1150 x 80 px

 

පිටකොටුව පොලිසියේදී තරුණයකු මියයාම ගැන මානව හිමිකම් විමර්ශනයක්

පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළ තරුණයකු මියයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

පොලිස් අත් අඩංගුවේ පසුවන පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් යටතේ පරීක්ෂණ සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

පසුගිය 11 වනදා අළුයම පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළ තරුණයකු ගෙල වැළලාගෙන මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කර තිබිණි. මෙසේ මියගොස් තිබුණේ පසුතලේ කිරිමානගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහුව ඊට පෙරදා රාත්‍රියේදී පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාව මඩකළපුව පොලිස් ස්ථානයට මාරුකර යවා තිබෙන අතර තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top