1150 x 80 px

 

ජාතික පොලිස් ඇකඩමිය පොලිස් පොඩ්ඩන්ට අකැපද ?

ජාතික පොලිස් ඇකඩමිය ( National Police Academy ) ස්ථාපිත කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්ව විද්‍යාල වලට අනුබද්ධ ආයතනයක් ලෙසය. මෙහි කාර්යක්ෂම පොලිස් සේවයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පාඨමාලා 26ක් ඉගැන්වීමේ කටයුතු කරනු ලැබේ. ඒ අතර අපරාධ විමර්ශනය, සයිබර් අපරාධ විද්‍යාව, ස්ථාන පරීක්ෂණය, මරණ පරීක්ෂණ මෙහෙයවීම, අපරාධ විද්‍යාවේ මූලිකාංග වැනි ඩිප්ලෝමා පාඨමාලා වේ.

 

මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ 86,000කට ආසන්න පිරිසක් වෙති. ඉන් 18,000කට ආසන්න පිරිසක් උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළට පොලිස් පරීක්ෂක, සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති වැනි ඉහළ තනතුරු දරන නිලධාරීන්ය. 68,000කට ආසන්න සංඛ්‍යාවක් ම සිටින්නේ පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන් වැනි තනතුරු දරන පොලිස් පොඩ්ඩන්ය. පොලිස් සේවයේ වැඩි බරක් අදින්නේ මෙකී පොඩ්ඩන් විසින්ය.

අපරාධ ස්ථාන පරීක්ෂා කර, කරුණු විමර්ශනය කර, අධිකරණයට කරුණු වාර්තා කරන්නේ පොලිස් පොඩ්ඩන් විසිනි. එහෙත් එවන් පොලිස් පොඩ්ඩන්ට ඉහත කී ජාතික පොලිස් ඇකඩමියේ පාඨමාලා හැදෑරීමට අවස්ථාවක් නැත. ජාතික පොලිස් ඇකඩමියේ පාඨමාලා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවන්නේ පෙරකී 18,000ක් තරම් වන ඉහළ තනතුරු හිමි පිරිසට පමණය.

මෙය බරපතළ අසාධාරණයක් නොවේද යන්න පිළිබඳව ලංකා නිව්ස් වෙබ් ඉහළ පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ " නෑ, ඒක අසාධාරණයක් නෙවෙයි. පොඩි උන්ට ට්‍රේනිං දුන්නාම උන් ස්මාට් වෙනවා. එතකොට අපිට උන්ව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා" යනුවෙනි.

පොලිස් පොඩ්ඩන්ට අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරමින් ඉහළ පොලිස් නිලධාරීන් කල්පනා කරන්නේ මේ ආකාරයට නම් ශ්‍රී ලංකා පොලීසියේ තේමා පාඨය වන "මහජන මිත්‍රශීලී, වෘත්තීයමය, අභිමානවත් පොලිස් සේවයක්" බිහි කරන්නේ කවර ආකාරයෙන්ද යන්න අපට ඇති පැණයයි.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top