා හා ඔහුගේ සොහොයුරෙකු සමග කාලයක් තිස්සේ මෙම ජාවරාම සිදුකර ඇති බවට මෙහිදී පොලිසිය කරුණු හෙළිකරගෙන තිබේ .

මේ අතර අදාළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී නිවස තුළ මෙට්ටයක් යට සගවා තිබූ විවිධ ප්‍රදේශයන්ට අයත් රෝගී දරුවන් ගේ හා පුද්ගලයින්ගේ ඡායාරූප සහ වෛද්‍ය වාර්තා ඇතුළත් ලිපි ලේඛන සොයා ගැනීමට හැකි වී තිබේ. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ, විශේෂඥ වෛද්‍යවරයෙකුගේ, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද ලිපි කීපයක් ද තිබී ඇත.

අදාළ පුද්ගලයින් කාලයක සිට බස් රථ තුළ මෙම ජාවාරම සිදු කරන බවට පොලිසිය සොයා ගෙන තිබේ. එමෙන්ම මෙම ජාවාරමට සම්බන්ධ අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට කුට්ටිගල හා අම්බලන්තොට පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top