1150 x 80 px

 

නාමල්ගේ පවර් බිල්ඩිම රු. මිලියන 400කට ලොකුවිතාන මිලට ගනී!

නාමල් රාජපක්ෂ ට අයත් ව තිබූ බව ට විශ්වාස කෙරෙන කොළඹ 5, ගවර් වීදියේ පිහිටා තිබූ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් මේ වන විට ප්‍රකට දේශීය ව්‍යාපාරිකයෙක් වන නන්දන ජයදේව ලොකුවිතාන වෙත විකුණා තිබේ. මෙම ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය පිළිබඳ විවිධ මතභේද පවතින අතරවාරයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය පා.ම. නාමල් රාජපක්ෂ ට අයත්ව තිබූ එකක් බවයි. මෙහි තිබෙන උනන්දු සහගතම කාරණය වන්නේ ලොකුවිතානගේ නම, වංචාවන් සහ බදු පැහැරහැරීම්වලින් කළු සල්ලි උපයන ධනවතුන්ගේ වත්කම් හෙළිකළ ‘පැනමා පත්‍රිකා’වල අන්තර්ගත ව තිබමයි.

ගොඩනැගිල්ල ට අදාළ ගිවිසුමේ එහි හිමිකරු වශයෙන් දැක්වෙන්නේ ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා ය. මේ අතර එය 2017 ජුලි 2 වැනිදා රුපියල් මිලියන 400කට මිලදී ගත් බව ඔප්පුවේ සඳහන් වෙයි. මෙම ඔප්පුව සහතික කර ඇත්තේ ඩබ්.සී.එස්. විජේවර්ධන නමැති නොතාරිස්වරයෙකු විසිනි.

වික්‍රමසිංහලාට අයිති නිවසක්

එම ලේඛනවලට අනුව මෙම ගොඩනැගිල්ලේ මුල් අයිතිකරු අංක 17/5, පස්වැනි පටුමගේ පදිංචිකරුවෙකු වන ඉෂංක වික්‍රමසිංහ නමැත්තෙකි. ඔප්පුවට අනුව 2011 අගෝස්තු 10 වැනිදා මෙම නිවස එහි ඉඩම ද සමග නිමල් පෙරේරා වෙත රුපියල් මිලියන 175කට විකුණා තිබේ.

පෙරේරා යන නම යටතේ පර්චස් 37.22 ක ඉඩම මිලදි ගෙන තිබුණ ද මාධ්‍ය විසින් එහි සැබෑ අයිතිකරු නාමල් රාජපක්ෂ වශයෙන් වාර්තා කර තිබුණේ එම මිලදී ගැනීම සඳහා අයථා අන්දමින් උපයාගත් මුදල් භාවිතා කළ බව ද සඳහන් කරමිනි. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්විණි.

නාමල් රාජපක්ෂගේ ව්‍යාපාර කටයුතු සිදුකරන කාර්යාලයක් මේ fාගඩනැගිල්ලේ පිහිටා තිබීම යන කාරණය සහ මිලදි ගැනීමෙන් අනතුරුව නැවත මැනීමක් සිදු නොකිරීම පමණක් මෙම සාධකය තහවුරු කිරීමට යොදාගෙන තිබිණි.

කෙසේ නමුත් කොළඹ නගර සභාවට මෙම හිමිකම් මාරුවීම පිළිබඳ තවම දැනුම් දී නැති අතර එහි තිබෙන ලිපි ලේඛනවලට අනුව තවමත් එම ගොඩනැගිල්ලේ හිමිකරු නිමල් පෙරේරා ලෙස සඳහන් වෙයි.

ඇමතිවරයෙක් සහ දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙක්

මේ අතර, ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු සහ ජනප්‍රිය දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙක් පසුගියදා සිදුකෙරුණු ඉඩම් ගනුදෙනුව සඳහා තැරැව්කරුවන් ලෙස කටයුතු කර ඇති බව ද අභ්‍යන්තර මූලාශ්‍ර විසින් හෙළිදරව් කරගෙන තිබේ.

ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්) සමාගම (Gowers Corporate Services (Pvt) Ltd.& ) හරහා නාමල් රාජපක්ෂ අයථා ලෙස උපයාගත් මුදල් යැයි විශ්වාස කෙරෙන රුපියල් මිලියන 30 ක මුදලක් විශෝධනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසින් නඩුවක් පවරා තිබුණ ද ඉහත කී අමාත්‍යවරයා එම නඩුවට යම්කිසි බලපෑමක් කිරීමට ඉඩ ඇතැයි පොලිසිය සැක පළ කර තිබිණි.

නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබුණේ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, බටපොළ ආරච්චිගේ ඔනෙලා ඉරේෂා සිල්වා සහ ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්.) සමාගමයි.

http://isis.lk/

 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top