Untitled 1

දියණියගේ මානසිකත්වය සලකා විමල් ඇප ඉල්ලයි
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (10) මෙම නියෝගය නිකුත් කළාය.
වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ඇපමත නිදහස් කරන ලෙසයි. ඇප ඉල්ලීම සඳහා හේතු දක්වමින් වීරවංශ මහතාගේ නීතිඥයන් ප්‍රකාශ කළේ පසුගිය කාලයේ තම සේවාදායකයාගේ නිවසේ තරුණයෙකුගේ මියයාම හේතුවෙන් සේවාදායකයාගේ දියණිය මානසික පීඩාවකට ලක්ව සිටින බවයි. එසේ තිබියදී වීරවංශ මහතා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත වුවහොත් දියණියගේ මානසික තත්වය තවත් අයහපත් අතට හැරීමට ඉඩ ඇති බැවින් මානුෂීය කරුණු සලකා බලා සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස නීතිඥයන් කරුණු දක්වා තිබේ.
 
එහෙත් පොලීසිය අධිකරණට ඉදිරිපත් කළ බී වාර්තාව සම්බන්ධයෙන් වීරවංශ මහතාගේ නීතිඥයන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
 
මෙම කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ වීරවංශ මහතා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එදින නැවත නඩුව කැඳවා සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top