1150 x 80 px

 

ඒකාබද්ධයේ ගැටුම් නිසා දිනේෂ්, විමල්, තිස්ස වාසි තැන් වලට තනියම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර සිදු කෙරුණු සාකච්චා බිඳ වැටීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ අතර ගැටුම් ඇතිවී තිබෙන බවට තොරතුරු වාර්තාවේ.

 

මෙම තත්ත්වය හමුවේ තවදුරටත් එක්ව තරග කරන ලෙසට ඒකාබද්ධ විපක්ෂයෙන් නිදහස් පක්ෂයට යෝජනා නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් ලැබෙන බව වාර්තාවේ.

දෙපාර්ශ්වය එක්ව පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවටඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ හා වීරකුමාර දිසානායක යන මහත්වරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස යටපත් කිරීමට කාල්ටන් මොන්ටිසෝරි කණ්ඩායම විසින් කටයුතු කරඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉටු කළ නොහැකි කොන්දේසි ඉදිරිපත් කරමින් ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීරීවරුන් ඊට දැඩි විරෝධයක් දක්වා තිබේ. මෙම තත්ත්වය හමුවේ පසුගිය 05 වන දින රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත්තේ සන්ධානයට අයත් පක්ෂ වෙන වෙනම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමටය.

ඒකාබද්ධ විපක්ෂයේ මත ගැටුම් නිසා මේ වනවිට තමන්ට වාසි සහගත ප්‍රදේශවලට වෙනම තරග කිරීමට මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය තීරණය කරඇති බවට තොරතුරු වාර්තාවේ. ඒඅනුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණ සීතාවක නගරසභාව, සීතාවක ප්‍රාදේශීය සභාව, මහරගම හා අම්පාර යන පළාත් පාලන ආයතනවලට වෙන වෙනම‘රෝදය’යටතේ තරග කිරීමට සූදානම් වේ. සමසමාජ පක්ෂය තමන්ට වාසි සහගත බලපිටිය ප්‍රදේශයට තනියම තරග කිරීම කෙරෙහි අවධානය යොමුකරඇත.

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ සීයට දහයක ප්‍රතිශතය යටතේ අපේක්ෂකයන් 800 කට පොදුජන පෙරමුණෙන් තරග කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස කරනලද ඉල්ලීම බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ 2015 ජනවාරි 08 දා රාජපක්ෂ පරාජයෙන් පසුව නැවත රාජපක්ෂවාදීන් බලමුළු ගැන්වීමේ පළමු කටයුත්ත 2015 අප්‍රේල් 08 දින නුගේගොඩින් ආරම්භ කළේ තම පක්ෂය බවයි. කෙසේවෙතත් එම පක්ෂයේ සෙසු නායකයන්ගේ යෝජනා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වී ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වියයුතු බවයි. ඊට නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රොජර් සෙනෙවිරත්න, සරත් කුමාර කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. මෙම තත්ත්වය මත විමල් වීරවංශ මහතා දේශපාලන වැඩසටහනකදී පැවසුවේ 2002 දී එජාපය පරාජය කිරීමට චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය ජාතික න්‍යාය පත්‍රයකට කැමැති කරගත් ආකාරයට සිරිසේන ජනාධිපතිවරයා ද ජාතික න්‍යාය පත්‍රයකට කැමැති කරගත යුතු බවයි.

කෙසේවෙතත් පවතින අර්බුදයහමුවේ ඒකාබද්ධය සමගි කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව මැතිවරණයට තරග කරවීම සඳහා සාම සාකච්චා ආරම්භ කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

- සත්හඬ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top