Untitled 1

ශ්‍රී ලංකාවේ තොරතුරු පනත නිසා දූෂිත නිලධාරීන් අපහසුවෙන්

සිවිල් වැසියෝ නව නීතිය සම්මත කර ගැනීම නමැති සංධිස්ථානයෙන් පසුව සිය ''තොරතුරු අයිතිය'' ක්‍රියාත්මක කරති.


2012 නොවැම්බරයෙන් පසු කොළඹ පිහිටා තිබෙන පිරිමි පාසලක් වන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශිෂ්‍යයෝ අති දැවැන්ත කුලුනක් සිය පාසලට පිටුපසින් ඉදිවෙන අන්දම සියැසින් දුටුවහ. නෙලුම් කුලුන නම් වූ එහි ඉදිකිරීම් හේතුවෙන් එයට වඩා සමීපයෙන් පිහිටා තිබූ පන්ති කාමර සමහරක් කට කට ගාමින් වෙව්ළා ගියේය. මීටර 350 ක් උසැති මේ ඉදිකිරීම නිසා, එම සිසුන් විසින් පුරුදු වී සිටි එවේලේ සාදාගත් තාවකාලික බිලීපිතිවලින් අසල වතුරවළක මාලුබෑමේ සිරිතට ද නැවතීමේ තිත තබන්නට සිදුවිය.

චීනයේ ආනයන-අපනයන බැංකුව විසින් ප්‍රධාන වශයෙන් අරමුදල් සැපයූ සහ, හිටපු ජනාධිපති-ඒකාධිපති මහින්ද රාජපක්ෂ විසින් බලය ඉදිකිරීම සඳහා බලය ලබාදුන්, ඇමරිකානු ඩොලර් මිලියන 104 ක වියදමෙන් ඉදිවන මේ නෙලුම් කුලුන පිළිබඳ පාසලේ තතුදත් අය ඇතැමෙකු කතා කළේ සෝපහාසයෙන් යුතුව ය. ''තවත් නිස්සාර රාජපක්ෂ ව්‍යාපෘතියක්'' ලෙස එය හෙළාදුටු ඔවුහු, පෙති සහ ඇන්ටනාව සමග මෙහි ඉදිකිරීම් සම්පූර්ණ වූ විට මේ සන්නිවේදන කුලුන දකුණු ආසියාවේ උසම කුලුන බවට පත්වන බවට බොහෝ දෙනෙක් අතර පවතින සැකය ගැන ද කතාබස් කළහ.

මෙකී 'නම්බුකාර ව්‍යාපෘතිය' විස්තර කිරීමේදී එක් බලධාරියෙකුගේ මුවින් පළ වූයේ අමුතු අදහසකි. පෙබරවාරි මුල භාගයේදී රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා ගැන සොයන බලපෑම්සහගත පාර්ලිමේන්තු ආයතනයක් වන කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ නෙලුම් කුලුන මුදල් නාස්තියක් බව සහ, ආර්ථිකයට හානියක් වන බව ය. ආණ්ඩුවේ සේප්පුවෙන් රුපියල් බිලියන 110 ක් (ඩොලර් මිලියන 733 ක්) නැති කළ, රාජ්‍ය අනුග්‍රහය ලත් ව්‍යාපෘති 15 අතරට මෙයද ඇතුළත් බව කෝප් කමිටුවේ අලුත්ම වාර්තාව සඳහන් කළේය.


''ගේම් චේන්ජර්''

නමුත් පෙබරවාරි 3 වැනිදා බලාත්මකභාවයට පත්වූ ශ්‍රී ලංකාවේ අලුත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය මගින්, ආණ්ඩුවේ සහයෝගය ලැබූ ව්‍යාපෘති තවමත් ඇදෙමින්-කල්යමින් පවතින විට ඒවාට මැදිහත් වී මහජනයාට තොරතුරු දැනගැනීමට හැකියාවක් ඇති බවට පොරොන්දුවක් ලබාදී තිබේ. එය විශ්ලේෂකයන් විසින් විස්තර කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ පූර්වගාමී නොවන ''ගේම් චේන්ජර්'' එකක් ලෙස ය.

