1150 x 80 px

 

දැඩි තීන්දුවක් ගන්න - එජාප ජ්‍යෙෂ්ටයන්ගෙන් රනිල්ට බලපෑම්
තවදුරටත් ජනාධිපතිවරයා සමග එක්ව ආණ්ඩුව පවත්වාගෙන යමින් පක්ෂය විනාශවීමට ඉඩ හරින්නේද, එසේ නැතහොත් යහපාලන ආණ්ඩුවෙන් බවත් වන්නේද යන්න සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගතයුතු බවට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ටයන්ගෙන් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් එල්ල වී තිබේ.
ඔවුන් බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ එක්කෝ තනිව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළයුතු බවයි. එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වී පක්ෂය කඩාවැටීමට ලක්වීම නතර කළයුතු බව ඔවුන්ගේ මතය වී තිබේ. ජ්‍යෙෂ්ටයන් බහුතරයකගේ මතය වී තිබෙන්නේ කතානායකවරයා හැර පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් ඇති නිසා සුළුතර ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවයි.
 
ජනාධිපතිවරයා පිළිබඳව ඔවුන් අප්‍රසාදය පළකර ඇති අතර එජාප ජ්‍යෙෂ්ටයන් පවසන්නේ ජනාධිපතිවරයා දැනුවත්ව එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම අඩුකිරීමට උත්සාහ කළ බවයි. කෙසේ වෙතත් ඒ හරහා සිදුවූයේ ශ්‍රීලනිප ඡන්ද වැඩිවීම නොව ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය අඩු වී එම ජනමතය හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය වෙත බැරවීම බව ද ඔවුන් එජාප නායකයා වෙත අවධාරණය කර තිබේ.
 
බලයේ සිටියදී පවා මැතිවරණයක් ජයගැනීමට නොහැකි මට්ටමට පක්ෂය කඩාවැටී ඇති බවත් එම කඩාවැටීම නතර කිරීමට යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවත් එජාප ජ්‍යෙෂ්ටයන් අගමැතිවරයා වෙත බලපෑම් සහගත ලෙස ප්‍රකාශ කර තිබේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top