1150 x 80 px

 

තොණ්ඩමන් දෙපැත්තට වැනෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන දෙපාර්ශවය සමඟම කටයුතු කිරීමට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.

ඒ අනුව බහුතර බලය ලබා ගත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජනතා නිදහස සන්ධානය සමඟත් බහුතර බලය ලබා නොගත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟත් කටයුතු කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බවයි පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

2015 ජනාධිපතිවරණයේදී කඳුකර ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජන්දය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොදු ජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ජනතාව කෙබඳු ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තොණ්ඩමන් මහතා කියා සිටියේ මේ මොහොතේ එකම විකල්පය පොදු ජන පෙරමුණ බවයි. ජනතාවට තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන්නේ නම් කුමන පාර්ශවයක් සමඟ සන්ධානගත වීම ගැටලුවක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. වැදගත් කාරණය වන්නේ තොණ්ඩමන් තමන්ගේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකළාද යන කාරණය බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ඒකාබද්ධ වීමට ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය ගත් තීරණයේ වැරැද්දක් නොමැති බවට ජනාධිපතිවරයාද දන්නා බව තොණ්ඩමන් මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් පවතින දේශපාලන තත්ත්වය මත ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දු සමඟ කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ. පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවෙකු ලෙසය. ජනාධිපතිවරයාද එම පක්ෂයේ රැස්වීමකට සහභාගී වී ඔවුන්ගේ ජයග්‍රහණ තහවුරු කිරීමට කටයුතු කළේය. එහෙත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව බලය පිහිටුවන බව ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top