සාමාජිකයන් 225 දෙනෙක් සහිත පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද මේ නව නීතිය කිසිදු දේශපාලන නායකයෙකුට, ජේ්‍යෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හෝ මහජන ආයතනයකට මහජනයාගේ විමසිල්ලට හෝ අධීක්ෂණයට ලක්නොවෙමින් කටයුතු කිරීමට ඉඩ ලබානොදෙයි. එහි 43 වගන්තියේ ප්‍රබල විෂය ක්ෂේත්‍රය මගින් කියාසිටින්නේ රාජ්‍ය ආයතනයක් සමග කටයුතු කරන පෞද්ගලික ආයතනය සහ රාජ්‍ය නොවන සංවිධාන පවා මෙම නීතිය යටතට ගැනෙන බව යි. මහජනයාගෙන්, මාධ්‍යවේදීන්ගෙන් හෝ දූෂණ විරෝධී ක්‍රියාකාරිකයන්ගෙන් තොරතුරු ඉල්ලා නැගෙන ප්‍රශ්නවලට අවහිර කරන දේශපාලකයන් ලුහුබැඳීමට මෙම නීතියෙන් මගපෙහෙළි කරගත් ස්වාධීන තොරතුරු කොමිෂන් සභාවට පුලුවන. එවැනි තොරතුරු ඉල්ලීම්වලට මසක් ඇතුළත ප්‍රතිචාර දක්වන ලෙසට හෝ, දෙවසරක සිර දඬුවමකට හෝ රු. 50,000 ක දඩයකට මුහුණ දෙන ලෙසට මෙම නීතියෙන් බල කර සිටියි. ''මේක තමයි වේවැල'' යනුවෙන් එක් දූෂණ විරෝධී ක්‍රියාකාරිකයෙක් පැවසුවේය.

''තමන්ට අවශ්‍ය තොරතුර ලබාදෙන්නේ නැතිනම් කොමිසමට අභියාචනා කරන්නට මහජනයාට පුලුවන්. මෙවිට අවශ්‍යයි නම් මේ ගැටලුව අධිකරණය වෙත ගෙන යන්නට කොමිසමට පුලුවන්'' යැයි තොරතුරු කොමිෂන් සභාවේ සාමාජිකාවක් වන කිශාලි පින්ටෝ-ජයවර්ධන නික්කෙයි ඒෂියා රිවීව් සමග පැවසීය. ''ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය සෙසු අයිතිවාසිකම් පුරා පැතිරී යන අයිතියක් බවට පත්වෙලා. ඒ වගේම එය දැන්, තොරතුරු අයිතිය සමග අනුකූල නොවන වෙනත් සෙසු නීති තිබේ නම් ඒ සියලු නීති අබිබවා ක්‍රියාත්මක වන නීතියක් බවටත් පත් වී තිබෙනවා.''

20 වසරකට අධික කාලයක අරගලයකින් අනතුරුව මෙම නීතිය පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්තෘවරුන්ගේ ප්‍රමුඛතර ව්‍යූහය වන කර්තෘ සංසදයේ නායකත්වයෙන් යුතුව ය. 1998 වසරේදී තොරතුරු නිදහස පිළිබඳ පනත යනුවෙන් පිළිසිඳගත් මෙහි කෙටුම්පත 2003 වසරේදී ආණ්ඩුවට ඉදිරිපත් කරනු ලැබීය. නමුත් දේශපාලන ව්‍යාකූලතාවය සහ අනතුරුව රාජපක්ෂ රෙජීමයෙන් එල්ල වූ විරුද්ධත්වය හමුවේ, වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂව අනපේක්ෂිත අන්දමින් පරාජය කිරීම දක්වාම එය නීතියක් වශයෙන් ගෙන ඒමට හැකිවූයේ නැත.

