1150 x 80 px

 

පුංචි ඡන්දය නිරීක්ෂණයට පැෆ්රල් සූදානම්
වසර දෙකහමාරකට වැඩිකාලයක් විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් දමන ලද පළාත් පාලන ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීමට  කටයුතු කිරීම පිළිබද ඒ හා සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට අපගේ ප්‍රසාදය පළ කරමු.
ප්‍රථම අදියරේ දී පළාත් පාලන ආයතන 93ක් සහ දෙවන අදියරේදී පළාත් පාලන ආයතන 248 ක් වශයෙන් පළාත් පාලන ආයතන 341 ක ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත අතර  ඒ සඳහා වන මූලික කටයුතු මැතිවරණ කොමිසමේ සභාපති වරයා ප්‍රමුඛ  නිලධාරීන් විසින් මේ වන විට සිදුකරමින් පවතී.
 
මෙවර ඡන්ද විමසීමේදී,
මහනගර සභා               24
නගර සභා                    41
ප්‍රාදේශීය සභා              276
 
එකතුව                        341
 
මෙම පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයන් 8346 ක් තෝරා පත්කර ගැනීමට නියමිත ය.  සමානුපාතික සහ කේවල යන ක්‍රම දෙකම මිශ්‍ර කරමින් සැදුම්ලත් නව ක්‍රමයක් යටතේ  පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරාපත් කිරීම මෙවර ඡන්ද විමසීමේ විශේෂ ලක්ෂණයක් සේ අපි දකිමු.
 
ඡන්ද නිරීක්ෂණයට 7000 කට අධික පිරිසක්.
 
පසුගිය මැතිවරණයන්හිදී නිරීක්ෂණ කටයුතු  සිදුකළ ආකාරයටම නාම යෝජනා භාර දීම ආරම්භ කළ දින සිට පළාත් පාලන ඡන්ද විමසීම   නිරීක්ෂණය සඳහා පැෆ්රල් සූදානමින් සිටින අතර, පූර්ව මැතිවරණ සමයෙන් ආරම්භ වී පශ්චාත් කාලසීමාව දක්වා නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත ය.
 
විශේෂයෙන්, පූර්ව මැතිවරණ සමයේදී මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාධරයින් වැනි පළපුරුදු දිගුකාලීන නිරීක්ෂකයින් හරහා සියළු දිස්ත්‍රික්කවලට අයත් සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නිරික්ෂණ කටයුතු සඳහා 160 කට අධික දිගුකාලීන නිරීක්ෂකයින් පිරිසක් අප විසින් පුහුණු කර මේ වන විට නිරීක්ෂණ කටයුතු සදහා යොදවා ඇත. ඊට අමතරව අපගේ දිස්ත්‍රික් කාර්යාල හරහා ද , ප්‍රාදේශීය සම්බන්ධීකාරක වරුන් හරහා ද පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වේ. එමෙන්ම පුහුණුවීම් අවසන් කරන 4000 ක පමණ නිරීක්ෂකයින් පිරිසක් මෙම නිරීක්ෂණයට එකතු වේ.
 
මැතිවරණ දිනයේදී දේශපාලන වශයෙන් සංවේදී හා පූර්ව අත්දැකීම් අනුව යම් සිදුවීම් ඇතිවේ යැයි අනුමාන කරනු ලබන සහ ඡන්ද ප්‍රතිඵල ගණනය කර  ප්‍රකාශයට පත්කරනු ලබන ඡන්ද මධ්‍යස්ථාන සඳහා වැඩි සැළකිල්ලක් දක්වමින් ස්ථානගත නිරීක්ෂකයින් 4000 කට ආසන්න පිරිසක් යෙදවීමටත්,  එමගින් ආවරණය නොවන ඡන්ද මධ්‍යස්ථාන සඳහා සෑම පළාත් පාලන ආයතනයක්ම ආවරණය වන පරිදි ජංගම නිරීක්ෂකයන් සිව්දෙනෙකුගෙන් සමන්විත නිරීක්ෂණ රථ 341 ක් යෙදවීමටත් අපේක්ෂිතය.  
 
තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයින් දහසක්
 
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 22, 25 සහ 26 යන තෙදින තුළ පැවැත්වීමට සැළසුම් කොට ඇති බැවින්,   වැඩි  ඡන්ද ප්‍රමාණයක් සහිත සහ යම්කිසි අක්‍රමිකතාවයක් හෝ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවේ යැයි හැගෙන  සිවිල් ආරක්ෂක කඳවුරු, හමුදා කදවුරු, ගමනාගමන මණ්ඩල ඩිපෝ, අධ්‍යාපන කාර්යාල වැනි  ඡන්ද මධ්‍යස්ථාන  කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්  එම මධ්‍යස්ථාන සඳහා නිරීක්ෂකයින් දහසක් (1000) යෙදවීමටත් අපි බලාපොරොත්තු වෙමු.
 
මේ අයුරින් පූර්ව නිරීක්ෂණ අවධියෙන් ආරම්භ වී පශ්චාත් වකවානුව දක්වා අපගේ නිරීක්ෂණ ක්‍රියාවලිය  විහිදී යනු ඇත.
 
පැෆ්රල් විශේෂ පැමිණිලි ඒකකය
 
මිට අමතරව ප්‍රථම අදියරේ නාමයෝජනා භාරදීම ආරම්භ කළ විගස අපගේ විශේෂ පැමිණිලි ඒකකය ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කළ අතර,  මෙවර ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට සිදුවන අගතියක්, හිංසනයක්, අක්‍රමිකතාවයක් හෝ වෙනත් හේතුවක් සම්බන්ධයෙන් එකී පැමිණිලි ඒකකයට පැමිණිලි කිරීමට ඉඩ ප්‍රස්ථා සළසා ඇත. 
 
විශේෂයෙන්ම ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවන් සඳහා 25% ක නියෝජිනයක් ලබාදී ඇති අතර මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී  කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව සිදු කරනු ලබන චරිත ඝාතන, මඩප්‍රචාර සහ සමාජ වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන විවිධ හිංසනයන් මෙන්ම ප්‍රචාරක කටයුතුවලට බාධාකාරී වන තත්ත්වයන් ගැන විශේෂයෙන්ම සොයා බැලීමට අපේක්ෂිත ය.
 
අපගේ විශේෂ පැමිණිලි ඒකකයෙහි තොරතුරු ඔබගේ පහසුව පිණිස පහත සඳහන් කරමු.
 
පැෆ්රල් සංවිධානය -
නො 12/3, රොබට් ටෙරස් , රොබට් ගුණවර්ධන මාවත, කොළඹ 06.
 
පොදු දුරකථන - 011-2514441/2 / 011-3653656 (සිංහල මාධ්‍ය)  011-3653657 (දෙමළ මාධ්‍යය)
ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස් 011-2514443/ 011-2515011
හදිසි 071-4464258

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top