1150 x 80 px

 

බහුතරයට අගමැතිකම !
ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුධකාරී තත්ත්වයට විසඳුමක් ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි  කණ්ඩායමට ආණ්ඩුව පිහිටු වන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිප කණ්ඩායම තුළ වර්ධනය වී ඇති මතභේදාත්මක තත්ත්වය මත විසඳුමක් ලබා ගැනීම ඔවුන්ටම භාර කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සඳහන්.
ඊයේ දිනය වන විට එක්සත් ජාතික පක්ෂය තීරණයකට පැමිණ තිබුණේ ඔවුන් තනිව ආණ්ඩුවක් පිහිටු වන බවටය. අද දිනය පුරාමත් ඒ පිළිබඳ සාකච්ජා කෙරී ඇති බව සඳහන්. යහපාලන ආණ්ඩුවේ අනාගතය තීරණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ (13) දින පැවති ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ එජාප කණ්ඩායම එකඟතාවකට පැමිණ තිබූ අතර එම කමිටුව අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී නම් කරන බව ප්‍රකාශ වුවද එය එසේ ඉටු නොවූ නමුත් කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාව ලබා දී තිබේ. 
 
තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය දරන ආණ්ඩුවකට සහය දීම ශ්‍රීලනිප කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමෙන් එජාප ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ජාව පුළුල් වී ඇති නමුත් මේ වන තෙක් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වුණේ. ශ්‍රීලනිප කණ්ඩායමක්  එජාපයට සහය දෙමින් ආණ්ඩුවක් පිහිටුවීමේ කතාබහක් තිබූ නමුත් එජාපයට එකතු වන ශ්‍රීලනිප කණ්ඩායමට ඇමතිධුර ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පිළිබඳවද මෙතෙක් නිශ්චිත එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ. 
 
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විපක්ෂ නායක ධූරයට පත්කිරීමට ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමක්  විසින් කර ඇති යෝජනාවෙන් පොහොට්ටුවේ කණ්ඩායම කැළඹීමකට පත්ව සිටින බවද වාර්තා වෙයි. 
 
කෙසේ නමුත් හෙට දිනයේදී ජනාධිපතිවරයා  විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානමින් සිටින බවද සඳහන්. 
 
ආශිකා බ්‍රාහ්මණ

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය editor@lankanewsweb.net වෙත යොමු කරන්න

Top