තොරතුරු පනතක් සම්මත කිරීම, මෛත්‍රිපාල සිරිසේන, දින 100 තුළ කරන්නට ප්‍රතිඥා දුන් වැඩකටයුතු ලැයිස්තුවේ ද අන්තර්ගත විය. ''අපට අවශ්‍ය කළ දේවල්වලින් 90% ක් අපට මේ නීතියෙන් ලැබුණා.'' යැයි කර්තෘ සංසදයේ හිටපු සභාපති සිංහ රත්නතුංග පැවසීය. ''දැන් අපට අවශ්‍ය මේ පිළිබඳ දැනුවත්භාවය ඇතිකිරීම සහ, මාධ්‍ය හා මහජනයා මෙය භාවිතාකිරීම සඳහා දිරිමත් කිරීමයි'' යැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

රට පුරා නාගරික වශයෙන් තොරතුරු පනත සම්බන්ධයෙන් සීඝ්‍ර ප්‍රතිචාර දැක්වෙමින් තිබේ. පනත ක්‍රියාත්මක වී මාසයකටත් වඩා අඩු කාලයකදී විශාල කලබලයකින් යුතුව තොරතුරු ඉල්ලීම් ගණනාවක් ගොනු කරනු ලැබිණි. මේවා, වසර 30කටත් අධික කාලයක් තිබී 2009 වසරේදී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අතුරුදන් වූ වින්දිතයන් පිළිබඳ තොරතුරුවල සිට, රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඉල්ලීම් දක්වා පරාසයක විහිදී යයි. රාජ්‍ය අනුග්‍රහය සහිත ව්‍යාපෘති මහජන නිරීක්ෂණය සඳහා ඵලදායී පදනමක් වන්නේ ඩොලර්වලින් ගත් විට ඩොලර් 100,000කට වඩා වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති සහ රුපියල් 500,000 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති, තොරතුරු ඉල්ලීම්වලට යටත් වන නිසා ය.

නිලධාරිවාදයේ සලිත වීම
ජනාධිපතිවරයාගේ, අගැමතිවරයාගේ, කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැනි, මේ දක්වා නිලරහස් පිළිබඳ ප්‍රතිපාදන හේතුවෙන් ප්‍රසිද්ධ කළ නොහැකි වත්කම් පිළිබඳ මහජනයාට දැනුවත්වීමට ද අවසානයේ මෙමගින් මග විවර වෙයි. මෙමගින් දැනටමත් ඇතැම් ආණ්ඩුවේ නායකයන් කලබලයට පත් වී ඇති බව පෙනේ.

ගෝලීය දූෂණ මර්දන ආයතනයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශ්‍රී ලංකා ශාඛාව, මහජනයාගෙන් තොරතුරු ඉල්ලීම් ලැබුණු විට ''ඔබ කවුද?'' යනුවෙන් ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න කිරීම ගැන කුප්‍රසිද්ධියක් උසුළන රටක නිලධාරිවාදය සොළවාලන්නට බලාපොරොත්තු වෙයි.

''කිසිදු දෙයක් නොදැක සිටීම දිරිමත් කරන ක්‍රමයක් තුළ නිලධාරීවාදය ක්‍රියාත්මක වන විට (එහිදී) ඔබට තොරතුරු ඉල්ලීම් සිදුකිරීමට ඔබට තිබෙන අධිකාරී බලය ස්ථාපිත කරගන්නට සිද්ධ වෙනවා,'' යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පවසයි. ''තොරතුරු ලබාගැනීමට තිබෙන බාධක ඉතා විශාලයි. නමුත් දැන් ජනතාවට ඒවා ලබාගන්නට අයිතිය තිබෙනවා''.

ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල තොරතුරු නිලධාරීහු නිර්භීත මහජනයාට මුහුණ දෙමින් සිටිති. ''මේකෙන් අපේ ඔලුවටම පහර වැදිලා'' යැයි සිය අනන්‍යතාවය හෙළි නොකරමින් අප සමග කතා කළ එක්තරා ප්‍රධාන පෙළේ රජයේ ආයතනයක තොරතුරු නිලධාරියෙක් පිළිගත්තේය. ''මට තොරතුරු ඉල්ලීම් සහිත දුරකථන ඇමතුමක් ලැබුණා. ඇමතුම දුන් කෙනා කිව්වේ තමන්, තමන්ගේ තොරතුරු දැනැගැනීමේ අයිතිය ක්‍රියාවට නංවන බව''යි.

ලෝකයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පවතින රටවල් 110 ක් අතරට දැන් එක්ව සිටින ශ්‍රී ලංකාව, මේ නීතිය ක්‍රියාත්මක කිරීමත් සම දැඩි ලෙස ඉහවහා ගිය අල්ලස, දූෂණය, වංචාව සමග සටන්කිරීමේ අභියෝගයට සහනයක් ගෙනැවිත් ඇත. ලංකාව තවදුරටත් ගෝලීය දූෂණ දර්ශකවල පල්ලම් බසිමින් සිටියි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්ෂික දූෂණ දර්ශක තුළ ශ්‍රී ලංකාව 2016 වසරේ ලෝකයේ රටවල් 176 ක් අතරින් 95 වැනි ස්ථානයට පත්වී ඇති අතර, එය 2015 වසරේ සිටි 83 වැනි ස්ථානයෙන් තවදුරටත් පහළ යාමකි. එසේම 'යහපාලනය' ප්‍රවර්ධනය කරන බව කියමින් රාජපක්ෂ රෙජීමය පැරදවූ මෛත්‍රිපාල සිරිසේන යටතේ පවතින හවුල් ආණ්ඩුවේ පළමු වසර දෙක තුළ ඇතිවූ පසුබෑමක් ද වේ.

නමුත් දස වසරකට ආසන්න රාජපක්ෂ රෙජීමය යටතේ දූෂණ සිදුවූ පරිමාණය සිරිසේන හට දේශපාලනික වශයෙන් පෝෂණය සපයා තිබේ. වර්තමාන ජනාධිපතිගේ පරිපාලනය යටතේ ස්ථාපිත කළ නව පොලිස් ඒකකය වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජයන් සිය දූෂණ විමර්ශන සඳහා ඉලක්ක කරගෙන තිබේ. එහි .. බවට පත්වී සිටින අය අතර, හිටපු මහබැංකු අධිපති, ජේ්‍යෂ්්‍ය සිවිල් සේවකයන්, රාජපක්ෂ සහෝදරයන් සහ පුතුන්, ක්‍රීඩා ටෙලිවිෂන් ජාලයක හිමිකරුවන් සහ හිටපු තානාපතිවරයෙක් වෙති. රාජපක්ෂ රෙජීමයේ කලහකාරී සහ කැපී පෙනෙන අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංස, සිය පාලනය යටතේ රාජ්‍ය වාහන 40 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන පරීක්ෂණයකින් අනතුරුව දැන් කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ කල් ගතකරමින් සිටියි.

කෙසේ නමුත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය, තමන්ට ළඟා විය හැකි පරාසය දීර්ඝ කරන්නා වූ පූර්ව පරීක්ෂණයක් වෙත මුහුණ දෙමින් සිටියි. පවතින පාලනය තමන්ව අපහසුතාවයට පත්කරන තොරතුරු ඉල්ලීම්වලට මග විවර කරනු ඇත්ද? එය අසීරු පරීක්ෂණයක් වනු ඇතැයි කොළඹ පැවති තොරතුරු අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණයකදී හඳුන්නෙත්ති අනතුරු අඟවා සිටියේය. දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවනු ඇතැයි ඔහු බියෙන් පසුවේ.

කෙසේ නමුත් එම සම්මන්ත්‍රණයේදී එයට සහභාගි වූවෝ, තොරතුරු දැනගැනීමේ අයිතිය, දේශපාලන කවයන් අතර ප්‍රජාතන්ත්‍රවාදී වගවීමක් සඳහා ලැබෙන දුර්ලභ අවස්ථාවක් බවට ස්ථිරසාර මතයක පසුවූහ. එක් අයෙක් මෙහිදී ස්ථිරසාර හඬින් කියා සිටියේ, ''මැතිවරණයෙන් පසුව කලු සල්ලිවලින් පොහොසත් වූ අය කවුද කියා හොයාගන්නට දැන් අපට බලාසිටින්නට අවශ්‍ය නැහැ'' යනුවෙනි.

මර්වාන් මකාන්-මාකර්


සාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රිකට් පිටියට ඉහළින් දිස්වන නෙලුම් කුලුන


තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමේ සාමාජිකාවක වන කිශාලි පින්ටෝ-ජයවර්ධන

http://asia.nikkei.com

Additional Info

මෙම පුවත පිළිබඳව යම් පාර්ශවයකට අගතියක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීමට ඔබට අයිතියක් ඇති බව අප පිළිගනිමු. ඒ අනුව ඔබගේ ප්‍රතිචාරය [email protected] වෙත යොමු කරන්න

Top