1150 x 80 px

ලංකා නිවුස් වෙබ් පුවත සනාථ කරමින් මාදුරුඔය චීනෙට !

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තොප්පිගල පෙදෙසට වන, රක්ෂිත ප්‍රදේශයේ අක්කර 4200 ක පමණ භූමි ප්‍රමාණයක් නීතිවිරෝධීව එළිපෙහෙළි කරමින් තිබෙන බවට අපි මිට ඉහතදී අනාවරණ කළෙමු.

සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එම ඉඩම් චීනයට පැවරීමේ සුදානමක් ඇති බවත් අපි ඔබට පැවසුවෙමු. මහවනාවෙල අරියවංශ නමැති හිමි නමකගේ සහ රන්ජිත් රාජපක්ෂ නමැති පුද්ගලයෙකුගේ මුලිකත්වයෙන් ඇරඹි මේ වන සංහාරයට දැන් තව තවත් පුද්ගලයන් සම්බන්ධ වෙමින් පවතින බව අනාවරණ වෙමින් තිබේ.

 

මේ, මාදුරුඔය රක්ෂිතයේ අලුත්ම වාර්තාවයි.

මාදුරුඔය රක්ෂිතයේ එළිපෙහෙළි කිරීම් සඳහා බාධාවක්ව පැවතියේ එම භුමිය මහවැලි අධිකාරියට පවරා නොගෙන තිබීමයි. මේ වන විට වාර්තාවන පරිදි එම භුමිය 'වයිල්ඩ් බැක්' නමින් අක්කර 5000 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මහවැලි අධිකාරියට පවරාගෙන චීන සමාගමකට සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සැලසුම් සකස් වෙමින් තිබේ. අදාළ චීන ආයෝජකයන් කණ්ඩායමක් පැමිණ භූමිය නිරීක්ෂණය කර ඇති අතර ලබන ජනවාරි මාසයේදී එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමටද නියමිතය.

මෙම වන සංහාරයේ අසීමිත බලයක් හිමිව තිබෙන මහවනාවෙලා අරියවංශ හිමිට රක්ෂිත ප්‍රදේශයෙන් ඉඩම් කොටස් රුපියල් 2500 බැගින් විකිණීමට මහවැලි B කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර තුෂාර දන්තනාරායනගේ පුර්ණ ආශිර්වාදයද ලැබෙමින් පවනින බව වාර්තා වෙයි. මේ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම ප්‍රදේශයෙන් අක්කර 5000 ක් මහවැලි අධිකාරියට පවරා ගෙන නව ක්‍රමවේදයකට මහවැලි සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කරන බවත් එම කාර්යය තමන්ට හා මහවැලි B කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර (ඉඩම්) නෙවිල් ජයසිංහ වෙත පවරා ඇති බවයි.

එළිපෙහෙළි කරමින් පවතින භූමියේ මේ වන විට ස්ථිර නිවාස 08 ක් සහ තාවකාලික නිවාස 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් ඉදිකර තිබේ. මේ අතර තවත් නිවාස 10ක් පමණ ඉදිවෙමින් ඇත. එළිපෙහෙළි වන භූමියේ මහවැලි B හා C කලාපවල ජනතාව පදිංචි කෙරෙන බවයි අනාවරණ වුණේ.
මේ අතර මහවනාවෙල අරියවංශ හිමි රක්ෂිත ප්‍රදේශයේ ඉඩම් රුපියල් 2500 බැගින් විකුණා රුපියල් 884,000 ක මුදලක් උපයාගෙන ඇති බවද සඳහන්. සිවිල් පුද්ගලයන් ඉදිරියට දමමින් මාදුරුඔය වනසමින් හිඳින්නේ කවුද ? කාගේ වුවමනාවටද ? මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ආශිකා බ්‍රාහ්මණ

http://sinhala.lankanewsweb.net/featured/item/5460-2016-09-15-07-04-56

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top