1150 x 80 px

 

යහපාලන ආණ්ඩුව - අවසානයක ඇරඹුම ද ?
වත්මන් ජනාධිපතිවරයාට වසර 2021 දක්වා ධූරයේ රැඳී සිටීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (10) යැවූ ලිපිය හේතුවෙන් යහපාලන ආණ්ඩුව තුළ අර්බුදයක් මතුව තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ අදාල ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා හෝ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වයක් වන එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොකිරීමයි.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සමග අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී එජාප ඇමතිවරුන්ගෙන් ජනාධිපතිවරයාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
 
බැඳුම්කර වාර්තාවේ පිටපතක් අගමැතිවරයාට ලබා නොදීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර යම් දුරස්ථභාවයක් ඇතිව තිබිණි. අද සිදුවූ සිදුවීම හේතුවෙන් මේ වනවිට එජාපය හා ශ්‍රීලනිපය අතර සබඳතා ඇණහිට ඇති අතර එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව බිඳවැට්ටවීමේ උත්සාහයක නිරත වන බවයි.
 
එහෙත් අගමැතිවරයා එම මතය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා එවැනි උත්සාහයක් ගන්නා බවට තමන් කිසිසේත් විශ්වාස නොකරන බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව අවධාරණය කර ඇති අගමැතිවරයා මෙවැනි සිදුවීම් හරහා ඒකාබද්ධ විපක්ෂය වාසි ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් පරෙස්සමෙන් කටයුතු කරන ලෙස එජාප ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
 
මේ අතර ලබන 17 වැනිදා බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
 
මෙම සිදුවීම් හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක අතර යම් දූරස්ථභාවයක් නිර්මාණය වී තිබේ. එහෙත් තවමත් අගමැතිවරයා සිටින්නේ ශ්‍රීලනිප ඇමතිවරුන් සම්බන්ධයෙන් කෙසේ වෙතත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයෙනි. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරය සිදුකළේ එක්සත් ජාතික පක්ෂය බැවින් එම විශ්වාසය කිසිසේත් කඩ නොකරනු ඇති බවට වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකර සිටී.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top