1150 x 80 px

 

නව පළාත් පාලන ආයතන පිහිටුවීම මාර්තු මුල් සතියේ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු 06 වනදා දක්වා කල් තැබීමට සිදුව ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව එම ආයතන පිහිටුවීම පෙබරවාරි මස 15 වනදා සිදු කිරීමට නියමිතව තිබුණු මුත් එම ආයතනවල සභික නාමලේඛනය ගැසට් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඒවා පිහිටුවීමේ කාලය ද දීර්ඝ කිරීමට සිදුව තිබේ.

පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයින්ගේ නාමලේඛනය මේ මස අවසන් වීමට ප්‍රථම ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසයි.

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් ගැසට් කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු දේශපාලන පක්ෂ විසින් ලබා දිය යුතුව ඇත.

පළාත් පාලන ආයතන නියෝජිතයින්ගෙන් 40%ක ප්‍රමාණයක් සමානුපාතික ක්‍රමය යටතේ පත් කර ගැනීමට නියමිතව ඇති අතර 25%ක කාන්තා නියෝජනයක් තිබීම ද අනිවාර්ය වේ.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා සමානුපාතික ක්‍රමය යටතේ තේරීපත් වන සභිකයින් සංඛ්‍යාව පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ දී ඒ ඒ දේශපාලන පක්ෂ වෙත දැනුම් දීමට නියමිතය. එම දැනුම් දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ විසින් සමානුපාතික ක්‍රමය යටතේ පත් කරන සභිකයින් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දිය යුතු අතර සභික නාමලේඛනය ගැසට් කිරීමට සිදුවන්නේ ඉන් අනතුරුව ය.

RN

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top