Untitled 1

2020ත් ජනාධිපති මෛත්‍රී - එස්.බී.
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන  අමාත්‍යාංශයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. පක්ෂයේ සභාපතිවරයා වශයෙන්  එළඹෙන ජනාධිපතිවරණයේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට   පක්ෂයේ තරුණ, කාන්තා, වෘත්තීය සමිති ඇතුළු සියලු සංවිධාන දැඩි ඉල්ලීමක් කරන බවයි දිසානායක මහතා සඳහන් කළේ.
පක්ෂයක් ලෙස කරන මෙම ඉල්ලීම පිලිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතා අනුකූලතාවයක් දැක්විය යුතු බව හෙතෙම කියා සිටියේය.
 
කෙසේ වෙතත් සම්මුතිවාදී ආණ්ඩුවට රට වෙනුවෙන් ඉටුකිරීමට තවත් විශාල වැඩ කොටසක් ඇති බවද  අමාත්‍යවරයා අවධාරණය කළේය.තවදුරටත් මේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටීමට එක්සත් ජාතික පාක්ෂිකයනුත්,ශ්‍රීලනිප පාක්ෂිකයනුත් යම් අකමැත්තක් දක්වන නමුත් මේ පක්ෂ දෙක එකතු වීම නිසා රටට ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනමත විචාරණයකට යෑමට වරමක් නොමැති බව සඳහන් කළ දිසානායක මහතා පෙන්වා දුන්නේ.ජනමත විචාරණයකට නොගොස් කළ හැකි සංශෝධන පිලිබඳ සලකා බලන බවයි.
 
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයට බවත් ඒ සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ පුර්ණ අනුමැතිය ලැබී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ 

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top