1150 x 80 px

 

චොකා මල්ලිත් ලන්සා ගිය පාරේ ම ජනපති මුලා කිරීමට යයි

තමන්ට එරෙහිව පවතින මිනීමැරුම් නඩුවට යම් නීතිමය සහනයක් ලබා ගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ යළි එක්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් ප්‍රකාශ කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තාවේ.

 

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළියක් සඳහා සැරසිලි කටයුතු කරමින් සිටි ආධාරකරුවකුට වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳව ප්‍රේමලාල් ජයසේකරට චෝදනා එල්ල වී ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මරණාසන්න ප්‍රකාශය ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව ප්‍රබල සාක්ෂියක් ලෙස පවතී. වෙඩි තැබීම සඳහා අණදුන්නේ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර විසින් බවත් වෙඩි ප්‍රහාර එල්ල වුණේ ප්‍රේමලාල් ජයසේකර සිටි වාහනයෙන් බවත් එම සාක්ෂියෙන් හෙළිදරව් වී ඇත.

නිමල් ලන්සා මන්ත්‍රීවරයා ද පසුගිය යුගයේ බොහෝ චෝදනා එල්ල වී තිබුණු පුද්ගලයෙකි. ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය පළ කරමින් ආණ්ඩුවට එක්ව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද ලබා ගෙන ආණ්ඩු බලයෙන් තමන්ට එරෙහිව පැවති නීතිමය කටයුතු යටගසා ගත් අතර ඉන් පසුව ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව යළි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පොහොට්ටු පක්ෂයට සහාය පළ කළේය.

ඒ අනුව යමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ද නුදුරු දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී ප්‍රකාශ කර ඇත්තේ "සර් මාත් ලන්සා කරපු එකම කරන්නයි ඉන්නේ. පොඩ්ඩක් ඉන්න. මගෙ නඩුව යට ගහගත්තු ගමන් මාත් පොහොට්ටුවට එකතු වෙන්න එනවා" යනුවෙනි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටු පක්ෂයට සැලකිය යුතු බලයක් ලබාගත හැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වී පොහොට්ටුවට යාමට බලා සිටින මන්ත්‍රීවරුන්ට එය උත්තේජකයක් වනු ඇත. එසේ නොවී පොහොට්ටුව මැතිවරණයෙන් දැඩි පසුබෑමකට ලක් වුවහොත් අද පොහොට්ටුව සමඟ සිටින බොහෝ මන්ත්‍රීවරුන් ඉන් ඉවත් වී ආණ්ඩුවට එකතු වනු ඇත.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top