බැසිල්ගේ ගෙවල් වලට අදාල නැති අයිතිකරුවන් ?
බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය රජය සමයේ ඉදිකරවන ලද නිවාස  හා ගොඩනැඟිලි රැසක අයිතිය පසුව වෙනත් පුද්ගලයින් වෙත පවරා ඇති බව මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් කරන ලද විමර්ශනයකදී හෙළිදරව් වී තිබේ. 
රාජපක්ෂවරුන්ගේ කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාල විමර්ශනයක දී මෙම තොරතුරු හෙළිදරව් කර ඇත්තේ අදාල ගොඩනැඟිලි වල සැලසුම් නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසිනි. ගම්පහ මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක පොල්වත්තක ඉදිකළ සුවිසල් නිවසක අයිතිය මුදිත ජයකොඩිට හිමිව ඇති අතර එම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ වියදම් දරා ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, නිවසට මුල්ගල තැබුවේ බැසිල් රාජපක්ෂගේ බිරිඳ බවත්, නිවස ඇතුළත සැලසුම් කළේ බැසිල් රාජපක්ෂගේ දියණිය විසින් බවත් ඔහු එහිදී ප්‍රකාශ කරතිබේ. එසේම එම නිවස තමන් වෙත පැවරුවේ බලහත්කාරයෙන් බවත් ඒ වන විට එම නිවසේ හිමිකරුවාව සිට ඇත්තේ තිරුනඩේශන් මහතා බවත් ඔහු ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ. 
 
එමෙන් ම මෙම නිවස මෙන් ම මාතර බ්‍රවුන්ස් හිල් මන්දිරය, ඩී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැඟිලි සැලසුම් කිරීම වෙනුවෙන් මුදිත ජයකොඩිට මුදල් ගෙවීම වෙනුවට රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක සැලසුම් කොන්ත්‍රාත්තු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ඔහුට පැවරීමට රාජපක්ෂවරුන් විසින් කටයුතු කර ඇත. බත්තරමුල්ල පැලවත්ත යුධහමුදා මූලස්ථානය සහ කොම්පඤ්ඤවීදිය යුධහමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩනැඟීම එසේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව පවරා දුන් ව්‍යාපෘති අතර වේ. 
 
රාජපක්ෂවරුන් විසින් පසුගිය සමයේදී විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගත් බවට දිගින් දිගට ම චෝදනා එල්ල වූ අතර එම ඉඩම් මේ වන විට පවුලේ හිතවතුන්ට පැවරීම සහ අඩු මිලට විකුණා දැමීම සිදුකෙරෙන බවත් වැඩි දුරටත් වාර්තා වේ. 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top